ලිංගික හිරිහැර පෙත්සමකින් පසු ශ්‍රේෂ්ඨාධිකරණය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකුට අධ්‍යාපන ආයතනවල තනතුරු තහනම් කරයි

ඡායාරූප මූලාශ්‍රය, Screenshot
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4

ඡායාරූප මූලාශ්‍රය, University of Peradeniya
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය සහ සිසුන් ස්ත්‍රී–පුරුෂ භාවය ඇතුළු ලිංගිකත්වය මත පදනම් වූ හිරිහැර හා ලිංගික හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම විශ්වවිද්‍යාලයට සහ එහි පාලක සභාවට උපදෙස් නිකුත් කරනු ලැබ තිබේ.
ආචාර්ය ඩබ්ලිව්.ඒ.එම්. උදාරි එල්. අබේසිංහ විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මෙම තීන්දුව ලබා දුන්නේ, මැයි 08 වන දා ය.
පෙත්සම්කාරිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍යවරියක සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස ද කටයුතු කරන බව තීන්දුවේ සඳහන් වේ.
ඇය කථිකාචාර්යවරියක ලෙස පරිවාස කාලය තුළ සිටියදී ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇත.
අදාළ වෛද්‍ය පීඨයේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සිදු කරමින් සිටි සමයේදී, පෙත්සම්කාරිය පළමු වගඋත්තරකාරු ලෙස නම් කර ඇති මහාචාර්ය ඩබ්ලිව්.එම්. තිලකරත්නගේ අධීක්ෂණය යටතේ කටයුතු කර තිබිණි.
2017 වසරේ ජූලි මස 01 වන දින සිට 2018 වසරේ අප්‍රේල් මස 30 වන දින දක්වා කාල සීමාව තුළ පෙත්සම්කාරිය ලිංගික හිරිහැර හා මානසික හිරිහැරවලට ලක්වූ බව සඳහන් කරමින්, ඇයගේ මව එම මහාචාර්යවරයාට එරෙහිව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, එම චෝදනා විභාග කිරීම සඳහා 2018 සැප්තැම්බර් 26 දින විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පරීක්ෂණ කමිටුවක් පත් කර ඇත.
එම කමිටුව විසින් වගඋත්තරකාර මහාචාර්යවරයාට එරෙහිව ගොනු වූ චෝදනා විභාග කර ඇති අතර, ඇතැම් චෝදනා සම්බන්ධයෙන් ඔහු වරදකරු වූ බව තීන්දුවේ සඳහන් වේ.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඉන්පසුව, එම කමිටු වාර්තාව විශ්වවිද්‍යාල පාලක කවුන්සිලයට ඉදිරිපත් කර ඇති නමුත් 2020 මැයි 30 දින එම වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට පාලක කවුන්සිලය තීරණය කළ බව නඩු තීන්දුවේ සඳහන් ය.
මෙම තීරණයට එරෙහිව පෙත්සම්කාරිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, පසුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබිණි.
පෙත්සම විභාගයේදී වගඋත්තරකරුවන් මූලික විරෝධතා මතු කරමින්, පෙත්සම්කාරිය මුල් අවස්ථාවේදී ම අධිකරණයට නොපැමිණීම හේතුවෙන් පෙත්සම කාලාවරෝධී බව ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත්, තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ජනක් ද සිල්වා සඳහන් කළේ, එම මූලික විරෝධතාව අධිකරණය පිළිගත යුතු වුව ද, සාධාරණ යැයි සැලකෙන නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලය පවතින බව ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(උ) වගන්තිය අනුව, ඕනෑ ම පුරවැසියෙකුට කැමති රැකියාවක නිරත වීමට මූලික අයිතිය තිබෙන බවත්, ස්ත්‍රී–පුරුෂ භේදයකින් තොරව එම අයිතිය භුක්ති විඳිය හැකි බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේ ය. එම අයිතිය භුක්ති විඳිමේදී ලිංගික හිංසනයන්ට භාජනය නොවී සිටීමට පරිසරයක් තිබිය යුතු බවත් විනිසුරුවරයා පැවසුවේ ය.
ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත උපදෙස් කිහිපයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, පළමු වගඋත්තරකාරු වන මහාචාර්ය ඩබ්ලිව්.එම්. තිලකරත්නට ඕනෑ ම විශ්වවිද්‍යාලයක හෝ වෙනත් අධ්‍යාපන ආයතනයක වැටුප් සහිත හෝ වැටුප් රහිත, නිල හෝ ගෞරවනීය තනතුරක් පිළිගැනීම තහනම් කරන ලෙස අධිකරණය උපදෙස් නිකුත් කර තිබේ.
එමෙන් ම, එවැනි පත්වීමක් ලබාදීමෙන් වැළකී සිටින ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට, සියලු විශ්වවිද්‍යාලට සහ එම විෂය පථයට අයත් අනෙකුත් ආයතන වෙත ද අධිකරණය උපදෙස් දී ඇත.
ඊට අමතරව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය සහ සිසුන් ලිංගිකත්වය මත පදනම් වූ හිරිහැර හා ලිංගික හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමත්, ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමත් සඳහා සුදුසු පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් විශ්වවිද්‍යාල පාලක සභාවට වැඩිදුර උපදෙස් නිකුත් කරනු ලැබී ය.

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK | UDARI ABEYASINGHE
ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් කර ඇති එහි, ඇය මෙසේ සඳහන් කර තිබේ.
"මේ නඩු තීන්දුව තනි පුද්ගලයෙක් සම්බන්ධ නඩුවකට වඩා විශාල යි,"
"මෙම විනිශ්චය සුළුවෙන් හෝ, අපගේ විශ්වවිද්‍යාල තුළ ආරක්ෂිත සහ වඩාත් වගකිවයුතු අවකාශයන් නිර්මාණය කිරීමට දායක වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි."
ඔබට සහයක් අවශ්‍ය ද?
ඔබත් ලිංගික හිංසනයක හෝ ගෘහස්ථ හිංසනයක වින්දිතයෙක් ද? නැතිනම් වෙනත් අයෙකු ලිංගික හිංසනයට හෝ ගෘහස්ථ හිංසනයට ලක් වන බවක් ඔබට නිරීක්ෂණය වී තිබේ ද?
පහත අංක අමතා සහය ලබා ගන්න.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය
1938 - කාන්තා උපකාරක සේවාව
පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය
109 - හදිසි ඇමතුම් අංකය
011-2444444 - දුරකථන අංකය

































