ඉන්දීය නිළි ෂර්ලින් චොප්රා කිලෝ එකහමාරක් බරැති තම කෘත්‍රිම පියයුරු ඉවත් කර ගත්තේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, sherlynchopra/IG
- Author, ඩින්කල් පොප්ලි
- Role, බීබීසී මාධ්‍යවේදී
"මේ මහා බර මම මගේ පපුවෙන් ඉවත් කර ගත්තා. එක පැත්තක් (බද්ධ කළ පියයුර) ග්‍රෑම් 825ක් බරයි. මට දැන් සමනලයෙක් වගේ සැහැල්ලු බවක් දැනෙනවා. මම තරුණ පරම්පරාවෙන් ඉල්ලන්නේ සමාජ මාධ්‍යවල තියෙන දේවල්වලට රැවටිලා, තමන්ගේ සිරුරු සමග සෙල්ලම් කරන්න එපා කියලා."
මේ, ඉන්දියානු නිළියක සහ නිරූපිකාවක වන ෂර්ලින් චොප්රාගේ වචනයි. ඇය තම බද්ධ කරන ලද කෘත්‍රිම පියයුරු ඉවත් කළ බව ප්‍රකාශ කරමින් ඉරිදා රාත්‍රියේ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ වීඩියෝවක් පළ කළා ය.
බාහිර සමාජයෙන් එල්ල වන පීඩනය යටතේ තම ශරීරය පිළිබඳව කිසිදු තීරණයක් නොගන්නා ලෙස සහ තම ස්වභාවික භෞතික රූපය ආරක්ෂා කර ගන්නා ලෙස සඳහන් කරමින් ඇය මෙම වීඩියෝවෙන් තරුණ පරම්පරාවට පණිවිඩයක් ලබා දුන්නා ය.
ඊට පෙර තැබූ සටහනක් ඔස්සේ ඇය පැවසුවේ, "අද මම මගේ බද්ධ කරපු පියයුරු ඉවත් කර ගන්නවා. එතකොට අමතර බරක් නැතිව මට මගේ ජීවිතේ ගත කරන්න පුළුවන්."
ඇය ගත් මෙම පියවර සමාජ මාධ්‍ය භාවිත කරන්නන් බොහෝ දෙනෙක් අගය කරති.
නමුත් මෙම කෘත්‍රිම පියයුරු සෑදී ඇත්තේ කුමන ද්‍රව්‍යයකින් ද සහ ඒවා ශරීරයට බද්ධ කරන්නේ කෙසේ ද යන්න ඔබ දන්නවා ද? අපි ඒ ගැන සොයා බලමු.
පියයුරු බද්ධ කිරීමක් යනු කුමක් ද?
පියයුරු බද්ධ කිරීමක් යනු, රූපලාවණ්‍ය සැත්කමක් වන අතර එහිදී පියයුරුවල ප්‍රමාණය වැඩි කිරීමට හෝ පියයුරුවල පෙනුම වෙනස් කිරීමට ශල්‍යකර්මයක් මගින් එයට කෘත්‍රිම ද්‍රව්‍යයක් බද්ධ කිරීම සිදු කරයි.
බද්ධ කිරීම සඳහා වාර්තමානයේ වැඩි වශයෙන් භාවිත කරන්නේ සිලිකන් ය. ඒවා පියයුරුවලට යටින් සිදු කරන කුඩා කැපුමක් හරහා පියයුරුවලට යටින් තැන්පත් කරනු ලබන වටකුරු බෝලයක් වැනි යමකි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"මම වසර 15ක පමණ ඉඳන් පියයුරු බද්ධ කරනවා. මීට කලින් පාවිච්චි කළේ සේලයින් වතුර. නමුත් ඒවා පිටතට එන්න පුළුවන් නිසා ඒවා පාවිච්චි කරන එක නතර කරලා තියෙන්නේ," ලුදියානාහි Profile Fort නමැති සායනයේ හිමිකරු සහ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙකු වන විකාස් ගුප්තා පවසයි.
"වර්තමානයේ පියයුරු බද්ධ කිරීම් කරන්නේ සිලිකන්වලින්, ඒවා බද්ධ කරන්න පහසුයි වගේ ම සේවාදායකයා සහ වෛද්‍යවරයා හැරෙන්නට වෙන කිසි කෙනෙක් දන්නේ නැහැ ශල්‍යකර්මයක් කරලා කියලා."
වෛද්‍ය ගුප්තා පැහැදිලි කරන්නේ, වරක් පියයුරු බද්ධ කිරීමක් කළ පසු, ජීවිත කාලය තුළ ඒවා නැවත බද්ධ අවශ්‍යතාවක් නොමැති බව ය.
