ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක රොඩ්‍රි, බලෝන් ඩෝර් සම්මානයෙන් පිදුම් ලබයි

Rodri wins Ballon d'Or

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

වසරේ හොඳ ම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන බලෝන් ඩෝර් (Ballon d'Or) සම්මානය මැන්චෙස්ටර් සිටි සහ ස්පාඤ්ඤ කණ්ඩායම්වල මැද පෙළ ක්‍රීඩක රොඩ්‍රි පළමු වරට දිනා ගත්තේ ය.

පසුගිය තරග වාරෙය් ක්‍රීඩා සමාජය සහ රට වෙනුවෙන් ක්‍රීඩා කළ තරගවලින් එක් තරගයකදී පමණක් පරාජය අත්විඳි මෙම 28 හැවිරිදි ක්‍රීඩකයා ජූලි මාසයේදී යූරෝ 2024 තරගාවලියේදී ස්පාඤ්ඤය ජයග්‍රහණය කරා මෙහෙයවීමෙන් පසු පැරිසීයේදී මෙම සම්මානය ප්‍රදානය කෙරිණි.

තව ද, ඔහු ප්‍රිමියර් ලීග්, යුරෝපා ලීග් සුපර් කප්, සහ ක්‍රීඩා සමාජ ලෝක කුසලානය ඇතුළු ශූරතා මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජ කණ්ඩායම වෙනුවෙන් දිනා ගත්තේ ය.

මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජ ඉතිහාසයේ බලෝන් ඩෝර් සම්මානය දිනා ගත් පළමු ක්‍රීඩකයා වන රොඩ්‍රි, රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායමේ බ්‍රසීල ක්‍රීඩක විනීසියස් දෙවන ස්ථානයට පමුණුවමින් එම සම්මානය දිනා ගත්තේ ය.

රියාල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජයේ මැද පෙළ ක්‍රීඩක ජූඩ් බෙලිංහැම් තෙවන ස්ථානය හිමි කර ගත්තේ ය. - 2005 වසරේදී ෆ්‍රෑන්ක් ලැම්පාර්ඩ් දෙවන ස්ථානයට පත්වීමෙන් පසු ඉංග්‍රීසි ක්‍රීඩකයෙකු බලෝන් ඩෝර් සම්මාන උළෙලකදී ලැබූ ඉහළ ම ස්ථානය එය විය.

වසරේ විශිෂ්ටතම ක්‍රීඩා සමාජය සඳහා වන සම්මානය රියාල් මැඩ්‍රිඩ් දිනාගත් අතර, එහි කළමනාකරු කාර්ලෝ ඇන්චලොටි පිරිමි කාණ්ඩයේ හොඳ ම පුහුණුකරුට හිමි සම්මාන දිනා ගත් නමුත්, සම්මාන ලබා ගැනීමට ක්‍රීඩා සමාජයේ කිසිවෙකුත් පැමිණ සිටියේ නැත.

විනීසියස්ට බලෝන් ඩොර් සම්මානය ලබා නොදෙනු ඇතැයි වාර්තා වීමෙන් පසු රියාල් මැඩ්‍රිඩ් ක්‍රීඩා සමාජය සම්මාන උළෙල වර්ජනය කරන බව සඳුදා උදෑසන වාර්තා විය.

සැප්තැම්බර් මාසයේදී දණහිසේ ආබාධයකට ලක්වීමෙන් පසුව කිහිලිකරු ආධාරයෙන් වේදිකාවට පැමිණි රොඩ්‍රි පැවසුවේ, "මට, මගේ පවුලට සහ මගේ රටට ඉතාමත් විශේෂ දිනයක්," යනුවෙනි.

"මේ මගේ ජයග්‍රහණයක් නොවෙයි, [ඇන්ද්‍රස්] ඉනියෙස්තා, චාබි [හර්නන්දෙස්], ඉගෙර් [ගසීයාස්], සර්ගියෝ බුස්කෙට්ස් වැනි මේ සම්මානය ජග්‍රහණය නොකළ නමුත් එයට සුදුසු බොහෝ ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩකයන් සහ ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් ලැබුණු ජයග්‍රහණයක්."

