ක්‍රීඩා සංගම් තහනම් වන්නේ දේශපාලන අත පෙවීම් නිසාද? පරිපාලකයින්ගේ දූෂණ නිසාද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයේ ඔසවා තැබීමට මෙරට ක්‍රීඩා කේෂ්ත්‍රය දක්වන දායකත්වය සුවිශාල ය.
එහෙත් මේ වන විට මෙරට ප්‍රධාන ක්‍රීඩා සංගම් දෙකක් වන පාපන්දු සහ රග්බි ක්‍රීඩාවලට ජාත්‍යන්තර වශයෙන් තරග තහනමක් පනවා තිබේ.
මීට අමතරව දේශීය වශයෙන් ද ක්‍රීඩා සංගම් කිහිපයක් සඳහා තහනම් පැනවීමට සහ ඒවායේ ලියාපදිංචිය අහෝසි කිරිමට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.
ඊට අලුතින්ම එක් වුණේ මෝටර් රථ ක්‍රීඩාව සඳහා වන ජාතික සංගමය වන ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයයි.
ක්‍රීඩා සංගම් හා ක්‍රීඩා තරග තහනම් හේතුවෙන් මෙරට ක්‍රීඩා කේෂ්ත්‍රයට අනාගතයෙ දී අත්විය හැකි ඉරණම කුමක් ද ? බීබීසි සිංහල ඒ පිළිබඳව සොයා බැලීමක් කරනු ලැබුවේ ය.
තහනමට ලක්වූ ක්‍රීඩා සංගම් මොනවාද?
මේ වන විට ශ්‍රී ලංකාව තුල ලියාපදිංචිව ඇති සමස්ත ක්‍රීඩා සංගම් සංඛ්‍යාව 72ක් බවත් ඉන් සංගම් හයක ලියාපදිංචිය සම්පුර්ණයෙන් අහෝසි වී ඇති බවත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව බීබීසී සිංහල වෙත පැවසුවේ ය.
මේ අතර තවත් ක්‍රීඩා සංගම් තුනකට තාවකාලික තහනමක් පනවා ඇති බව එම දෙපාර්තමේන්තුවේ සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ තිලක් අල්පොන්සෝ සඳහන් කළේය.
" රගර්, පාපන්දු සහ කරාටේ යන ක්‍රීඩා සංගම් තුනට මේ වෙද්දී තාවකාලික තහනමක් පනවා තිබෙනවා. ඉන් පාපන්දු සහ රගර් සංගම් සඳහා තහනම පනවනු ලැබුවේ ඔවුන් නියෝජනය කරන ජාත්‍යන්තර සම්මේලන විසින්."
"මීට අමතරව තවත් ක්‍රීඩා සංගම් 06ක ලියාපදිංචිය සම්පුර්ණයෙන්ම අහෝසි වී තිබෙනවා. ඊට හේතුව වන්නේ එම ක්‍රීඩා සංගම් ස්ථිර තැනක නොපිහිටීම සහ ක්‍රියාකාරී මටටමේ නොතිබීම."
"එලෙස තහනම් කර ඇත්තේ ශ්‍රී ලංකා සැම්බෝ, ශ්‍රී ලංකා පවර් බෝල්, ශ්‍රී ලංකා යුනිෆයිට්, ශ්‍රී ලංකා බෝල්රූම් ඩාන්ස් සංගමය, ශ්‍රී ලංකා ස්ක්‍රෑබ්ලර්, ශ්‍රී ලංකා ජුජීත්සූ යන සංගම්." ඔහු පැවසුවේය.
ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයත් අත්හිටුවයි
මෙරට මෝටර් රථ ක්‍රීඩාව සඳහා වන ජාතික සංගමය වන ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් (අගෝස්තු 09 වැනිදා) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එමෙන්ම එම සංගමයේ ඉදිරි කටයුතු තාවකාලිකව පවත්වාගෙන යෑම සඳහා මහේෂ් ගම්මන්පිලගේ සභාපතිත්වයෙන් යුත් සත් පුද්ගල කමිටුවක් ද ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබීය.
ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා නිලවරණය පැවැත්වීම සඳහා එම සම්මේලනයෙහි විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා එමගින් නිලවරණ කමිටුවක් පත්කිරීම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා මගින් සිදුකරන ලෙසටද අදාළ ගැසට් නිවේදනය මගින් දන්වා තිබේ.
