'මට පවුලත් එක්ක සාමදාන වෙන්න ඕන නැහැ,' ඩේවිඩ් බෙකම්ගේ පුත් බෲක්ලින් පෙල්ට්ස්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

Brooklyn, Victoria and David Beckham

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රීමත් ඩේවිඩ් සහ වික්ටෝරියා බෙකම් ආර්යාව ඔවුන්ගේ වැඩිමහල් පුත්‍රයා සහ ඔහුගේ බිරිඳ නිකොලා සමග ඇති බවට පැවසෙන ගැටලු පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැත
    • Author, මායා ඩේවිස්

තම පවුල සමග "සාමදාන වීමට" අවශ්‍යතාවක් නැතැයි, බෲක්ලින් පෙල්ට්ස් බෙකම් සිය දෙමාපියන් සමග ඇති සම්බන්ධය පිළිබඳව පළ වන වාර්තා ගැන පළමු වරට ප්‍රසිද්ධියේ අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

ඉන්ස්ටග්‍රෑම්හි සටහන් කිහිපයක් ම තබමින්, ශ්‍රීමත් ඩේවිඩ් බෙකම් සහ බෙකම් ආර්යාවගේ වැඩිමහල් දරුවා වන ඔහු තම දෙමාපියන් තමාට සහ ඔහුගේ බිරිඳට මාධ්‍ය ඔස්සේ "පහර දුන්" බවට චෝදනා කරමින්, නිකොලා පෙල්ට්ස් බෙකම් සමග ඇති ඔහුගේ සම්බන්ධතාව "දිගින් දිගට ම විනාශ කිරීමට" උත්සහ කළ බව පැවසීය.

මෙම පවුලේ ආරවුලක් පිළිබඳව මාස ගණනක් පුරා විවිධ අදහස් පළ වූ අතර ඔහු පැවසුවේ, තත්ත්වය රහසිගතව තබා ගැනීමට උත්සහ කළ නමුත්, "මා වෙනුවෙන් කතා කිරීම සහ සත්‍යය පැවසීම හැර වෙනත් විකල්පයක් නොමැති" බව ය.

අදහස් විමසීම සඳහා බීබීසීය ශ්‍රීමත් ඩේවිඩ් සහ බෙකම් ආර්යාවගේ නියෝජිතයින් සම්බන්ධ කරගෙන තිබේ. මෙම යුවළ කිසි විටෙකත් තම පවුල තුළ භේදයක් ඇති බවට පිළිගෙන නොමැත.

"මම අවුරුදු ගාණක් සද්ද නැතුව හිටියා. මේ දේවල් පෞද්ගලිකව තියා ගන්නත් උත්සහ කළා," 26 හැවිරිදි ඔහු මිලියන 16ක් වන තම ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස් වෙත සටහන් කිහිපයක් තබමින් පැවසීය.

"අවාසනාවකට, මගේ දෙමව්පියන් සහ ඔවුන්ගේ කණ්ඩායම දිගට ම මාධ්‍ය ඔස්සේ කතා කරනවා. මා වෙනුවෙන් කතා කිරීම සහ පළ වෙලා තියෙන සමහර බොරු ගැන පමණක් සත්‍යය පැවසීම හැර වෙනත් විකල්පයක් මට ඉතිරි වෙලා නැහැ.

"මට මගේ පවුලේ අය එක්ක සමාදාන වෙන්න ඕන නෑ. මම මේක කියන්නේ වෙන කෙනෙකුගේ උවමනාවට නෙවෙයි. මම මගේ ජීවිතේ පළවෙනි වතාවට මා වෙනුවෙන් පෙනී ඉන්නවා."

ඔහු මෙසේ ද පැවසීය: "මෑතකදී, තමන්ගේ ම ප්‍රතිරූපය ආරක්ෂා කර ගන්න, ගොඩක් වෙලාවට අහිංසක මිනිසුන්ගේ වියදමින්, මාධ්‍ය තුළ අසංඛ්‍යාත බොරු ප්‍රචාරය කිරීමට ඔවුන් ගන්නා උත්සහයන් මම මගේ ම ඇස් දෙකෙන් දැක්කා. නමුත් සත්‍යය සැමවිට ම එළියට එනවා කියලා මම විශ්වාස කරනවා."

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඔහුගේ ප්‍රකාශයේ වැඩි කොටසක අවධානය යොමු වී තිබුණේ ඔහුගේ බිරිඳ සමග ඇති සම්බන්ධතාව කෙරෙහි ය. ඇය ඇමෙරිකානු රංගන ශිල්පිනියක වන අතර ප්‍රකෝටිපති ව්‍යාපාරික නෙල්සන් පෙල්ට්ස්ගේ දියණිය වේ. "අපි සමගියෙන් ඉන්න කොච්චර උත්සහ කළත්, මගේ පවුලේ අය ඇයට නිරන්තරයෙන් අගෞරව කළා," ඔහු පැවසීය.