ක්‍රීඩා සමාජය සහ රට වෙනුවෙන් තැබූ වාර්තා වෙනුවෙන් රොඩ්‍රිට සම්මාන

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බලෝන් ඩෝර් වසරේ හොඳ ම පාපන්දු ක්‍රීඩකයා හඳුනා ගන්නේ, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ පිරිමි ලෝක ශ්‍රේණිගත කිරීම්වල මුල් 100 සිටින එක් එක් රටවල්වල මාධ්‍යවේදීන්ගේ ජූරියකින් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ය.

2003 සිට අට වරක් ජයග්‍රහණය කළ 37 හැවිරිදි ලයනල් මෙසී හෝ පස් වරක් ජයග්‍රහණය කළ 39 හැවිරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නිර්දේශිත ලැයිස්තුවේ පෙනී නොසිටි පළමු අවස්ථාව මෙය විය.

2023 දී ත්‍රිත්ව ජයග්‍රහණයක් සඳහා මැන්චෙස්ටර් සිටි කණ්ඩායමට සහය වෙමින්, පසුගිය වසරේ බලෝන් ඩෝර්හි පස් වන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට රොඩ්‍රිට සිදුවිය.

මැන්චෙස්ටර් සිටි සමග ඔහුගේ අඛණ්ඩ සාර්ථකත්වය සහ යූරෝ 2024 ස්පාඤ්ඤ ජයග්‍රාහී කණ්ඩායම තුළ ඔහුගේ භූමිකාව ඔහු පාපන්දු ක්‍රීඩාවේ බලපෑම්සහගත ක්‍රීඩකයෙකු බවට නිරීක්ෂණය කර තිබේ.

එංගලන්තයට එරෙහි යුරෝ අවසන් තරගයේ එක් අර්ධයක මෙම මැද පෙළ ක්‍රීඩකයා ආබාධයට ලක්ව සිටි නමුත්, තරගාවලියේ වීරයා සඳහා නිර්දේශ වීමට සම්පූර්ණ කළ යුතු දක්ෂතා ඔහු ඒ වන විටත් සිදු කර තිබිණි.

ප්‍රිමියර් ලීග් තරගවලදී තීරණාත්මක දඬුවම් පහර දෙකක් සහ වෙස්ට් හැම් සමාජ පාපන්දු කණ්ඩායමට එරෙහි 3-1 සාර්ථක ජයග්‍රහණයේ ගෝලයක් ඇතුළත්ව පසුගිය වාරයේදී මැන්චෙස්ටර් සිටි කණ්ඩායම වෙනුවෙන් ඔහුගේ වෘත්තීය ජීවිතයේ හොඳ ම ගෝල වාර්තා කීරීම වන ගෝල 9ක් රැස් කළේ ය.

1995 ජයග්‍රාහකයා වූ ජෝර්ජ් වියා අතින් සම්මානය ලැබූ රොඩ්‍රි තවදුරටත් පැවසුවේ, "සැඟවුණු බොහෝ මැද පෙළ ක්‍රීඩකයන් පෙනෙන්නට සැලැස්වීම නිසා පාපන්දු ක්‍රීඩාව ජයග්‍රහණය කර තිබෙන බව ගොඩක් යහළුවන් මට අද ලියලා සහ කියලා තියෙනවා," යනුවෙනි.

"මම වටිනාකම් සහිත, ඉගෙන ගන්නා, දේවල් හරියට කිරීමට උත්සහ කරන සහ සාම්ප්‍රදායික දේ අනුගමනය නොකරන සාමාන්‍ය පුද්ගලයෙක් වෙලා සිටිද්දී වුණත් ඔබ සියලු දෙනාට ස්තූති වන්නට මට ඉහළට එන්න හැකි වෙලා තියෙනවා."

ඔහුට මෙවර තරග වාරය අහිමි කළ හැකි දණහිස් ආබාධය ගැන විමසූ විට ඔහු මෙසේ පැවසුවේ ය: "මම මගේ ගැන බලන්න උත්සහ කරමින් ඉන්නේ. විවේකය සහ මගේ පවුල සමග නිදහසේ කාලය ගත කරමින් නැවත ශක්තිමත්ව ආපසු එනවා."

