ඔබේ දත් බුරුසුව බැක්ටීරියා සඳහා නිවහනක් ද? මේ එය වෙනස් කිරීමට කාලය ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, රිචඩ් ග්‍රේ
- Role, BBC Future
ඔබේ දත් බුරුසුව විෂබීජවලින් පිරී ඇත. එහි ගෙවී ගිය කෙඳි ඔබ දත් මදින සෑම අවස්ථාවක ම තෙත් වී ආහාරවලින් පිරී යන කුඩා පරිසර පද්ධතියක් නිර්මාණය කරයි. මෙම තෙතමනය සහිත අවකාශයේ මිලියන ගණනක් ක්ෂුද්‍ර ජීවීහු ජීවත් වී, වර්ධනය වෙති.
මේ වන විට ඔබේ දත් බුරුසුව තුළ විවිධ විශේෂ සිය ගණනකට අයත් බැක්ටීරියා සහ දිලීර මිලියන 1-12ත් අතර ගණනක් ඇති අතර, ඒ සමග ම ගණනය කළ නොහැකි තරම් වෛරස ද තිබිය හැකි ය. මෙම විෂබීජ බුරුසුවේ කෙඳිවලට ඇලී හෝ එහි ඇති ඉරිතැලීම් තුළ සැඟව සිටී. සෑම දිනක ම, ජලය, කේඨය, සමේ සෛල සහ ආහාර කැබලි ඒවා වර්ධනය වීමට උපකාරී වේ. සමහර විට, ෆ්ලෂ් කරන වැසිකිළියක් හෝ විවෘත කවුළුවක් වැනි දේවලින් ඔබේ බුරුසුව මතට තවත් විෂබීජ ප්‍රමාණයක් එක් වේ.
දිනකට දෙවරක්, ඔබ මෙම විෂබීජ මිශ්‍රණය ඔබේ මුඛයට දමා එය වටා ගෙන යයි.
ඉතින්, ඔබේ දත් බුරුසුව කෙතරම් පිරිසුදු ද යන්න ගැන ඔබ වැඩි සැලකිල්ලක් දැක්විය යුතු ද?
අපගේ දත් බුරුසුවල ජීවත් වන්නේ මොනවා ද, එම විෂබීජ හානිකර ද සහ අප ඒවා පිරිසිදු කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව දන්ත වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන වසර ගණනාවක් පුරා සිතා බලා ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ක්ෂුද්‍ර ජීවීන් පැමිණෙන්නේ කොහෙන් ද?
"දත් බුරුසු මත ඇති විෂබීජ බොහෝ දුරට ස්ථාන තුනකින් එන්නේ," දත් බුරුසු ක්ෂුද්‍රජීවී මගින් අපවිත්‍ර වීම ගැන අධ්‍යයනය කළ ජර්මනියේ ව්‍යවහාරික විද්‍යාව පිළිබඳ රයින්-වාල් විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍රජීව විද්‍යාඥ මාර්ක්-කෙවින් සින් පවසයි. "ඒවා ඔබේ මුඛයෙන්, ඔබේ සමෙන් සහ දත් බුරුසුව තබා ඇති පරිසරයෙන් එන්නේ."
නව දත් බුරුසුවල අප පාවිච්චියට ගැනීමට පෙර පවා විෂබීජ තිබිය හැකි ය. බ්‍රසීලයේ කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ විවිධ වෙළෙඳ නාම යටතේ ඇති නව දත් බුරුසු 40න් අඩක් ම භාවිත කිරීමට පෙර බැක්ටීරියාවලින් දූෂිත වී ඇති බව ය.
අප බොහෝ දෙනෙකුගේ නාන කාමර තුළ ම වැසිකිළිය පවතින අතර එහි අපගේ දත්බුරුසුව ද රඳවා තබයි.
