ශ්‍රී ලංකා දැල් පන්දු ආ ගමන් මඟ හා හෙට දවස : 'අපේ සමහර ක්‍රීඩිකාවන් මට කිව්වේ, අපිව කවුද මිස් බලන්නේ කියල'

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ආසියානු දැල්පන්දු ශූරතාවය ලැබීමෙන් පසු

ඡායාරූප මූලාශ්‍රය, ThePapare.com

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ආසියානු දැල්පන්දු ශූරතාවය ලැබීමෙන් පසු

"තර්ජිනී මෙවර ක්‍රීඩා කළේ වෙනස්ම විදිහකට. ඇයට වයස 43ක් වුණත් තර්ජිනීව මම මේ ආසියානු කුසලානයේදී දැක්කේ 35 හැවිරිදි ක්‍රීඩිකාවක් විදිහට. ඇයගේ වයස අඩු වෙලා වගේ තමයි මට පෙනුණේ " යනුවෙන් ලොව උසම දැල්පන්දු ක්‍රීඩිකාව වන තර්ජිනී සිවලිංගම් පිළිබඳව ජාතික දැල්පන්දු පුහුණුකාරිය වන හයිසින්ත් විජේසිංහ පැවසුවේ මඳ සිනහවක් මුවෙහි රඳවාගෙනය.

ජාතික දැල්පන්දු පුහුණුකාරිය එසේ ප්‍රකාශ කළේ ආසියානු දැල්පන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ජයග්‍රහණයට පසු ශ්‍රී ලාංකිකයින්ගෙන් ලද පිළිගැනීම පිළිබඳව අප විසින් විමසු අවස්ථාවේදීය.

1921 වර්ෂයේදී දී ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරය මහනුවර දී දැල් පන්දු ක්‍රීඩාව ආරම්භ කරනු ලබයි.

1952 වන විට ශ්‍රී ලංකාව ඉන්දියානු ක්‍රීඩා සමාජ වලට එරෙහිව ක්‍රීඩා කළ අතර 1963 වර්ෂය වන විට දැල්පන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කල කණ්ඩායම් 11න් එකක් වන්නට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවිය.

එම වර්ෂයේදී 9 වැනි ස්ථානය ලබා ගනිමින් ලෝක කුසලාන තරගාවලිය අවසන් කරන්නට ශ්‍රී ලංකාව සමත්විය.

එය ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියක දී දැනට ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කොට ඇති ඉහළම ස්ථානය බවට පත්වේ.

මීට පෙර 5 වරක් ආසියානු කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ඒ අනුව හයවැනි වරට අපරාජිතව ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට හැකිවිය.

1985 වසරේ මැලේසියාවේ පැවැත්වුණු ආසියානු දැල්පන්දු ශූරතාවලියේ දී අනුශූරතාවය දිනාගනිමින් ආසියානු කුසලාන ගමන්මග ආරම්භ කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

1989 වර්ෂයේදී ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වුණු ආසියානු දැල්පන්දු ශූරතාවලියෙන් තම පළමු ආසියාතික කිරුළ ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම එතැන් පටන් ආසියාවේ සෑම කණ්ඩායමටම පාහේ හිසරදයක් විය.

සිව් වසරකට වරක් පැවැත්වෙන ආසියානු දැල්පන්දු ශූරතාවලියේ 1993 වර්ෂයේදී තෙවැනි ස්ථානය ලබා ගන්නා ශ්‍රී ලංකා කණ්ඩායම 1997 සහ 2001 වර්ෂ වලදී පිට පිට දෙවරක් ශූරතාවය ලැබීය . ඒ පිළිවෙලින් සිංගප්පූරුවේදී සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වුණු තරග වලදීය.

2005 වසරේදී ආසියාවේ තෙවැනි ස්ථානයට නැවත ඇඳවැටෙන ශ්‍රී ලංකා කණ්ඩායම 2009 වසරේදී ආසියානු ශූරතාවය ජයගනිමින් නැවතත් දක්ෂතා සටහනේ ඉදිරියට ඒමට සමත් වේ.

පිළිවෙලින් 2012, 2014, 2016 වසර වලදී පැවැත්වුණු ආසියානු දැල්පන්දු ශූරතාවලියෙන් අනුශූරතාවය ලබා ගන්නා ශ්‍රී ලාංකික කණ්ඩායම 2018 සහ 2022 වසර වලදී නැවත ශූරතාවය හිමි කරගන්නට සමත් විය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

කෙසේ වෙතත් 1985 සිට 2022 දක්වා පවත්වා ඇති ආසියානු දැල්පන්දු ශූරතාවලි 12න් අවසන් මහා තරග 20කට ක්‍රීඩා කර; එයින් 6 වතාවක් ශූරතාවය දිනාගෙන ඇතත් ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩාවට නිසි පිළිගැනීමක් රට තුළ ලැබෙනවාද යන්න ගැටලුවකි.

මේ පිලිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ වත්මන් පුහුණුකාරිනිය වන හයිසින්ත් විජේසිංහ පැවසුවේ "අපි ආසියානු ශූරතාවලියට යන්න කලින් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දුන්නා. ප්‍රවාහන ප්‍රශ්න වගේ දේවල් වලින් අපිට ගොඩක් බලපෑම් එල්ල වුනා. ඒත් අපි ආසියානු දැල්පන්දු ශූරතාවලිය ජයගෙන ආවට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්ක අපිට මේ රටේ ජනතාවගෙන් විශාල පිළිගැනීමක් ලැබුනා. දැල් පන්දුවට හරි ආකාරව සැළකුවොත් ක්‍රිකට් ක්‍රීඩාව තරම්ම ලංකාවේ ඉදිරියට එන්න පුළුවන් වෙයි." යනුවෙනි.