එමෙන්ම නිලවරණ කමිටුව මගින් නිලවරණය කැඳවීම හා පැවැත්වීම ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමේ බලය ද මෙම අති විශේෂ ගැසට් නිවේදනය මගින් පවරා ඇත.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
ජාත්‍යන්තරය සමග එක්ව ගමන් කළ යුතුයි
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංවිධානවල ව්‍යවස්ථාවන් අනුව එක්ව කටයුතු කිරීමට එකඟ වී ඇති බවත් ඒ අනුව එම ව්‍යවස්ථාවන් නොසලකා හැර කටයුතු කරගෙන යා නොහැකි බවත් ලෝක කැරම් සංගමයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කරන පරාක්‍රම බස්නායක බීබීසි සිංහල සේවය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ය.
" මා මෙරට ප්‍රධාන ක්‍රීඩා සංගම් රැසක් නියෝජනය කළ නිලධාරියෙක් වශයෙන් ඇති අත්දැකීම් අනුව කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංගම් බැඳී සිටිනවා තමන්ගේ ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වල ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්න. "
"මොකද ඒ ව්‍යවස්ථාවේ අඩංගු නීති වලට අපි බැඳිලා අත්සන් තබා ඇති නිසා. "
"ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වල ඇති ව්‍යවස්ථාවට අනුව ලංකාවේ ක්‍රීඩා සංගම් පවත්වාගෙන යන්න කටයුතු කරන්න ඕන. "
"ක්‍රීඩා සභාවේ සිටින පුද්ගලයින් ඒ අනුව කටයුතු කරන්න උනන්දුවක් දක්වන්නේ නැහැ කියලා පෙනී යනවා ඔවුන් කටයුතු කරන ආකාරයෙන්. ඒ වගේම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා සංගම් සම්බන්ධයෙන් සිටින නිලධාරිනියක් මේ ගැන දැනුවත් නැහැ. ඔවුන් තමන්ට අවශ්‍ය පුද්ගලයින් පත්කර ගන්න හදනවා ව්‍යවස්ථාවට පිටින්. මේක ඉතාම නරක ක්‍රියාවක්. මේ නිසා තමයි පාපන්දු, රගර් වැනි ක්‍රීඩාවන් තහනමට ලක්වෙලා තියෙන්නේ. "
"ඒ වගේම මීළඟට ක්‍රිකට් ක්‍රීඩාවටත් මේ තත්ත්වය උදාවෙයි කියලා සැකයක් තියෙනවා. මොකද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කැමැති නැහැ දේශපාලන අත ගැසීම් වලට."
"මේ ඇඟිලි ගැසීම් වලින් ක්‍රීඩාවේ යෙදිලා ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශාල අගතියක් සිදුවෙනවා. ඒ නිසා ඔවුන්ට ඔලිම්පික් ධජයක් යටතේ තමයි ක්‍රීඩා කරන්න සිද්ධ වෙන්නේ.
ඒ වගේම තවත් ක්‍රීඩා සංගම් කිහිපයක්ම තිබේ තහනම් කිරීමට යන ස්වභාවයක් පෙන්නුම් කරනවා. තහනම් කිරීමක් නොවෙයි සිදුවිය යුත්තේ ව්‍යවස්ථාවට අනුව කටයුතු කෙරෙනවාද කියා සොයා බලා ඒවා නියාමනය කිරීමයි. එය තමයි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් සිද්ධ වෙන්න ඕන. "
"ක්‍රීඩා සභාවේ කටයුතු නිසා ක්‍රීඩා අමාත්‍යවරයාත් ගොඩක් වැරදි තීරණ අරන් කියලා මට හිතෙනවා."
"ක්‍රීඩා පනත අවස්ථා රැසකදී සංශෝධනය කළත් තාම බැරි වෙලා තියෙනවා ලංකාවට ගැලපෙන, ඒ වගේම ලංකාවේ තියෙන සංගම් තමන්ගේ මව් සංගම්වල ඇති ව්‍යවස්ථාවට අනුකූල වෙන ආකාරයේ ක්‍රීඩා පනතක් හදා ගන්න. මේක තමයි නිරන්තරයෙන් ඇතිවන ගැටුම.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ක්‍රීඩා සංගම් තහනම් කිරීම නිසා ගම්බදව සිට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ අසරණ වෙනවා.