කේන් සහ එම්බප්පේ ගර්ඩ් ම්‍යුලර් කුසලානය සමව හිමිකර ගනිති

Harry Kane wins the Gerd Muller award

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2023 දී කේන් ටොටන්හැම් ක්‍රීඩා සමාජයේ සිට බයාන් මියුනික් සමාජයට එකතු විය

හොඳ ම ගෝල රැස්කරන්නාට හිමි සම්මානය වන ගර්ඩ් ම්‍යුලර් කුසලානය හැරී කේන් සහ කිලියන් එම්බප්පේ සමව හිමි කර ගත්තේ ඔවුන් දෙදෙනා ම පසුගිය වාරයේ සියලු තරගාවලිවලදී ගෝල 52ක බැගින් රැස් කර තිබීම හේතුවෙනි.

රියාල් මැඩ්‍රිඩ් සමග ප්‍රංශ ඉදිරි පෙළ ක්‍රීඩක කිලියන් එම්බප්පේගේ නොපැමිණීම නිසා බයාන් මියුනික් සමග පැවති පළමු තරග වාරයෙන් පසුව එංගලන්ත නායක කේන් මෙම කුසලානය තනිව ලබාගත්තේ ය.

"මම රැස් කළ සියලු ගෝල රැස් කිරීමට මට උදව් කළ බයාන් මියුනික් මගේ ක්‍රීඩා සමාජයට, මගේ සියලු කාර්ය මණ්ඩලයට, කණ්ඩායමේ සාමාජිකයන්ට ස්තූතියි," යැයි බලෝන් ඩෝර් පිරිමි කාණ්ඩයේ ශ්‍රේණිගත කිරීම්වල 10 වන ස්ථානයට පත්වූ කේන් පැවසුවේ ය.

"[කාල්-හයින්ස් රුමිනිගා] ක්‍රීඩා සමාජ මට්ටමේ විශිෂ්ටයෙකුගෙන් මෙම සම්මානය ලබා ලබා ගැනීමට හැකි වීම ගෞරවයක් - බොහොම ස්තූතියි."

උළෙල වර්ජනය කළ රියාල් මැඩ්‍රිඩ් ක්‍රීඩා සමාජ සහ පුහුණුකරු සම්මාන දිනයි

වසරේ ක්‍රීඩා සමාජය සඳහා සම්මානය රියාල් මැඩ්‍රිඩ් දිනා ගැනීම සහ ඇන්චලොටි හොඳ ම පුහුණුකරුට හිමි යොහාන් ක්‍රයිෆ් කුසලානය හිමි කර ගත්ත ද වේදිකාව මත කිසිදු කතාවක් පැවැත්වුණේ නැත.

ඒ වෙනුවට උත්සවය වේගයෙන් ඉදිරියට ගලා ගියේ ය.

ඇන්චලොටි යටතේ රියාල් මැඩ්‍රිඩ් ලා ලීගා ලකුණු 10කින් ජයග්‍රහණය කරමින්, ඔවුන්ගේ 15 වන ශූරතාව දිනා ගනිමින්, ඔවුන් චැම්පියන්ස් ලීගය ජයග්‍රහණය කළ අතර ස්පැනිෂ් සුපර් කප් ද ජයග්‍රහණය කළේ ය.

පිරිමි කාණ්ඩයේ බලෝන් ඩෝර් සම්මානය සඳහා ඔවුන්ගේ ක්‍රීඩකයන් හත් දෙනෙකු කෙටි නිර්දේශිත ලැයිස්තුවට ඇතුළත් වී තිබිණි.

කෝපා කුසලානය යමාල්ට

Lamine Yamal wins Kopa Trophy

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලමීන් යමාල් කෝපා කුසලානය දිනා ගත් වසය අවුරුදු 18ට අඩු පළමු වැන්නා යි

වයස වුරුදු 21ට අඩු දක්ෂතම ක්‍රීඩකයාට පිරිනමන කෝපා කුසලානය බාසිලෝනා ක්‍රීඩා සමාජයේ සහ ස්පාඤ්ඤ ප්‍රහාරක ක්‍රීඩකයෙකු වන ලමීන්න් යමාල්ට හිමි විය.