වාසනාවකට මෙන්, භාවිත කරන ලද දත් බුරුසුවල ඇති බොහෝ විෂබීජ හානිකර නොවේ. ඒවා ප්‍රධාන වශයෙන් අපගේ ම මුඛයෙන් පැමිණේ. අපි දත් මදින විට, කෙඳි මගින් රොතියා ඩෙන්ටොකරියෝසා, ස්ට්‍රෙප්ටොකොකේසි මයිටිස් සහ ඇක්ටිනොමයිසස් බැක්ටීරියා පවුලේ සාමාජිකයින් වැනි ක්ෂුද්‍ර ජීවීන් ඉවත් කෙරේ. ඒවා සියල්ල සාමාන්‍යයෙන් අපගේ මුඛයේ සිටින හිතකර ක්ෂුද්‍ර ජීවීන් වේ. දත් බුරුසුවේ කෙඳි සහ එහි හිසෙහි එල්ලී සිටින ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් අපගේ සෞඛ්‍යයට පවා ප්‍රයෝජනවත් විය හැකි අතර, දත් දිරායාමට හේතු වන අනෙකුත් ක්ෂුද්‍ර ජීවීන්ගෙන් අපව ආරක්ෂා කිරීමට උපකාරී වේ.
නමුත් ඔවුන් අතර ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් සැඟව සිටින අතර ඒවා අපට හානිකර විය හැකියි.
හානිකර බැක්ටීරියා
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"වඩාත් ම වැදගත් වන්නේ දත් දිරා යාමට හේතු වන ස්ට්‍රෙප්ටොකොකි සහ ස්ටැෆිලොකොකි" බව බ්‍රසීලයේ සාඕ පවුලෝ විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය මහාචාර්ය විනීසියස් පෙඩ්‍රාසි පවසයි. අනෙක් ඒවා අපගේ විදුරුමස් තුළ ප්‍රදාහ තත්ත්වයන් ඇති කළ හැකි අතර එය හඳුන්වන්නේ විදුරුමස් ආශ්‍රිත රෝගය ලෙසයි.
පර්යේෂකයන් භාවිත කරන ලද දත් බුරුසු මත නොසිටිය යුතු හානිකර බැක්ටීරියා සහ දිලීර ද සොයාගෙන ඇත. මේවාට එස්චෙරිකියා කෝලයි (Escherichia coli), සූඩොමොනාස් ඒරුගිනෝසා (Pseudomonas aeruginosa) සහ එන්ටරොබැක්ටීරියා (Enterobacter) වැනි ආමාශ ආසාදන හා ආහාර විෂවීම්වලට සම්බන්ධ විෂබීජ ඇතුළත් වේ. රෝහල් තුළදී වැළඳිය හැකි ආසාදන සඳහා පොදු හේතුවක් වන ක්ලෙබ්සියෙල්ලා නියුමෝනියේ සහ උල්ලෝගම් ඇති කළ හැකි කැන්ඩීඩා යීස්ට් වැනි රෝග කාරක ද දත්බුරුසු මත සිටිය හැකි බව අධ්‍යයනයන් මගින් හඳුනාගෙන ඇත.
මෙම ක්ෂුද්‍ර ජීවීන් පැමිණෙන්නේ අප බුරුසු සේදීමට ගන්නා ජලයෙන්, අපගේ අත්වලින් සහ "පරිසරයේ" අනෙකුත් කොටස්වලිනි. නමුත් මෙය සලකා බැලීමේදී එම පරිසරය ඔබේ නානකාමරය විය හැකියි.
නාන කාමර උණුසුම් හා තෙතමනය සහිත වන අතර වාතයේ ඇති කුඩා ජල බිඳිතිවලට විෂබීජ රැගෙන යා හැකිය. මෙය නාන කාමරවල ගබඩා කර ඇති දත් බුරුසු දූෂිත වීමට වැඩි ඉඩක් ඇති බව සින් පවසයි.
අප බොහෝ දෙනෙකු අපගේ දත් බුරුසු තබන්නේ වැසිකිළි ඇති නාන කාමරවල ය. එය දත් බුරුසු පිළිකුල්සහගත විය හැකි බවට කරන සාධාරණ අනතුරු ඇඟවීමකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වැසිකිළියෙන් පිටවන කුඩා ජල බිඳිති
ඔබ වැසිකිලිය ෆ්ලෂ් කරන සෑම අවස්ථාවකදී ම කුඩා ජල බිඳිති සහ මළපහ ඒ වටා වූ මීටර් 1.5ක් (අඩි 5) දක්වා වූ පමණ ප්‍රදේශයක පවතින වාතයට විසිරී යයි. වාතයේ ඇති මෙම කුඩා බිඳිති උණ, කොවිඩ්-19 සහ නොරෝවෛරස් වැනි රෝග සඳහා හේතු වන බැක්ටීරියා සහ වෛරස ගෙන යා හැකියි.
