ඔසප්වීමකදී ඔබට දැඩි වේදනාවක් දැනීම සාමාන්‍ය තත්ත්වයක් ද? ඔබ කළ යුත්තේ කුමක් ද?

ඔසප්වීමක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

මාසික ඔසප්වීමකදී ඔබට දැඩි වේදනාවක් දැනෙනවා ද? එම දිනයේදී ඔබට සාමාන්‍ය පරිදි වැඩවල නිරත වීමට අපහසු ද? පාසල් වියේ දැරියක නම් පාසල් යාමට අපහසු ද?

මේ සියල්ල සාමාන්‍ය තත්ත්වයක් බව මෙතෙක් ඔබ සිතා සිටියා වන්නට පුළුවන.

එහෙත්, ඔසප් වීමත් සමග ඇති වන අසාමාන්‍ය වේදනාව සාමාන්‍ය තත්ත්වයක් නොවන බව ඔබ දැන සිටියා ද?

එසේ නම්, ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට කාලය එළඔ තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පසුගිය දා පැවැත්වූ මාධ්‍ය හමුවකදී මහාචාර්ය හේමන්ත සේනානායක ප්‍රකාශ කළේ, මෙය කල්තබා හඳුනාගෙන ප්‍රතිකාර කළ යුතු රෝගී තත්ත්වයක් බව ය.

එන්ඩොමෙට්‍රියෝසිස් (Endometriosis) යනු කුමක් ද?

එන්ඩොමෙට්‍රියෝසිස් යනු වාර්ගික සම්භවයක් හෝ සමාජ තත්ත්වයක් නොසලකා, ගෝලීය වශයෙන් බොහෝ කාන්තාවන්ට ඔවුන්ගේ පළමු ඔසප් වීමේ (ඔසප් වීම ආරම්භයේ සිට) ආර්තවහරණය දක්වා බලපාන සංකීර්ණ රෝගයකි.

එන්ඩොමෙට්‍රියෝසිස් ඔසප් වීම සිදුවන සංක්‍රාන්ති ලිංගික පිරිමින්ට සහ ද්විමය නොවන පුද්ගලයින්ට ද බලපෑ හැකි ය.

එම රෝගය ඇති කාන්තාවන් තුළ, එන්ඩොමෙට්‍රියම් වැනි පටක (සාමාන්‍යයෙන් ගර්භාෂයේ ශ්ලේෂ්මලයේ පමණක් දක්නට ලැබේ) ගර්භාෂයෙන් පිටත වර්ධනය වන අතර එමගින් දරුණු වේදනාවක් ඇති වේ.

මේ හරහා රුධිරය වහනය වන හෙයින් ඩිම්බකෝෂයේ රුධිරය එකතු වීමෙන් 'ලේ ගැටිති' ඇති විය හැකි බව එන්ඩොමෙට්‍රියෝසිස් පිළිබඳ ආසියානු සංගමයේ (ASEA) සභාපති මහාචාර්ය හේමන්ත සේනානායක පවසයි.

ඔහු පෙන්වා දුන්නේ, එන්ඩොමෙට්‍රියෝසිස් රෝගී තත්ත්වයට එන්ඩොමෙට්‍රියම් නමැති ගර්භාෂයේ පටක ආවරණය සැකසී ඇති සෛලවල ක්‍රියාකාරීත්වය බලපාන බව ය.

"මේ සෛල ඉතාමත් ම විශේෂිත යි. ඒවා තියෙන්න ඕනෙ ගර්භාෂය ඇතුළෙ ස්ථරයෙ විතර යි. ඇඟේ වෙන කොහෙ හරි ඒක තියෙනව නම් අපි ඒක අසාමාන්‍ය දෙයක් හැටියට සලකන්නෙ. අන්න ඒක තමයි, මූලික පදනම මේ එන්ඩොමෙට්‍රියෝසිස් කියන එකේ," මහාචාර්ය හේමන්ත සේනානායක පැවසීය.

"ඔසප්වීම වෙනකොට කාන්තාවන්ගෙන් 90%කට විතර තමන්ගේ පිටවෙන ප්‍රමාණය ශ්‍රෝණියටත් යනවා. ඒක 90%කට වෙන දෙයක්. එතකොට ඒ සෛල ශරීරය ඇතුළටත් යනවා. හැබැයි අපේ තියෙන ප්‍රතිශක්තිය නිසා අලුතෙන් ආපු සෛල විනාශ කරල දානවා. ඒත්, 10%කට මේක කර ගන්න බැහැ. එතනදි තමයි මූලික වෙන්නෙ, මේ රෝගී තත්ත්වය ඇති වෙන්න."

රෝග ලක්ෂණ මොනවා ද?

ඔසප්වීම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඉහත කී ක්‍රියාවලිය සිදුවීමේදී ඔසප්වීමට අදාළ අවයවවල විශාල ප්‍රතික්‍රියා සිදුවන බව මහාචාර්ය හේමන්ත සේනානායක පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, එම ප්‍රතික්‍රියා හේතුවෙන් බඩවැල්, මුත්‍රාශය, මුත්‍රා ප්‍රණාල ආදී අවයව එකට ඇළීමේ තත්ත්වයක් ඇති වන බව ය.