ජුලි මාසයේදී වයස 17ට එළැඹි යමාල් පසුගිය වාරයේ බාසිලෝනා වෙනුවෙන් තරග 50ක් ක්‍රීඩා කර ගෝල 7ක් සහ සහය 7ක් ලබා දුන්නේ ය.

ඔහු ස්පාඤ්ඤයේ යුරෝ 2024 ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයෙකු වූ අතර, එහිදී ජර්මනියේදී ඔහුගේ සහයන් හතර තනි යුරෝපීය ශූරතාවලියක ඕනෑ ම ක්‍රීඩකයෙකු සඳහා වූ වාර්තාව සම කළේ ය.

ළාබාලතම ක්‍රීඩකයා, ගෝල රැස්කරන්නා සහ යුරෝහි ජයග්‍රාහකයා වූ යමාල් තරගාවලියේ හොඳ ම තරුණ ක්‍රීඩකයා ලෙස ද නම් කෙරිණි.

මාටිනස් අඛණ්ඩව දෙවන වරටත් යෂින් කුසලානය දිනා ගනියි

Emiliano Martinez wins Yashin Trophy

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය වාරයේ ප්‍රිමියර් ලීගයේ ඇස්ටන් විලා ක්‍රීඩා සමාජ පාපන්දු කණ්ඩායමට එරෙහිව කිසිදු ගෝලයක් වාර්තා කිරීමට එලිමියානෝ මාටිනස් ඉඩ දුන්නේ නැත

හොඳ ම ගෝල රකින්නාට හිමි යෂින් සම්මානය දෙවන වසරටත් ඇස්ටන් විලා කණ්ඩායමේ සහ ආර්ජන්ටිනාවේ ගෝල රකින්නා වන එමිලියානෝ මාටිනස් දිනාගත්තේ ය.

2022 ලෝක කුසලාන ජයග්‍රාහක මාටිනස් විසින් පසුගිය වාරයේ ප්‍රිමියර් ලීගයේ හතර වන ස්ථානයත් පළමු වරට චැම්පියන්ස් ලීගයට සුදුසුකම් ලැබීමටත් සහය විය.

32 හැවිරිදි ඔහු කෝපා ඇමෙරිකා තරගාවලියේ තරග 6කදී ආර්ජන්ටිනාවට එරෙහිව තරග 5කදී කිසිදු කණ්ඩායමකට ගෝල රැස් කිරීමට ඉඩ දුන්නේ නැත.

"එක් වරක් ජයග්‍රහණය කිරීම ගෞරවයක්, නමුත් නැවත නැවත ජයග්‍රහණය කිරීම මම අපේක්ෂා නොකළ දෙයක්," යැයි දෙවරක් අඛණ්ඩව ගෝල රකින්නාගේ සම්මානය දිනා ගත් එක ම ක්‍රීඩකයා වන මාටිනස් පැවසුවේ ය.

බලෝන් ඩෝර් දක්ෂතම ක්‍රීඩකයන් 10 දෙනා

  • රොඩ්‍රි (ස්පාඤ්ඤය සහ මැන්චෙස්ටර් සිටි )
  • විනීසියස් (බ්‍රසීලය සහ රියාල් මැඩ්‍රිඩ්)
  • ජූඩ් බෙලිංහැම් (එංගලන්තය සහ රියාල් මැඩ්‍රිඩ්)
  • ඩැනී කර්වහාල් (ස්පාඤ්ඤය සහ රියාල් මැඩ්‍රිඩ්)
  • අර්ලින් හාලන්ඩ් (නෝර්වේ සහ මැන්චෙස්ටර් සිටි )
  • කිලියන් එම්බප්පේ (ප්‍රංශය සහ රියාල් මැඩ්‍රිඩ්)
  • ලව්තාරෝ මාටිනස් (ආර්ජන්ටිනාව සහ ඉන්ටර් මිලාන්)
  • ලමීන් යමාල් (ස්පාඤ්ඤය සහ බාසිලෝනා)
  • ටෝනි කෲස් (ජර්මනිය සහ රියාල් මැඩ්‍රිඩ්)
  • හැරී කේන් (එංගලන්තය සහ බයාන් මියුනික්)