ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා උළෙල:ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් තරුෂි කරුණාරත්න කවුද?

Tharushi Karunarathna

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Athletic

දකුණු කොරියාවේදී පැවැත්වෙන අවුරුදු 20න් පහළ ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 800 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න අද (ජුනි 05) සමත්විය.

ඇය විසින් එම ඉසව්වෙන් රන් පදක්කම හිමිකරගනු ලැබුවේ මිනිත්තු 02.05.63කින් තරගය නිමා කරමිනි.

තරුෂි කරුණාරත්න ඊයේ (ජූනි 04) පැවැති කාන්තා මීටර 400 ඉසව්වෙන් ද රිදී පදක්කම හිමිකර ගැනීමට සමත් විය.

එහිදී ඇය එම පදක්කම හිමිකර ගත්තේ තත්පර 53.70කින් තරගය නිමා කරමින් වේ.

කවුද මේ තරුෂි කරුණාරත්න?

2004 වසරේ නොවැම්බර් මස 28 වෙනිදා කහටගස්දිගිලිය ප්‍රදේශයේ උපත ලැබූ තරුෂි කරුණාරත්න වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයයේ ඉගෙනුම ලබයි.

ඇය මීටර් 400 සහ මීටර් 800 ධාවන ඉසව් සඳහා තරග වැදෙන මලල ක්‍රීඩිකාවකි.

ඇය 2019 වර්ෂයේ දී පැවති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 සහ මිටර් 800 ධාවන ඉසව්වලින් නව තරග වාර්තා තබමින් රන් පදක්කම් හිමිකර ගැනීමට සමත් වී ඇත.

2019 ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ ශූරතාවලියේ මීටර් 800 ඉසව්වේ වාර්තාවට ද ඇය හිමිකම් කියන අතර, එම වසරේ මීටර් 400 සහ මීටර් 800 ඉසව් දෙකෙහිම රන් පදක්කම හිමිකර ගැනීමට සමත් වී තිබේ.

තරුෂි 2019 වසරේ පැවති මධ්‍යම පළාත් තරගාවලියේදී අවුරුදු 16න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ද සම්මාන හිමිකර ගැනීමට සමත්වූ ක්‍රීඩිකාව යි.

විදේශ ඇමතිගෙන් සුබ පැතුම්

මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කම දිනූ තරුෂි කරුණාරත්නට විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි ට්විටර් සටහනක් තබමින් සුබ පැතුම් එක් කර තිබේ.

"දකුණු කොරියාවේ #Yecheon හි පැවැත්වෙන අවුරුදු 20න් පහළ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනාගත් තරුෂි කරුණාරත්නට සුබ පැතුම්. ඔබ අපේ ජාතියට ආඩම්බරයක් ගෙන දුන්නා," යනුවෙන් විදේශ අමාත්‍යවරයා එහි සටහන් කර ඇත.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

දකුණු කොරියාවේ පැවැත්වෙන 20 වන වයස අවුරුදු 20න් පහළ ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ මලිත් යසිරු සමත් විය.

ඔහු එහිදී දැක්වූ දක්ෂතාවය මීටර් 15.82 ක්.

මේ අතර මෙම තරගාවලියේ මීටර් 400 x 4 මිශ්‍ර සහය දිවීමේ තරගයෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

මිනිත්තු 03, තත්ත්පර 25.41 කින් ඔවුන් එම ඉසව්ව අවසන් කිරීමට සමත් විය.

මෙම මිශ්‍ර සහාය දිවීමේ තරගය සඳහා ඕෂධ ආරියවංශ, ජෙයිෂි උත්තරා, හසන්ත දිල්රංග සහ තරුෂි කරුණාරත්න ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලැබීය.

ශ්‍රී ලංකාවට පදක්කම් පහක්

දකුණු කොරියාවේ පැවැත්වෙන 20 වන වයස අවුරුදු 20න් පහළ ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා උළෙලේ දී මේ දක්වා ශ්‍රී ලංකාව පදක්කම් පහක් දිනා ගැනීමට සමත්ව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව එම ශුරතාවලියේ සිව්වෙනි ස්ථානයට පත්ව ඇත.

ශ්‍රී ලංකාව රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් එකක් සහ ලෝකඩ පදක්කම් දෙකක් මේ වන විට දිනා ගැනීමට සමත්ව තිබේ.