ඒ අනුව, අදාළ අවයව ආශ්‍රිතව දැඩි වේදනාවක් ඇති වන බව ඔහු සඳහන් කළේ ය.

මේ අතර, මඳ සරුභාවය ද එහි ලක්ෂණයක් වන අතර, මඳ සරුභාවයෙන් යුතු කාන්තාවන්ගෙන් 50%ක් එන්ඩොමෙට්‍රියෝසිස් රෝගී තත්ත්වයෙන් පෙළෙන බව හඳුනාගෙන තිබේ.

මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ, රෝග ලක්ෂණ මතු වීමෙන් වසර 10ක් පමණ ගත වන තුරු රෝගය විනිශ්චය කර ගැනීමට නොහැකි වීම ය.

එන්ඩොමෙට්‍රියෝසිස් පිළිබඳ විශේෂ කරුණු

  • ලොව පුරා ප්‍රජනක වයසේ සිටින කාන්තාවන්ගෙන් 10% (මිලියන 190)ක් එන්ඩොමෙට්‍රියෝසිස් රෝගී තත්ත්වයෙන් පීඩා විඳිති.
  • එන්ඩොමෙට්‍රියෝසිස් යනු නිදන්ගත රෝගයක් වන අතර ඔසප් වීමේදී දැඩි වේදනාව, අධික ඔසප් රුධිර වහනය, නිදන්ගත ශ්‍රෝණි වේදනාව (ඔසප් චක්‍රය අවසන් වූ විට පහව නොයන වේදනාව), වඳභාවය, උදරයේ ඉදිමීම සහ ඔක්කාරය එහි රෝග ලක්ෂණ වේ.
  • එන්ඩොමෙට්‍රියෝසිස් බොහෝ විට ශ්‍රෝණිය තුළ ඇති වන නමුත් සමහර කාන්තාවන් තුළ, උදරය සහ පපුව ඇතුළු ශරීරයේ වෙනත් ස්ථානවලත් සිදු වේ.
  • එන්ඩොමෙට්‍රියෝසිස් ලිංගික සංසර්ගය, බඩවැල් චලනය සහ/හෝ මුත්‍රා කිරීම සහ මානසික සෞඛ්‍යයට (මානසික අවපීඩනය සහ කාංසාව ඇතුළුව) බලපෑම් කළ හැකි ය.
  • ඩිම්බකෝෂය තුළ රුධිරය තැන්පත් වීමෙන් ඇති වන ලේ ගැටිති පිළිකා බවට පත්වීමේ අවදානමක් ද පවතින බව මහාචාර්ය හේමන්ත සේනානායක පවසයි.

ප්‍රතිකාර තිබේ ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම රෝගය නිශ්චිතව ම සුව කරන ප්‍රතිකාර ක්‍රම මෙතෙක් සොයාගෙන නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එම සංවිධානය නිර්දේශ කරන පරිදි ඇතැම් ඖෂධ එන්ඩොමෙට්‍රියෝසිස් සහ එහි රෝග ලක්ෂණ කළමනාකරණය කිරීමට උපකාරී වේ.

ඉබුප්‍රොෆෙන් සහ නැප්‍රොක්සන් වැනි ස්ටෙරොයිඩ් නොවන ඖෂධ (NSAIDs) සහ අනෙකුත් වේදනා නාශක බොහෝවිට වේදනාවට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරයි.

හෝමෝන ඖෂධ සමහර කාන්තාවන් තුළ වේදනාවේ බරපතළකම සහ/හෝ වාර ගණන අඩු කළ හැකි ය.

කෙසේ වෙතත්, මෙම ක්‍රමවලින් සමහරක් ගැබ් ගැනීමට කැමති කාන්තාවන් සඳහා සුදුසු නොවිය හැකිය.

ශල්‍ය ප්‍රතිකාර මගින් එන්ඩොමෙට්‍රියෝසිස් තුවාල, ඇලවුම් සහ කැළැල් පටක ඉවත් කළ හැකි ය. ගර්භාෂය ඉවත් කිරීම (ශල්‍යකර්මයෙන් ගර්භාෂය ඉවත් කිරීම), සාමාන්‍යයෙන් ඩිම්බ කෝෂ ඉවත් කිරීම සමග, වෙනත් ප්‍රතිකාරවලට ප්‍රතිචාර නොදක්වන සහ දරුවෙකු ලැබීමට සැලසුම් නොකරන පුද්ගලයින් සඳහා සලකා බැලිය හැකි ය.

කෙසේ වෙතත්, ගර්භාෂය ඉවත් කිරීම සුවයක් නොවන අතර, සමහර රෝගීන්ට රෝග ලක්ෂණ ඉතිරිව පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මේ අතර, මහාචාර්ය හේමන්ත සේනානායක ප්‍රකාශ කළේ, ශල්‍යකර්ම මගින් ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය නම් පමණක් සිදු කරන බව ය.

මේ සම්බන්ධයෙන් රෝග ලක්ෂණ ඇති විට වහා ම වෛද්‍ය උපදෙස් ලබාගෙන කල්තබා රෝග තත්ත්වය හඳුනා ගැනීම අත්‍යවශ්‍ය බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.