"අතුරු පාලක මණ්ඩල පත් කිරීම නිසා ක්‍රීඩාවට විශාල හානියක් සිදුවනවා. මොකද ඔවුන් කිසිම දෙයක් වෙනුවෙන් වගකියන්නේ නැහැ. "
"ලංකාවට ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් අත්කර දෙන්න පුළුවන් ක්‍රීඩා කිහිපයක් පමණයි තියෙන්නේ. ඒ ක්‍රීඩා කිහිපය වෙනුවෙන් විශේෂ අවධානය යොමු කරලා ඉතාම පැහැදිලි නියාමනයක් ඇති කරන්න අවශ්‍යයි. "
ක්‍රීඩාව ගැන හොඳ දැනුමක් තියෙන අලුත් ක්‍රීඩා අධ්‍යක්ෂකවරයෙක් පත්වෙලා සිටිනවා. ඔහු හොඳින් මේ තත්ත්වය නියාමනය කළොත් හොඳයි කියන එක මගේ අදහස.
මේ තත්ත්වයන්ට විසඳුම් ඉතා ඉක්මනින් පිලියම් ලබා නොදුන්නොත් රටේ ක්‍රීඩාව බරපතල තත්ත්වයකට පත්වෙනවා." ඔහු පැවසුවේ ය.
'අපිට කොදෙව් මානසිකත්වයෙන් ක්‍රීඩා කරන්න බැහැ'
ක්‍රීඩා සංගම් තහනම් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි බීබීසි සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් සමග ගැටුම් ඇති නොකර කටයුතු කළ යුතු බවය.
" ඔතන තියෙන්නේ අන්ත දෙකක්. එකක් තමයි ක්‍රීඩා පනත. ලංකාවේ ක්‍රීඩා සංගම් සියල්ල ක්‍රීඩා පනතට යටත් වෙනවා. සමහර ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනවල නීති සහ අපේ ක්‍රීඩා පනත අතර ගැටෙන අවස්ථා තියෙනවා. "
"මේ ගැටෙන අවස්ථා හේතුවෙන් තමයි අපිට ඔවැනි තත්ත්වයන් උද්ගත වෙලා තියෙන්නේ.
ඒ නිසා ඉස්සර වෙලාම ක්‍රීඩා පනත සහ ජාත්‍යන්තර සංගම්වල ඇති නීති සහ ව්‍යවස්ථා ගලපා ගැනීමේ කටයුත්තක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සිදුකළ යුතු දෙයක්.
ඉතින් ඔය ගැටලුව විසඳ ගත්තොත් අපට පුළුවන් ඒ ප්‍රශ්නයට විසඳුමක් හොයා ගන්න."
විශේෂයෙන් ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලන පිළිගන්නේ සහ කටයුතු කරන්නේ ඔවුන්ගේ ව්‍යවස්ථාව අනුවයි. ඒ ව්‍යවස්ථාවන් ලිබරල් ව්‍යවස්ථාවන්. නමුත් අපේ පුද්ගල කේන්ද්‍ර කර ගනිමින් වරින් වර එක එක නීති වෙනස් කරනවා. ඒ නිසා තමයි මේ ගැටළු ඇතිවෙන්නේ.
"මේ නිසා ක්‍රීඩා අමාත්‍යාංශය ජාත්‍යන්තර සම්මේලනවල ව්‍යවස්ථාවන් එක්ක ගැටෙන්න නැති වෙන ආකාරයෙන් පනත සංශෝධනය කිරීමට පියවර ගන්න ඕන."