ඔබ ඔබේ දත් බුරුසුව වැසිකිළියට සමීපව තබා ගන්නේ නම්, වැසිකිළි බඳුනේ අන්තර්ගත දෑ පසුව ඔබේ මුඛයට ඇතුළු කරන කෙඳි මත තැන්පත් වීමේ හැකියාව පවතී. වැසිකිළිබඳුන ෆ්ලෂ් කිරීමේදී බෝ වන රෝග පතුරුවන ක්ෂුද්‍ර ජීවීන් ඍජුව ම ආශ්වාස කිරීමේ දැඩි අවදානමක් පවතී. නමුත් අනාගතයේදී ෆ්ලෂ් කිරීමට පෙර වැසිකිළි ආසනය විවෘතව තැබීම ගැන ඔබට දෙවරක් සිතා බැලිය හැකි ය.
පොදු නාන කාමරවල, ඇතැම් විට තවත් ගැටලුවක් තිබිය හැකිය. විශ්වවිද්‍යාලයකදී සිදු කරන ලද පර්යේෂණයකින් සොයා ගැණුනේ පොදු නාන කාමරවල තබා ඇති සිසුන් භාවිත කරන දත් බුරුසුවලින් 60%ක් මළපහවල ඇති බැක්ටීරියාවලින් අපිරිසිදු වී ඇති බව සහ එක් අයෙකුගේ දත් බුරුසුවේ රැඳී සිටින ක්ෂුද්‍ර ජීවීන් වෙනත් අයෙකුගේ බුරුසුවෙන් පැමිණි ඒවා වීමේ අවස්ථාවක් ද පවතින බව ය.
නමුත් සැබෑ ලෝකයේ පරිසරවල ක්ෂුද්‍ර ජීවීන් නොනැසී පවතින ආකාරය අධ්‍යයනය කරන එක්සත් ජනපදයේ ඉලිනොයිස්හි නෝත්වෙස්ටර්න් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය එරිකා හාර්ට්මන්, වැසිකිළියෙන් පිටවන කුඩා ජල බිඳිති ඇතැමුන් බියට පත්වන තරම් කනස්සල්ලට කරුණක් බව පවසා නොමැත. ඇගේ කණ්ඩායමේ ක්‍රියාකාරකම්වලදී ඉලිනොයිස්හි ජනතාව විසින් යොමු කරන ලද දත් බුරුසු 34ක අපේක්ෂා කළ හැකි ප්‍රමාණයෙන් මළපහ ආශ්‍රිත බැක්ටීරියා හමු නොවීය. ඇය පෙන්වා දෙන්නේ, බඩවැල් ආශ්‍රිත ක්ෂුද්‍ර ජීවීන් බොහොමයක් වාතයට නිරාවරණය වූ විට දිගු කලක් නොනැසී නොපවතින බව ය.
"මම හිතන්නේ නෑ බොහෝ දෙනෙකු ඔවුන්ගේ දත්බුරුසුවෙන් ලෙඩ වෙනවා කියලා," ඇය පවසයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කෙසේ වෙතත්, ඇතැම් පර්යේෂණවලින් පෙනී යන්නේ ඉන්ෆ්ලුවෙන්සා සහ කොරෝනා වැනි වෛරස්වලට දත් බුරුසු මත පැය කිහිපයක් නොනැසී පැවතීමේ හැකියාව පවතින බව සහ වේදනාකාරී බිබිලි ඇති කරන වෛරසයක් වන හර්පීස් simplex virus-1 වෛරසයට පැය 48ක් පමණ කාලයක් බුරුසුව මත රැඳී සිටිය හැකි බව ය. මෙය රෝග ව්‍යාප්තිය සඳහා පහසු මාර්ගයක් සැපයිය හැකි බැවින් මහජන සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස නම් මේ හේතුව නිසා දත් බුරුසු හුවමාරු කර ගනිමින් භාවිතයට නොගන්නා ලෙසයි. දත් බුරුසු එකකට වඩා එකට තබා ඇත්නම් විශේෂයෙන් ඔබ සමග ජීවත් නොවන පුද්ගලයින්ට අයත් දත් බුරුසු සමග අනෙක් ඒවා එකිනෙක ස්පර්ශ වීමට ඉඩලබා නොදෙන ලෙස ද මහජන සෞඛ්‍ය ආයතන අනතුරු අඟවයි.