තර්ජිනී සිවලිංගම් මෙවර ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලිය අතරතුර

ඡායාරූප මූලාශ්‍රය, Netball Federation of Sri Lanka| Facebook page

ඡායාරූප ශීර්ෂ වැකිය, තර්ජිනී සිවලිංගම් මෙවර ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලිය අතරතුර

ශ්‍රී ලාංකික දැල්පන්දු කණ්ඩායම ගැන කතා කරන ඕනෑම විටෙක මග නොහැරෙන නාමයක් වන තර්ජිනී සිවලිංගම් සහ ඇයගේ ඉදිරි ගමන ගැන අප විමසු විට පුහුණුකාරිනිය කියා සිටියේ "තර්ජිනිගේ උස අපිට ගොඩක් ප්‍රයෝජනවත් වුනා, එවැනි උසක් ඇති ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවේ අඩුයි. අපිට 6'5ක් උසැති තවත් එක් ක්‍රීඩිකාවක් සිටිනවා. අපි හොඳට එම සුසංයෝගය භාවිතා කළා. නමුත් තර්ජිනීගෙන් පසුව අපිට අපේ ක්‍රීඩා විලාශය වෙනස් කරන්න වෙයි. ඒ සඳහා ගොඩක් පුහුණුවීම් කටයුතු කරන්න වෙයි. ඒක ලොකු අභියෝගයක්. නමුත් තර්ජිනී මෙවර ක්‍රීඩා කළ ආකාරයෙන්ම ක්‍රීඩා කළොත් ඇයට අනිවාර්යයෙන්ම අඩුම තවත් වසර 5කට වත් ජාතික සංචිතයට ක්‍රීඩා කරන්න පුළුවන්. ඇගේ කාය ශක්තියට සහ ක්‍රීඩා විලාසය පිළිබඳව මම ඕස්ට්‍රේලියානු පුහුණුකරුවන්ට ස්තූතිවන්ත වෙනවා." යනුවෙනි.

ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් ආසියානු ශූරයින් වූ ක්‍රිකට් කණ්ඩායම සහ දැල් පන්දු කණ්ඩායම පිළිගැනීමට පැමිණීම පිළිබඳව අදහස් දැක්වූ ඇය "අපේ කණ්ඩායමට මෙය විශාල පිළිගැනීමක් වුනා. අපේ සමහර ක්‍රීඩිකාවන් මට කිව්වේ, අපිව කවුද මිස් බලන්නේ කියල. නමුත් සමහර අම්මල අපිට දෑත් මුදුන් කරලා වැන්දා, ශ්‍රී ලංකාවේ දැන් තත්ත්වය එක්ක මෙවැනි ජයග්‍රහණ ගෙන එම ගැන." කියා සිටියේය.

ආසියානු කුසලානය අතැතිව

ඡායාරූප මූලාශ්‍රය, ThePapare.com

ඡායාරූප ශීර්ෂ වැකිය, ආසියානු කුසලානය අතැතිව

2004 වර්ෂයේ පටන් ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමට තම දායකත්වය ලබා දුන් ලොව උසම දැල්පන්දු ක්‍රීඩිකාව වන තර්ජිනී සිවලිංගම් අපත් සමඟ ඇයගේ සතුට බෙදාගත්තේ මෙලෙසිනි.

"මට ඇත්තටම සතුටුයි ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් බැට කන අවස්ථාවකදී මෙවැනි ජයග්‍රහණයක් අපට ලැබීම ගැන, මෙය ඉතා විශේෂයි. මීට පෙර අපි කුසලාන ජයග්‍රහණය කර තිබුණත් මේ වගේ පිළිගැනීමක් හම්බ වෙලාම නැහැ." යනුවෙන් ඇය කියා සිටියාය .

ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩාවේ තර්ජිනිගේ අනාගතය ගැන අප විමසු අවස්ථාවේ ඇය පවසා සිටියේ ඒ පිළිබඳව ඇය තවමත් තීරණය කර නොමැති බවයි.

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ වත්මන් නායිකා ගයන්ජලී අමරවංශ ගෙන් ආසියානු ශූරතාවය ජයග්‍රහණය කිරීම පිළිබඳව බීබීසී සිංහල සේවය විමසු අවස්ථාවේදී ඇය පැවසුවේ කණ්ඩායමක් වශයෙන් යම් යම් බාධක වලට මුහුණ දීමට සිදුවුවත් අවසානයේදී කුසලානය ජයග්‍රහණය කිරීමට හැකිවීම පිළිබඳව තමන් සතුටු වන බවයි.

"ක්‍රීඩා ලෝලී හැම දෙනාටම කියන්න තියෙන්නේ ඔවුන්ගේ සහයෝගය සහ ආශිර්වාදය සෑම ක්‍රීඩිකාවකටම ගොඩක් වැදගත්, ඒ නිසා ඒ ආශිර්වාදය එක්ක අපි එක්ක රැඳෙන්න " ඇය කියා සිටියාය.

වීඩියෝ ශීර්ෂ වැකිය, ආසියානු නෙට්බෝල් ශුරතාවය : ''ඊළඟ සිහිනය ලෝක කුසලානයයි''