ලුදියානාහි ක්‍රිස්තියානි වෛද්‍ය විද්‍යාලයේ සහ රෝහලේ ප්ලාස්ටික් සැත්කම් අංශයේ ප්‍රධානී මහාචාර්ය වෛද්‍ය පින්කි පාර්ගල් පවසන්නේ, එය සමාජ මාධ්‍ය වෙත පැමිණීමත් සමග පසුගිය දශකය තුළ පියයුරු බද්ධ කිරීමේ ප්‍රවණතාව ශීඝ්‍රයෙන් වැඩි වී ඇති බව ය.
"මේ වගේ රූපලාවණ්‍ය ශල්‍යකර්ම දැන් අලුත් දෙයක් නෙමෙයි, සමාජ මාධ්‍යයට ඒවා පැමිණීමත් එක්ක ඒක රැල්ලක් වෙලා වැඩි වෙලා. මේ හැම දෙයක් ම දැන් සාමාන්‍ය අයට පවා ලබා ගන්න පුළුවන් තැනකට ඇවිල්ලා තියෙන්නේ. කලින්ට වඩා ලාබෙට කර ගන්න පුළුවන්. ඒ නිසා ගොඩ අය මේ ශල්‍යකර්ම කර ගන්න යොමු වෙනවා," වෛද්‍ය පින්කි පවසයි.

පියයුරු බද්ධ කිරීමකින් පියයුරුවල ප්‍රමාණය කොපමණකින් වැඩි කර ගත හැකි ද?
රංගන ශිල්පිනියක වන ෂර්ලින් චොප්රා පැවසුවේ, ඇය බද්ධ කළ පියයුරක් ග්‍රෑම් 825ක බරකින් යුතු වූ බව ය. නමුත් බීබීසීය වෙත අදහස් දක්වමින් විශේෂඥයින් පෙන්වා දෙන්නේ, ඉන්දියාව තුළ නිර්දේශ කර ඇත්තේ මිලිමීටර් 350 සිට 400 දක්වා වූ බද්ධ කිරීම් පමණක් බව ය.
"මේ ශල්‍යකර්මය සිදු කරන්න කලින් විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක් ශරීරයේ ස්වාභාවික සැකැස්මක පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂණය මත පදනම්ව තමයි පියයුරු බද්ධ කිරීමේ ප්‍රමාණය නිර්දේශ කරන්නේ. ඉන්දියානු කාන්තාවන්ගේ භෞතික ව්‍යුහය අනුව මිලිමීටර් 350 සිට 400 දක්වා පරාසයට වැඩි බද්ධ කිරීම් නිර්දේශ කරන්නේ නැහැ," වෛද්‍ය විකාස් පැහැදිලි කරයි.
වෛද්‍ය විකාස් ගුප්තා පෙන්වා දෙන්නේ, බද්ධ කිරීම් සඳහා ලබාදෙන නිර්දේශය රඳා පවතින්නේ උරහිස්වල ප්‍රමාණය, සමේ වර්ගය, රෝගියාගේ උස, බර සහ අනෙකුත් ස්භාවික සැකැස්ම මත බව ය.
වෛද්‍ය පින්කි පාර්ගල් ද මෙය සමග එකඟ වෙයි. නමුත් ඔහු පෙන්වා දෙන්නේ, විශේෂඥයින් විසින් සම්මත කරනු ලැබ ඇති නීතිරීති බොහෝ දුරට අනුගමනය නොකරමින් ඉන්දියාව තුළ අවසරය නොලත් බොහෝ පුද්ගලයින් ද එවැනි රූපලාවණ්‍ය ශල්‍යකර්ම සිදු කරන බව ය.
"රෝගියාගේ ඉල්ලීම මත පමණක් කිසි ම විශේෂඥ වෛද්‍යවරයෙක් ඒ විදිහට ඕනෑ ම ප්‍රමාණයක් බද්ධ කරන්නේ නැහැ. ඔවුන් පළමුව ඔවුන් විසින් ම පරීක්ෂා කරලා බලලා, ඉන් අනතුරුව කුමන ප්‍රමාණයේ බද්ධ කිරීමක් ඔවුන්ට සුදුසු ද කියලා රෝගියාට උපදෙස් ලබා දෙනවා," වෛද්‍ය පින්කි පවසයි.
"නමුත් මුදල් වෙනුවෙන් ඕනෑ ම ප්‍රමාණයක බද්ධ කිරීම් සිදු කරන්න එකඟ වන අවසර නොලත් වෘත්තිකයන් ඉන්නවා."