"මොකද අපිට බැහැ ජාත්‍යන්තරයේ නීතිවලට පිටින් කටයුතු කරන්න. එහෙම කලොත් වෙන්නේ රට ඇතුළේ විතරක් අදාළ ක්‍රීඩාව කරල ඉන්න. ජාත්‍යන්තරයට යන්න නම් ඔවුන්ගේ ව්‍යවස්ථාව සමග ගැටුම් අති නොකරගෙන ඉන්න අවශ්‍ය වෙනවා. "
"විශේෂයෙන් අපේ රටේ ක්‍රීඩාව, ක්‍රීඩා පනත සලකන්නේ දේශපාලඥයන් ගේ ඕනෑ එපාකම් අනුව. ඒ ක්‍රීඩාවට සම්බන්ධ දේශපාලන ව්‍යුහයට අනුව තමයි ඒ නිලධාරින් පත්කරන්නේ සහ නිලධාරින් පත්කිරීම වළක්වන්නේ. ඒක ජාත්‍යන්තරය දන්නවා. ඒක නිසා තමයි අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙලා තියන්නේ."
අපිට කොදෙව් මානසිකත්වයෙන් ක්‍රීඩා කරන්න බැහැනේ. අපි ජාතික මට්ටමෙන් ජාත්‍යන්තරයට යන්න ඕන. ජාත්‍යන්තරයට යන්නේ නැතිව ජාතික මට්ටමෙන් සීමා වුනොත් වර්ණ වාදය නිසා කලක් දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර තරග අහිමි වුනා වගේ තත්ත්වයක් තමයි අපිටත් අත්වෙන්නේ."
ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් ඒ ගැන අවදානය යොමු කරන්න ඕනෑ.
අද රටේ ක්‍රීඩා සංගම්වල තනතුරු දරන්නේ දේශපාලඥයින්. රටේ ක්‍රීඩා සංගම්වලට අත්වෙලා තිබෙන තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ නේ."
"මේ සල්ලි තියෙන හැම ක්‍රීඩා සංගමයකම ප්‍රශ්න. සල්ලි නැති සංගම්වලට මේ ප්‍රශ්න නැහැ. සල්ලි තියෙන සංගම්වල කුට්ටි බෙදා ගන්න ගිහින් තමයි මේ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ. දවසින් දවස ක්‍රීඩාව වලපල්ලට යන එකයි වෙන්නේ." විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පැවසුවේ ය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
'වගකියන්න ඕනෑ ක්‍රීඩා සංගම්, රජය නොවෙයි'
පවතින තත්ත්වය සම්බන්ධයෙන් රජයට පමණක් දෝෂාරෝපණය කළ නොහැකි බවත් ඊට ක්‍රීඩා සංගම් වගකිව යුතු බවත් මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ විශ්‍රාමික යුද හමුදාපතිවරයෙකු වන ජෙනරාල් දයා රත්නායක බීබීසි සිංහල සේවයට පැවසුවේය.
" ඉස්සර අපිත් ක්‍රීඩා සංගම්වල ඉන්නකොට මේ වගේ ප්‍රශ්න තිබුණා. මෙතැන දී මම රජයට දෝෂාරෝපණයක් ඉදිරිපත් කරන්නේ නැහැ. මොකද අපේ ක්‍රීඩා සංගම් කෙරෙහි මගේ ලොකු විශ්වාසයක් නැති නිසා."
"වැඩිම හරියක් ක්‍රීඩා සංගම්වල ප්‍රශ්න තිබෙනවා. ඒ අයගේ ඇතුළේ ප්‍රශ්න, ක්‍රියාදාමයේ ප්‍රශ්න, පත්කිරීමේ දී ඇතිවන ප්‍රශ්න තියෙනවා."
"මට කියන්න පුළුවන් මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපතිවරයා හැටියට ඡන්ද එකසිය ගාණක් තියෙනවා ඒ සංගමයට, මට මතක හැටියට. ඇත්තෙන්ම ත්‍රිවිධ හමුදාව, පොලිසියේ හැරුනම අනෙක් ක්‍රීඩා සංගම්වල ක්‍රීඩකයෝ නැහැ. ඒ අය වාර්ෂික තරග පවත්වන්නේ නැහැ. නමුත් සංගම් තියෙනවා. බලධාරීන් විතරයි ඉන්නේ. ඉතින් මේ අයව තමයි ඡන්ද තියද්දි කවුරැ හරි පත්කරවන්නේ. ඉතින් ඒ නිසා හරිම කණගාටුයි. "
"මේවා නියාමනය කරන්න රජය ඉදිරිපත් වුනොත් දේශපාන සම්බන්ධතා කියල ජාත්‍යන්තරයට ගිහිල්ලා පෙත්සම් ගහලා ඒ අයත් අල්ලන් රජයට විරුද්ධව වැඩ කරනවා. මට පේන්නේ මේක නිකම් මාෆියාවක් වගේ කියලා. "
"ඒ නිසා හැම තිස්සෙම අපි රජයට ඇඟිල්ල දිගු කරනවා. ක්‍රීඩා ඇමතිවරුන් ආවම උත්සහ කරනවා අලුත් දෙයක් කරන්න. ඉතින් හරි කණගාටුයි ඒවා කරන්න බැරි වෙනවා."