ඔහු තම දෙමාපියන් ඔවුන්ගේ විවාහය කඩාකප්පල් කිරීමට උත්සහ කළ බවට චෝදනා කළ අතර, විලාසිතා නිර්මාණ ශිල්පිනියක වන ඔහුගේ මව "නිකොලාගේ මංගල ඇඳුම නිර්මාණය කිරීම අන්තිම මොහොතේ අවලංගු කළ බවත්, ඒ හේතුවෙන් ඇයට කඩිනමින් වෙනත් ඇඳුමක් සොයා ගැනීමට සිදුවුණු බවත්," ඔහු පැවසීය.

මේ වන විට 31 හැවිරිදි වියේ පසු වන නිකොලා, බෙකම් ආර්යාවගේ විසින් නිර්මාණය කරන ලද ඇඳුමක් ඇඳීම ප්‍රතික්ෂේප කළ බවට එකල වාර්තා පළ විය. පසුව ඇය ටයිම්ස් පුවත්පතට පැවසුවේ ඊට හේතුව තම නැන්දනියගේ ආයතනයට නියමිත වේලාවට එය නිම කිරීමට නොහැකි බව වැටහීම නිසා මිස වෙනත් ආරවුලක් පැවති නිසා නොවන බව ය.

බෙකම් ආර්යාව ඔවුන්ට මංගල දින නර්තනයේ යෙදීමට තිබුණු අවස්ථාව "උදුරා ගත්" බවට ද චෝදනා කළේ ය. තමා වේදිකාවට කැඳවූ විට, තම බිරිඳ වෙනුවට "මගේ අම්මා මා සමග නටන්න බලාගෙන හිටියා" සහ "හැමෝම ඉදිරියේ ඉතා අශෝභන විදිහට නැටුවා" යැයි ඔහු පැවසීය.

නව ආරම්භයක් ලබා ගැනීමට ඔවුන් 2025 වසරේ නැවත විවාහ වූ බව ඔහු පැවසුවේ, "ඒක අපිට ප්‍රීතිය සහ සතුට ගෙන දෙන්නක් මිස, මානසික වදයක් සහ ලැජ්ජාවක් ගෙන දෙන්නක් නෙවෙයි," යනුවෙන් පවසමිනි.

විවාහයට සති කිහිපයකට පෙර ඔහුගේ දෙමව්පියන් "මගේ නමට තියෙන අයිතිවාසිකම් ඉවත් කරන්න දිගින් දිගට ම බලපෑම් කළ අතර අල්ලස් දෙන්නත් උත්සහ කළ," බවට ද ඔහු චෝදනා කළේ ය. ඔහු සඳහන් කරන්නේ කුමන අයිතිවාසිකම් ගැන ද යන්න පැහැදිලි නැත.

ඔහු එසේ කිරීමට එකඟ වීමෙන් වැළකී සිටි බව පැවසීය. එය "තමන්ට ලැබීමට තිබුණු මුදලක් නොලැබීමට" බලපෑ අතර එතැන් සිට ඔවුන් මට වෙන දා වගේ සැලකුවේ නැහැ," ඔහු පැවසීය.

The Beckhams and Brooklyn and Nicola are pictured on a red carpet

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2023 ඔක්තෝබර් මාසයේදී ඔවුන් පිළිබඳව නිර්මාණය වූ Netflix වාර්තා චිත්‍රපටයක් වන Beckhamහි මංගල දර්ශනයට මෙම යුවළ පවුලේ සෙසු සාමාජිකයින් සමග සහභාගී වූ අයුරු

මෙම ආරවුල පිළිබඳ විවිධ මත පළ වීමට හේතු වූ තවත් සිදුවීමක් ගැන ද ඔහු සඳහන් කළේය: මැයි මාසයේ පැවති ශ්‍රීමත් ඩේවිඩ්ගේ 50 වන උපන් දින සාදයට මෙම යුවළ සහභාගි වී සිටියේ නැත.

පෙල්ට්ස් බෙකම් පැවසුවේ, ඔහු සහ ඔහුගේ බිරිඳ ශ්‍රීමත් ඩේවිඩ්ගේ උපන්දිනය සඳහා ලන්ඩනයට ගිය නමුත් "ඔහුත් එක්ක කාලය ගත කරන්න සැලසුම් කර තිබුණත්, සතියක් තිස්සේ අපිට කිසි ම ආරාධනාවක් ලැබුණේ නැහැ. අපිට හෝටල් කාමරයට වෙලා ඉන්න සිද්ධ වුණා," යනුවෙනි.

