පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල:මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම යුපුන් අබේකෝන්ගෙන් ශ්‍රී ලංකාවට

ඡායාරූප මූලාශ්‍රය, https://www.facebook.com/Yupunabeykoon/
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස කිරුළ දරා සිටින කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් පොදු රාජ්‍ය මණ්ඩල මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනියි.
ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 2 ට පැවති අවසන් තරගයේදී යුපුන් අබේකෝන් තත්පර 10.14 කින් තරගය නිමාකරමින් ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත්විය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
එහි රන් පදක්කම තත්පර 10.02 කින් තරගය නිම කළ කෙන්යාවේ ෆර්ඩිනැන්ඩ් ඔමන්යල හිමිකරගත් අතර රිදී පදක්කම දිනාගත්තේ දකුණු අප්‍රිකාවේ අකානි සිම්බයින් විසිනි. ඔහු වාර්තා කළ කාලය තත්පර 10.13කි.
මීට පෙර අගෝස්තු 3 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.40ට ආරම්භ කළ මීටර් 100 ඉසව්වේ තෙවැනි අවසන් පුර්ව වටයේදී ඔහු තත්පර 10.20 කින් තරගය නිමා කළ අතර එහි සිව්වැනි ස්ථානය හිමිකරගනිමින් අවසන් වටයට සුදුසුකම් ලැබුවේය.
පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රිඩා ඉතිහාසයේ මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ අවසන් වටයට සුදුසුකම් ලද පළමුවැනි ආසියාතිකයා බවට පත්ව සිටි යුපුන් මේ වන විට ශ්‍රී ලංකාවට පදක්කම් සටහන ඉහලට ඔසවා තිබීමට ද සමත්ව තිබේ.
මීටර් 100 ඉසව්වේ මුලික වටයේ හයවන තරගයේදී ඔහු පළමුවෙනියා ලෙස තරගය නිමා කළේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ක්‍රීඩකයින් අතරින් හොඳම කාලයක් වාර්තා කරමිනි. එහිදී ඔහු වාර්තා කළ කාලය තත්පර 10.06කි.
අවසන් වරට මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලයීය පදක්කමක් හිමිකර දීමට 1998 වසරේදී සුගත් තිලකරත්න සමත්ව තිබුණු අතර මෙවර යුපුන් පදක්කමක් හිමිකරගැනීම ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයෙක් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී පදක්කමක් වසර 24කට පසුව දිනාදීම විශේෂත්වයකි.
එමෙන්ම වසර 92ක පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ පදක්කමක් හිමිකරගත් සිව්වන ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයා ලෙසත් යුපුන් වාර්තා අතරට එක්වෙයි.
ජයග්‍රහණයෙන් පසු යුපුන් මාධ්‍යට කතාකරයි
මේ ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුපුන් අබේකෝන් පැවසුවේ මේ වසරේ තමන්ගේ එක් ඉලක්කයක් වුයේ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ අවසන් මහා තරගයක් ක්‍රීඩා කිරීම බව වූ නමුත් එම ඉලක්කය පසුකරමින් ලෝකඩ පදක්කමක් දිනාගන්නට හැකිවීම ගැන තමන් බෙහෙවින්ම සතුටු වන බවයි.
"මේ වගේ ජාත්‍යන්තර තරගයකදී ඕනෑම ක්‍රීඩකයෙකුට පීඩනයක් තියනවා. මටත් ඒ පීඩනය තිබ්බා අවසන් පුර්ව තරගයේදී. නමුත් මගේ ඉල්ලක්කය සම්පුර්ණ කරලා තිබ්බ නිසා අවසන් මහා තරගයේදී මට පීඩනයක් තිබ්බේ නෑ. මගෙත් එක්ක හිටපු මාව විශ්වාස කරපු හැමෝටම ස්තූතියි" යනුවෙන් සිය ජයග්‍රහණය ගැන යුපුන් වැඩිදුරටත් පැවසුවේය.
"මම මෙතනට එන්න කරපු දේවල් දන්නේ මමයි මගේ ටීම් එකයි බොහොම සුළු පිරිසක් විතරයි. මේක මම දුවනකම් බලාගෙන හිටපු හැමෝටමයි ලංකාවටයි පොඩි තෑග්ගක් " ජයග්‍රහණයෙන් පසු ක්‍රීඩාංගණයේ සිටිමින් මහත් උද්දාමයෙන් පැවසුවේය.