නමුත් හාර්ට්මන් මෙය දකින්නේ එකට ජීවත් වන පුද්ගලයින් මේ සඳහා එතරම් සැලකිල්ලක් නොදක්වන තත්ත්වයක් ලෙසයි. "එකට ජීවත් වන පුද්ගලයින් එලෙස නොවන පුද්ගලයින්ට වඩා ඔවුන්ගේ මුඛයේ ක්ෂුද්‍ර ජීවීන්ගේ වැඩි ප්‍රමාණයක් හුවමාරු කර ගන්නවා," ඇය පවසයි. "මම සැක කරන්නේ එය බොහෝ විට සිදුවන්නේ සිප ගැනීම වැනි ඍජු මාර්ග ඔස්සේ හෝ දේවල් බෙදා ගැනීම වැනි වක්‍ර මාර්ග ඔස්සේ නොව, දත් බුරුසු සමීපව රඳවා තැබීම වැනි ක්‍රමයකින්." (සුනඛ හිමිකරුවන් බොහෝ විට ඔවුන්ගේ සුරතල් සතුන් මෙන් එක ම ක්ෂුද්‍ර ජීවීන් බොහොමයක් බෙදා ගන්නා බව දැන සිටීම වැදගත් වේ.)
සැබැවින් ම, දත් බුරුසුවලින් හමුවන ඇතැම් වෛරස අපට වාසිදායක ලෙස ක්‍රියා කළ හැකිය. හාර්ට්මන් සහ ඇගේ කණ්ඩායම සොයා ගත්තේ දත් බුරුසුවල බැක්ටීරියාභක්ෂක ලෙස හැඳින්වෙන වෛරස් කාණ්ඩයන් සිටින බව සහ ඒවා මිනිසුන්ට වඩා බැක්ටීරියා ආසාදනය කර ඒවායේ සංඛ්‍යාව පාලනය කිරීමට උපකාරී වන බව ය.
අවදානම කුමක් ද?
සින් පවසන්නේ බොහෝ අවස්ථාවලදී රෝග කාරකවලින් ඇතිවන අවදානම කුඩා බව ය. එහෙත්, ප්‍රතිශක්තිකරණ පද්ධතිය අවදානමට ලක් වූ පුද්ගලයින්, ආසාදනවලට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් පවතී. සින්ගේ පර්යේෂණ සහ දත් බුරුසු මත ඇති බැක්ටීරියාවල DNA පිළිබඳ සිදු කළ අධ්‍යයනයන් මගින් සොයා ගෙන ඇත්තේ, ඇතැම් බැක්ටීරියාවලට ප්‍රතිජීවකවලට ඔරොත්තු දිය හැකි බව ය. මෙයින් අදහස් කරන්නේ ඔවුන් ඇති කරන ආසාදනවලට ප්‍රතිකාර කිරීම අපහසු බව ය. නමුත් සින් පවසන්නේ ඔහුගේ අධ්‍යයනයේදී මෙම ජාන කුඩා ප්‍රමාණවලින් පැවති බවත් ඉන් ඇති කරන මහජන සෞඛ්‍ය කණස්සල්ලක් මධ්‍යස්ථ මට්ටමේ පවතින බවත් ය. කෙසේ වෙතත්, ඉතාලියේ සිසුන්ගෙන් ලබාගත් දත් බුරුසු 50ක් පිළිබඳ සිදු කළ අධ්‍යයනයකින් හෙළි වූයේ ඒ සියල්ලේ ම බොහෝ ඖෂධවලට ඔරොත්තු දිය හැකි බැක්ටීරියා පවතින බව ය.
ඇතැම් දත් බුරුසු ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධවලින් සමන්විත වන අතර ඒවා අලෙවි කෙරෙන්නේ ඔබේ බුරුසුව මත ජීවත්වන බැක්ටීරියා පාලනය කර ගැනීමේ මාර්ගයක් ලෙසයි. නමුත් බොහෝ අධ්‍යයනවලින් පෙනී යන්නේ මෙම ප්‍රතිකාර ඔබේ බුරුසුව මත ජීවත්වන බැක්ටීරියා ගණන සීමා කිරීම සඳහා සිදු කරන්නේ කුඩා දෙයක් බව සහ ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධී විශේෂවල ඉහළ යාමට පවා මූලික විය හැකි බව ය.