"ක්‍රීඩා අමාත්‍යාංශයේ වැරදි නැතිවා නෙමෙයි. ඒවායේ සිටින ඇතැම් නිලධාරීන්ට ක්‍රීඩාව ගැන මනා දැනුමක් නැහැ. ක්‍රීඩාව ගැන ඇල්මක් නැහැ. ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉන්න ඕනෑ ක්‍රීඩාව ගැන දැනුමක් තියෙන, ඒ ගැන පැෂන් එකක් තියෙන නිලධාරින්. ඉතින් එහෙම අය ක්‍රීඩා අමාත්‍යංශයේ මම දකින්නේ නැහැ."
"දැන් තරුණ ක්‍රීඩා ඇමති කෙනෙක් ඉන්නවා. ඒ අය වැරදි නියාමනය කරන්න ගියාම ඇතිවන තත්ත්වය වෙනස්."
"ඒ නිසා තමයි අපි වගේ අය ක්‍රීඩා පරිපාලනයෙන් ඉවත් වෙලා ඉන්නේ මේ අවස්ථාවේදී. මට හිතෙන්නේ රජයට පමණක් දෝෂාරෝපණය කරලා හරියන්නේ නැහැ, වැඩි වගකීමක් තියෙන්නේ ක්‍රීඩා සංගම් වලටයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නව ක්‍රීඩා පනතක්
ක්‍රීඩාවේ ආරක්ෂාව මෙන්ම ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සැමවිටම පෙනී සිටින බවත් මෙරට ඇතැම් ක්‍රීඩා සංගම් තහනම් කරනු ලැබුවේ ඔවුන් නියෝජනය කරනු ලබන ජාත්‍යන්තර සම්මේලන විසින් බවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන් බීබීසි සිංහල සේවයට පැවසුවේය.
නව ක්‍රීඩා පනතක් හඳුන්වා දීම සඳහා අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇති බවද ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.
" ශ්‍රී ලංකාවේ පාපන්දු සම්මේලනය තහනම් කරනු ලැබුවේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින්."
"මෙම තහනම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නිලධාරීන් සමග සාකච්ඡා කළා මාර්ගගත ක්‍රමය ඔස්සේ."
"එහිදී පනවා ඇති තහනම ඉවත් කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු කටයුත්තක් ද විභාග වෙමින් තිබෙනවා."
"ඒ වගේම ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට තහනමක් පැනවීම සිදුකළේ ජාත්‍යන්තර රග්බි සම්මේලනය විසින් 2022 වසරේදී."
"සාමාන්‍යයයෙන් අපේ පවතින ක්‍රීඩා නීතිය අනුව ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනයක් විසින් අපේ රටේ ක්‍රීඩා සංගමයකට තහනමක් පැනවුවහොත් එය ක්‍රියාත්මක කිරීමට අප බැඳී සිටිනවා. එය පදනම් කර ගනිමින් එවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි නාමල් රාජපක්ෂ මේ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. "

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"ජාත්‍යන්තර රග්බි සම්මේලනය සහ ආසියානු රග්බි සම්මේලනය මෙරටට පැමිණ ක්‍රීඩා අමාත්‍යවරයාව මුණ ගැසී සාකච්ජා කළා."
"ඒ වගේම රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් ද මෙරට අධිකරණය හමුවේ නඩු කටයුතු විභාග වෙමින් පවතිනවා."
"ශ්‍රී ලංකා කරාටේ සම්මේලනය තහනම් කිරීමට හේතු වුයේ ඔවුන්ගේ ගිණුම් වාර්තා සම්බන්ධයෙන් සිදුකළ විගණන පර්යේෂණයේ දී සොයා ගැනුණු යම් අයථා කටයුතු සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා විසින් කරුණු වාර්තා කිරීමක් කළා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්න කියා."