යුපුන් තමන් ජයග්‍රහණය කරා පැමිණි ගමන ගැනද මෙලෙස සිහිපත් කළේය. "මේක ඉබේ ලැබුණ පදක්කමක් නෙමෙයි ගොඩක් මහන්සි වෙලා ගත්තේ. තප්පර 10ට අඩුවෙන් දුවන්න අවුරුදු 3ක් සැලසුම් කළා. මම මගේ ජීවිතේ ඉලක්කයට ගිහිල්ලා ඉවරයි. මේ මට ලැබෙන්නේ බෝනස්. මම කියපු දේවල් ඇත්ත කියලා ඔප්පු කරලා ඉවරයි""මම ක්‍රීඩා ඇමතිතුමා එක්ක සාකච්ඡාවක් ඉල්ලලා තියනවා. මම හිතනවා සාකච්ඡාව ලැබෙයි කියලා. ඒකෙන් පස්සේ හිතනවා ක්‍රීඩාවෙන් මොකද කරන්නේ කියලා වගේම මීට පස්සේ පරම්පරාව ක්‍රීඩාව මෙහෙය වන හැටි ගැන කතා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා" යුපුන් සිය අනාගත බලාපොරොත්තු එලෙස පැහැදිලි කළේය.
ජැමෙයිකාව ඇතුළු කොදෙව් දූපත් ක්‍රීඩකයින් මීටර් 100 ඉසව්වේදී සිය ආධිපත්‍ය ඉතිහාසය පුරාවටම පතුරුවා තිබෙන නමුත් යුපුන් මෙවර මෙම තරගාවලියට එක්වුයේ සූරිච්හිදී පැවති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 ඉසව්වේදී තප්පර 9.96ක කාලයක් වාර්තා කරමින් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 23වන ස්ථානයේ පසුවෙමිනි. ඔහු දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙසද කිරුළ දරා සිටියි.
මේ අතර මෙවර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළේ පළමු පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙන්නට බර ඉසිලීමේ ක්‍රීඩා ඩිලංක ඉසුරු කුමාරට හැකි විය. ඒ කිලෝ ග්‍රෑම් 55 බර පංතියේ බර ඉසිලීමේ තරග ඉසව්වේදී ලෝකඩ පදක්කම දිනා ගනිමිනි.
ඔහු මෙම පදක්කම දිනාගත්තේ ක්ලීන් ඇන්ඩ් ජර්ක් සහ ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 225ක බරක් ඔසවමිනි.
මේ අතර අද (අගෝස්තු 4) උදෑසන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ පැරා මලල ක්‍රීඩක පාලිත බණ්ඩාරද රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය. ඒ පැරා මලල ක්‍රීඩා F42-44/61-64 කාණ්ඩයේ කව පෙත්ත විසි කිරීමේ ඉසව්වට සහභාගී වෙමිනි. එහිදී පාලිත මීටර් 44.20ක දක්ෂතාවක් දක්වමින් රිදී පදක්කම දිනාගත්තේය.
එම දස්කම පාලිතගේ ක්‍රීඩා දිවියේ වාර්තා කළ හොඳම දක්ෂතාව ලෙස සටහන් වූ අතර පොදුරාජ්‍ය මණ්ඩලීය පැරා පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ද ඔහු ඉතිහාසගත විය.
පාලිතගේ පදක්කමත් සමඟ මෙවර පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව දිනු පදක්කම් සංඛ්‍යාව 3 දක්වා ඉහල ගියේ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් ලෙසයි.
මේ අනුව ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 24වන ස්ථානයේ පසු වෙයි.
පදක්කම් සටහනේ අංක එක ඔස්ට්‍රේලියාවටද දෙවන ස්ථානය එංගලන්තයට සහ තුන්වන ස්ථානය කැනඩාවට හිමි වී තිබේ.
මේ අතර පොදු රාජ්‍ය මණ්ඩල රන් පදක්කම් ලාභියෙකු වන චින්තන ගීතාල් විදානගේ කිලෝ ග්‍රෑම් 81 බර පංතියෙන් බර ඉසිලීමේ ඉසව්වකට එක් වූ අතර ඔහුට එහිදී හිමි වුනේ නවවන ස්ථානයයි.
එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩල රිදී පදක්කම් ලාභියෙකු වන ඉන්දික දිසානායකද කිලෝ ග්‍රෑම් 73 බර පංතියෙන් බර ඉසිලීමේ ඉසව්වකට එක් වූ අතර ඔහු තරගය අවසන් කිරීමට අසමත් විය.
අවසන් වරට පැවති පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් දිනාගත් බොක්සිං ක්‍රීඩක ඉෂාන් බණ්ඩාර කිලෝ ග්‍රෑම් 51 ෆ්ලයි බර පංතියේ අර්ධ අවසන් පුර්ව තරගයේදී එංගලන්ත ක්‍රීඩකයෙකු හමුවේ තරග වට 5-0ක් ලෙස පරාජය විය.
කිලෝ ග්‍රෑම් 57 ෆ්ලයි බර පංතියේ අර්ධ අවසන් පුර්ව වටයේ තරගයට එක් වූ ජීවන්ත නිස්සංක එහිදී තරග වට 5-0ක් ලෙස ගයනා ක්‍රීඩකයෙකු හමුවේ පරාජය වුනේ තවත් ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුවක් බොඳ කරමිනි.
මීට අමතරව මීටර් 800 ඉසව්ව නියෝජනය කරමින් ගයන්තිකා අබේරත්න මුලික වටයේ තරගයකට පෙරේදා සහභාගී වූ අතර එහිදී ඇය එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත් විය.
එහි මූලික වටයේ දෙවැනි තරගය සඳහා සහභාගී වූ ගයන්තිකා එම තරගය මිනිත්තු 2:01.20ක කාලයකින් පස්වැන්නා ලෙස නිමා කල අතර එම කාලය නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සටහන් විය. මෙයට පෙර ඇය විසින්ම මිනිත්තු 2:01.44ක කාලයකින් තරගය අවසන් කරමින් පිහිටුවා තිබූ ශ්‍රී ලංකාව වාර්තාව ඇය විසින් එහිදී බිඳ දැමුවාය.කෙසේවෙතත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඇයගේ මේ දක්ෂතාව ප්‍රමාණවත් නොවීය.
මේ අතර පිරිමි මීටර් 400 මූලික වටයේ තරග සදහා කාලිංග කුමාරගේ ඊයේ සහභාගී විය.
එහිදී තත්පර 46.53ක කාලයක් වාර්තා කරමින් ඔහු ඉසව්ව අවසන් කළේ සිව්වැන්නා ලෙසයි. කාලිංග වාර්තා කළ කාලය අවසන් පුර්ව වටයට පිවිසීම සඳහා ප්‍රමාණවත් වීම නිසා කාලිංග සහභාගී වන පිරිමි මීටර් 400 අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් සෙනසුරාදා (අගෝස්තු 06) අලුයම 1.30ට අරම්භවීමට නියමිතය.
මේ අතර අද ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් කාර්යබහුල දවසකි. ඒ ක්‍රිකට්, බැඩ්මින්ටන්, ජිම්නාස්ටික්, බීච් වොලිබෝල්, ස්කොෂ්, බොක්සිං, කිමිදුම් හා පිරිමි කවපෙත්ත විසිකිරීමේ තරග පැවැත්වෙන බැවිනි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පසුගිය දා ආරම්භ වුනේ පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා ඉතිහාසයේ 22වෙනි තරගාවලියේ ආරම්භය සටහන් කරමිනි.
බ්‍රිතාන්‍ය යටත් විජිත ලෙස පැවති රටවල් එක්වන මේ තරගාවලියට මේවර රටවල් 74කින් ක්‍රීඩක ක්‍රීඩකයෝ 5054 ක් එක්‌වී සිටින අතර ඔවුන් පදක්කම් 280ක් සඳහා තරග වදිනු ඇත.
ක්‍රීඩා 20කට ඉසව් 280 ක් නියෝජනය කරමින් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග බිමට පිවිසී ඇති අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 110 ක් තරගාවලියට එක්වෙති. ඊට අමතරව නිලධාරීන් 52දෙදෙනෙක්ද ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මෙවර තරගාවලියට එක්වී සිටිති.