සත්‍ය වශයෙන් ම, භාවිතයෙන් පසු ඔබේ දත් බුරුසුව කාමර උෂ්ණත්වයේදී ඍජු අතට වාතයේ වියළීමට ඉඩ හැරීම එහි ජීවත් වන ක්ෂුද්‍ර ජීවීන් අඩු කිරීමේ සරල ක්‍රමයක් විය හැකිය. ඉන්ෆ්ලුවෙන්සා සහ කොරෝනා ඇතුළු බොහෝ වෛරස උෂ්ණත්වයේදී විනාශ වේ. දත් දිරා යාමට ප්‍රධාන වශයෙන් දායක වන ස්ට්‍රෙප්ටොකොකස් මූටන්ස් වැනි බැක්ටීරියා දත් බුරුසුවේ කෙඳි මත පැය අටක් දක්වා සක්‍රීයව පැවතිය හැකි නමුත් පැය 12ක වැනි කාලයක් තුළදී ඒවා විනාශ වීම ආරම්භ වේ.
ඇමෙරිකානු දන්ත වෛද්‍ය සංගමය සහ එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන මෑතක් වන තුරු ම නිර්දේශ කළේ, දත් බුරුසුවල හිස කොටස ආවරණය කිරීම හෝ වසා දැමූ බහාලුම්වල ගබඩා නොකිරීමට ය. ඒ, එවැනි ක්‍රියාමාර්ග මගින් ඒවායෙහි ක්ෂුද්‍රජීවී වර්ධනය දිරිමත් කළ හැකි බැවිනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඔබේ දත් බුරුසුව පිරිසිදු කරන්නේ කෙසේ ද?
දත් බුරුසු විෂබීජහරණය කිරීම සඳහා, පාරජම්බුල කිරණ භාවිත කිරීමේ සිට පිඟන් සෝදන යන්ත්‍රයේ හෝ මයික්‍රෝවේව් උඳුනේ තැබීම දක්වා ව්‍යාකූල තාක්ෂණිකව ක්‍රම රාශියක් තිබේ. ඒ සඳහා සොයා ගෙන ඇති අවම ඵලදායී ක්‍රම කිහිපයක් අතර හිසකෙස් වියළන යන්ත්‍රයකින් ඔබේ බුරුසුව තද සුළඟින් වියළා හැරීම හෝ විස්කි වීදුරුවක ගිල්වා තැබීම ඇතුළත් වේ. මයික්‍රෝවේව් උඳුන බොහෝ විට වඩාත් ඵලදායී බව සොයාගෙන ඇති නමුත් ඔබේ දත් බුරුසුවේ කෙඳි දියවීමට හෝ හානියට පත්වීමේ අවදානමක් ද එහි තිබේ.
ඔබ භාවිත කරන දන්තාලේපවල බොහෝ විට - ක්ෂුද්‍ර ජීවී නාශක ගුණ අඩංගු වන අතර එයට ඔබේ බුරුසුව මත වැඩෙන ක්ෂුද්‍ර ජීවීන් සංඛ්‍යාව අඩු කිරීමට යම් කාර්යයක් සිදු කිරීමේ හැකියාව පවතී. එය ජලය යොදා සේදීම ද බැක්ටීරියා කිහිපයක් ඉවත් කිරීමට උපකාරී වන නමුත් බොහෝ බැක්ටීරියා තවමත් එහි වෙලී සිටිමින් වර්ධනය වේ.
බැක්ටීරියා අඩු කිරීමේ වඩාත් ඵලදායී ක්‍රමය ලෙස ඇතැම් පර්යේෂකයන් නිර්දේශ කරන්නේ 1% විනාකිරී ද්‍රාවණයක් භාවිත කිරීම ය. නමුත් එය ඔබ අනෙක් වාරයේදී ඔබේ බුරුසුව භාවිත කරන විට ඇතැමුන්ට අප්‍රසන්න රසයක් ගෙන දෙයි. විෂබීජ නාශක මුඛ සේදීමේ ද්‍රාවණයක බුරුසුවේ හිස කොටස විනාඩි පහක් හෝ 10ක කාලයක් පොඟවා ගැනීම ද ඵලදායී විය හැකිය.