"ඒ අනුව ජාත්‍යන්තර කරාටේ සම්මේලනය දැනුවත් කිරීමෙන් අනතුරුවයි ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අදාළ තහනම පැනවීමට කටයුතු සිදුකළේ."
"ක්‍රීඩා අමාත්‍යාංශය උත්සහ දරනවා ක්‍රීඩාවේ සුපිරිසන් භාවය සුරැකීම සඳහා අවශ්‍ය උපරිම ක්‍රියා මාර්ග ගන්න."
"ක්‍රීඩා පනත යටතේ ක්‍රීඩා අමාත්‍යවරයාට බලය තිබෙනවා. ඒ යටතේ ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීම සහ එය පිරිසිදුව තබා ගන්න අවශ්‍ය නව නීති හඳුන්වා දීමට පියවර ගනු ලබනවා."
"2022 වසරේ දෙසැම්බර් මාසයේ දී ගැසට් නිවේදනයක් මගින් නව කොන්දේසි කිහිපයක් හඳුන්වා දෙනු ලැබුවා."
"එහිදී සඳහන් කර තිබුණා ඕනෑම ක්‍රීඩා සංගමයක විධායක කමිටුවේ සාමාජිකත්වය දරන්න හැකියාව ඇත්තේ ඕනෑම පුද්ගලයෙකුට වසර 08 ක කාලයක් පමණක් කියලා."
"එහිදී සභාපති, ලේකම් හෝ භාණ්ඩාගාරික තනතුර දරනු ලබන පුද්ගලයින්ට වාර දෙකක් තරග කරන්න පුළුවන්."
"ඒ වගේම ඒ නිලධාරීන්ගේ අවම වයස අවුරුදු 70ක් විය යුතු බවට කොන්දේසි පනවා තිබෙනවා."
"ක්‍රීඩා සංගම්වල නිලධාරින් වසර ගණන් එකදිගට තනතුරේ සිටිනවා. මේ හරහා ඇතිවන මුල්‍ය අක්‍රමිකතා මෙන්ම විවිධ දුෂිත ක්‍රියාවන් මැඩ පැවැත්වීම සහ තරුණ නිලධාරීන්ට ක්‍රීඩාව වෙනුවෙන් යම් මෙහෙවරක් කරන්න ඉඩ ප්‍රස්ථාව ලබාදීමටයි මේ කොන්දේසි පැනවීමට හේතුව වුයේ."
"නමුත් මෙම කොන්දේසි සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබෙනවා."
"මේ ක්‍රීඩා සංගම් ස්වයංක්‍රියව බැඳී සිටිනවා රටේ පවතින ක්‍රීඩා නීතියට යටත් වෙන්න. ඔවුන් ලියාපදිංචිව සිටින්නේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ යි. "
"නමුත් අපේ රටේ ඇති ක්‍රීඩා සංගම් හිතන්නේ ඔවුන් අනුගමනය කරන්න අවශ්‍ය තමන්ගේ ඇති ව්‍යවස්ථාව පමණක්ය කියලා. මෙයයි ගැටලුව. මන්ද ඔවුන් නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව යන නාමය."
"යහපාලනය, මූල්‍ය විනය සහිතව තමන්ගේ ක්‍රීඩා සම්මේලනයේ ඇති ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න ඕනෑම ක්‍රීඩා සංගමයකට අවස්ථාව තිබෙනවා."
"බොහෝ ක්‍රීඩා සංගම්වල නිලධාරින් සියලු වරප්‍රසාද භුක්ති වින්දට ක්‍රීඩකයින්ට හිමිවන්නේ අවම පහසුකම්. මේ හේතුවෙන් ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩකයින් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය සෑම විටම කටයුතු කරන්න වගබලා ගන්නවා."
"ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රීඩා පනත සංශෝධනයට ලක් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. "
ඊට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා. ඊට ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස මමත්, තවත් කිහිප දෙනෙකු ඇතුලත් වනවා. හැකි ඉක්මනින් නව ක්‍රීඩා පනත හඳුන්වා දීමට කටයුතු කිරීමට පියවර ගන්නවා." ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේය.