බද්ධ කිරීම් සිදු කර ගන්නේ කවුද?
විශේෂඥයින්ට අනුව ඕනෑ ම ආකාරයක පියයුරු විකෘතිතාවක් පවතින කාන්තාවන්, ඔවුන්ගේ පියයුරුවල ප්‍රමාණය ගැන අසතුටින් සිටින කාන්තාවන් සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින් පියයුරු බද්ධ කිරීම් සිදු කර ගැනීම සඳහා වැඩි කැමැත්තක් දක්වයි.
"බොහෝ පුද්ගලයින් ඒක දකින්නේ රූපලාවණ්‍ය ශල්‍යකර්මයක් විදිහට විතරයි. නමුත් ස්වභාවිකව පියයුරු නිසි ලෙස වර්ධනය නොවුණ කෙනෙකුට ඒක ප්‍රයෝජනවත් දෙයක්," වෛද්‍ය පින්කි පැහැදිලි කරයි.
නමුත් වෛද්‍ය පින්කි පවසන්නේ කාන්තාවක සමාජ මාධ්‍යවල බලපෑම හේතුවෙන් මෙවැනි ශල්‍යකර්මයක් සිදු කර ගැනීමට සිතන්නේ නම්, ඇය අනිවාර්යයෙන් ම තමාගෙන් මෙම ප්‍රශ්නය විමසිය යුතු බව ය: එය අත්‍යවශ්‍ය ද?
පියයුරු බද්ධ කිරීමකට කොපමණ මුදලක් වැය වනවා ද සහ ඒ සඳහා කොපමණ කාලයක් ගත වනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, sherlynchopra/IG
වෛද්‍ය පින්කි පවසන්නේ ඒ සඳහා ඉන්දීය රුපියල් 50,000ත් 150,000ත් අතර මුදලක් වැය විය හැකි බව ය. මිල රඳා පවතින්නේ බද්ධ කිරීමේ ප්‍රමාණය මත සහ ගුණාත්මකභාවය මත ය.
මෙය හැරුණු විට, ශල්‍යකර්මය සිදු කරන වෛද්‍යවරයාගේ ගාස්තුව ද පිරිවැය සඳහා බලපාන ප්‍රධාන සාධකයකි.
එය සිදු කිරීමට ගත වන්නේ එක් දිනක් පමණක් වන අතර ඔබට මාසයක කාලයක් සඳහා වෛද්‍යවරයා විසින් යෝජනා කරනු ලබන ආහාර රටාව අනුගමනය කළ යුතු වේ.
"එක පාරක් කළාට පස්සේ ඒක ජීවිත කාලයේ ම මේ විදිහට තියෙනවා. ඒවා හානිකර නැහැ. නමුත් සේවාදායකයාට ඒවා ඉවත් කර ගන්න අවශ්‍ය නම්, පහසුවෙන් ඒක කර ගන්න පුළුවන්," වෛද්‍ය විකාස් පැහැදිලි කරයි.
මෙහි යම් අනතුරුදායක තත්ත්වයක් තිබේ ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වෛද්‍ය විකාස් පවසන්නේ එයට වෙනත් ඕනෑ ම සැත්කමකදී ඇති විය හැකි ආකාරයේ ආසාදන ඇති වීමේ අවදානමක් පවතින බව ය.
"ඒක නිසා පිළිකා වේවි ද? කාන්තාවන්ට මව්කිරි දීමේ ගැටලු ඇති වේවි ද? කියන දේ ගැන ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා. ඒත් එහෙම දෙයක් නැහැ. පියයුරු බද්ධ කිරීම් නිසා පිළිකා අවදානම වැඩි වෙන්නේ නැහැ. ඒ වගේ ම ළදරුවෙකුට මව්කිරි ලබා දීමේදී කිසිදු දුෂ්කරතාවක් ඇති වෙන්නෙත් නැහැ," ඔහු පවසයි.
ෂර්ලින් චොප්රා යනු කවුද?
ෂර්ලින් චොප්රා යනු ඉන්දියානු නිළියක සහ නිරූපිකාවකි.
ඇය හින්දි සහ තෙලිඟු චිත්‍රපටවල රංගනය සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. 38 හැවිරිදි වියේ පසුවන ෂර්ලින් 2007දී Red Swastik නමැති හින්දි චිත්‍රපටයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළා ය.
ෂර්ලින් සමාජ මාධ්‍ය ඔස්සේ තමාව හඳුන්වා දෙන්නේ නිළියක, සමාජ ක්‍රියාකාරිනියක, නිෂ්පාදකවරියක සහ නීති උපාධිධාරිනියක ලෙස ය.