0.12% ක්ලෝරෙක්සයිඩින් හෝ 0.05% සෙටිල්පිරිඩිනියම් ක්ලෝරයිඩ් අඩංගු මුඛ සේදුම් ද්‍රාවණයක් භාවිතයෙන් දත් බුරුසු විෂබීජහරණය කිරීමට පෙඩ්‍රාසි නිර්දේශ කරයි.
කෙසේ වෙතත්, ඇතැම් පර්යේෂකයන් බැක්ටීරියා වර්ධනයට සැබවින් ම දිරිගන්වන දන්තාලේප භාවිතය වැනි වෙනස් ප්‍රවේශයකට යොමු වෙමින් සිටියි.
පැරණි බුරුසුවල ඇති කැඩුණු සහ ගෙවී ගිය කෙඳි වල බැක්ටීරියාවලට ජීවත් වීමට අවශ්‍ය දියර සහ පෝෂ්‍ය පදාර්ථ වැඩි ප්‍රමාණයක් අඩංගු වේ. ඇමෙරිකානු දන්ත වෛද්‍ය සංගමය වැනි දන්ත සෞඛ්‍ය ආයතන සෑම මාස තුනකට වරක් හෝ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින් සඳහා නිරන්තරයෙන් දත් බුරුසුව වෙනස් කිරීම සඳහා නිර්දේශ කිරීමට එය එක් හේතුවකි. දත් බුරුසු මත බැක්ටීරියා ඒකරාශී වීම එය සති 12ක් පමණ භාවිතයෙන් පසු උපරිමයට පැමිණෙන බව සින්ගේ පර්යේෂණයෙන් සොයාගෙන තිබේ.
කෙසේ වෙතත්, පර්යේෂකයන් සුළු පිරිසක් බැක්ටීරියා වර්ධනයට සැබවින් ම දිරිගන්වන දන්තාලේප වැනි වෙනස් ප්‍රවේශයකට යොමු වෙමින් සිටියි. ප්‍රෝබයොටික් දන්තාලේප ඔබේ මුඛය සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට උපකාරී වන "හිතකාමී" බැක්ටීරියා එකතු කිරීමට සහ වර්ධනය කිරීමට උපකාර කරයි.
උදාහරණයක් ලෙස, Streptococcus salivarius, හානිකර බැක්ටීරියා මර්දනය කිරීමට සහ බැක්ටීරියා සහිත දන්ත පථ (plaque) සමග සටන් කිරීමට උපකාරී වන අතර, නවසීලන්තයේ සමාගමක් එය අත්හදා බලමින් සිටියි. වෙනත් එකක් වන Limosilactobacillus reuteri මගින් Streptococcus mutans නමැති බැක්ටීරියාවලට එරෙහිව දැඩි ලෙස සටන් කරන අතර දත් දිරා යාමෙන් ආරක්ෂා විය හැකිය.
"ප්‍රෝබයොටික් ආලේපන හෝ ජෛව ක්‍රියාකාරී බ්‍රිස්ටල් ද්‍රව්‍ය වැනි සංකල්ප මගින් දත් බුරුසු මත සෞඛ්‍ය සම්පන්න ක්ෂුද්‍රජීවී සමතුලිතතාව ප්‍රවර්ධනය කිරීමට නව්‍ය ක්‍රම ඉදිරිපත් කළ හැකි අතර, ඒවා අවදානමට වඩා ආරක්ෂාකාරී වාහකයන් බවට පත් කරනවා," සින් පවසයි. නමුත් ඔහු අනතුරු අඟවන්නේ මෙම ක්ෂේත්‍රය තුළ තවමත් බොහෝ පර්යේෂණ සිදු කළ යුතුව ඇති බව ය.
මේ අතරතුර, ඔබේ නාන කාමරයේ ඇති දත් බුරුසුව පරීක්ෂා කර බැලීම වටී. ඇතැම් විට එය මාරු කිරීමට හෝ වැසිකිළියෙන් තවත් ඈතට ගෙන යාමට කාලය පැමිණ තිබේ.