"ඔහු අපිව හමුවෙන එක හැම අවස්ථාවක ම ප්‍රතික්ෂේප කළා," ඔහු ලිවීය.

ඔහුගේ පියා "අවසානයේ ඔහු හමුවීමට එකඟ වූ" නමුත් ඒ, ඔහුගේ බිරිඳ එහි නොමැති බවට වූ කොන්දේසියක් මත බව ඔහු පැවසීය. එය ඔහුට එල්ල වූ "කම්මුල් පහරක්" ලෙස ඔහු හැඳින්වූ අතර, පසුව ලොස් ඇන්ජලීස් වෙත ගිය ගමනකදී ඔහුගේ පවුලේ අය ඔහුව දැකීම ප්‍රතික්ෂේප කළ බව පැවසීය.

ඒ අවස්ථාවේදී, එක් මූලාශ්‍රයක් බීබීසීයට පැවසුවේ, 26 හැවිරිදි ඔහු සාදයට නොයාමට තීරණය කර ඇත්තේ ඔහුගේ බාල සොහොයුරා වන රෝමියෝ ඔහු කලින් සම්බන්ධතාවක් පැවති කාන්තාවක සමග ඊට සහභාගී වී සිටි බැවින් බව ය.

තම මව "අප දෙදෙනා ම අපහසුතාවට පත් කිරීමේ අරමුණින් පැහැදිලිව ම අතීතයේදී මට සම්බන්ධතා තිබුණු කාන්තාවන්ට නැවත නැවතත් ආරධානා කළා," යනුවෙන් ඔහු තවදුරටත් චෝදනා කළේ ය.

"අන් සියල්ලට ම වඩා මහජන ප්‍රසාදය" තකා තම පවුල ක්‍රියා කළ බවට ද ඔහු චෝදනා කළේ ය.

"බෙකම් සන්නාමය තමයි මුලින් ම එන්නේ," ඔහු ලිවීය, "පවුලේ 'ආදරය' තීරණය වෙන්නේ ඔබ සමාජ මාධ්‍යවල කොපමණ පෝස්ට් පළ කරනවා ද යන්න මත," ඔහු තවදුරටත් පැවසීය.

ඔහු මෙසේ ද පැවසීය: "මගේ ජීවිතයේ වැඩි කාලයක් මාව පාලනය කළේ මගේ දෙමව්පියන්. මම හැදී වැඩුණේ අධික කාංසාවෙන්. මගේ පවුලෙන් ඈත් වුණාට පස්සේ මගේ ජීවිතේ පළවෙනි වතාවට ඒ කාංසාව නැති වෙලා ගියා".

පෙල්ට්ස් බෙකම් පැවසුවේ, "මගේ දෙමව්පියන්ගෙන් පෞද්ගලිකව සහ ප්‍රසිද්ධියේ නිමක් නැති ප්‍රහාරවලට ලක් වූ බවත්, ඒවා මාධ්‍ය වෙත ගියේ ඔවුන්ගේ උපදෙස් අනුව," බවත් ය.

"පසුගිය ගිම්හානයේදී මාව බ්ලොක් කරන්න කලින්," තම බාල සහෝදරයන් "සමාජ මාධ්‍ය ඔස්සේ මට පහර දීමට පොළඹවා ඇති" බව ඔහු තවදුරටත් පැවසීය.

තම දෙමව්පියන් "කිසි විටෙකත් තම පුතා අන්ෆලෝ නොකරන" බව 20 හැවිරිදි කෲස් බෙකම් දෙසැම්බර් මාසයේදී පැවසුවේ, ඔවුන් එසේ කළ බවට ඩේලි මේල් පළ කළ පුවතකට ප්‍රතිචාර වශයෙනි.

"ඒක බොරුවක්. මගේ අම්මයි තාත්තයි කවදාවත් එයාලගේ පුතාව අන්ෆලෝ කරන්නේ නැහැ. අපි කරුණු හරියට තේරුම් ගනිමු," ඔහු ඉන්ස්ටග්‍රෑම්හි ලිවීය.

"එයාලත් දැනගත්තා මාව වගේ ම එයාලවත් බ්ලොක් කරලා කියලා."

හිටපු එංගලන්ත පාපන්දු නායක ශ්‍රීමත් ඩේවිඩ් සහ හිටපු ස්පයිස් ගර්ල්ස් සාමාජික බෙකම් ආර්යාවට තවත් පුතුන් දෙදෙනෙකු සහ දියණියක සිටිති. 23 හැවිරිදි රෝමියෝ සහ 14 හැවිරිදි කෲස් සහ හාපර් සෙවන්, එම දරුවන් වෙති.