ලුයිස් රූබියාලෙස්: තොල් මත හාදු තබා වැඩ තහනමට ලක් වූ ස්පාඤ්ඤ පාපන්දු සම්මේලන ප්‍රධානියා කවුද?
- Author, එම්ලින් බෙග්ලි
- Role, බීබීසී ක්‍රීඩා
ජෙනී එර්මොසෝ සිප ගැනීමේ සිදුවීම ත් සමග ලුයිස් රූබියාලෙස් ලොව පුරා පුවත් මවන චරිතයක් බවට පත්ව තිබේ. එසේ නම්, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් වැඩ තහනමට ලක් කරන ලද ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ (RFEF) සභාපතිවරයා කවු ද?
වරක් ස්කොට්ලන්තයේ ඉහළ පෙළේ පාපන්දු සමාජයක් වෙනුවෙන් තරග තුනකට සහභාගී වූ 46 හැවිරිදි ඔහු වෙත ඉල්ලා අස්වන්නැ යි දැඩි පීඩනයක් එල්ලවූයේ, කාන්තා ලෝක කුසලානයේ දී ස්පාඤ්ඤය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඇති වූ සිප ගැනීමේ සිදුවීමකින් පසුව ය.
එම සිපගැනීම සඳහා ඇය අනුමැතිය ලබා නොදුන් බව එර්මොසෝ තහවුරු කළ අතර, ඔහු ඉවත්කරන තුරු ලෝක කුසලාන ජයග්‍රාහී සංචිතයේ සියලු ම ක්‍රීඩිකාවෝ නැවත ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළෝ ය. එමෙන් ම, කණ්ඩායමේ කළමනාකරු හොර්හේ විල්ඩා හැර සියලු ම පුහුණුකරුවෝ ද ඉවත් වීමට තීරණය කළහ.
සිකුරාදා සිදු කළ ප්‍රකාශයක් හරහා රූබියාලෙස් ඉල්ලා අස්වීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීමෙන් පසු (මෙම කතාවට එතරම් සුබවාදී ප්‍රතිචාර හිමි නොවීය), ස්පාඤ්ඤ රජය ඔහු ඉවත් කිරීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ඇරඹී ය.
තව ද, අගෝස්තු 26 දා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ඔහුට මූලික වශයෙන් දින 90ක කාලයක් සඳහා පාපන්දු හා සබැඳි ඕනෑ ම ආකාරයේ ක්‍රියාකාරකමක නියැළීම අත්හිටුවීය.
නමුත් රූබියාලෙස් යනු කවුරුන් ද?
රූබියාලෙස් නම් ක්‍රීඩකයා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
1977 වසරේදී කැනරි දූපත්වල උපත ලබා ස්පාඤ්ඤ මහා භූමියේ හැදී වැඩුණු ලැබූ රූබියාලෙස්, ඩිෆෙන්ඩර් ක්‍රීඩකයෙකු ලෙස ඔහුගේ ක්‍රීඩා දිවියේ ලැබුවේ මධ්‍යස්ථ සාර්ථකත්වයකි.
ඔහු 2004-05 සහ 2007-08 අතර ලෙවන්තේ පාපන්දු සමාජය ප්‍රවර්ධනය කිරීමට සහ ඔවුන් වෙනුවෙන් ලා ලීගා තරග 53ක් ක්‍රීඩා කිරීමට පෙර මයෝකා බී, යෙයිඩා සහ හෙරෙස් යන පාපන්දු සමාජවල ස්පාඤ්ඤයේ පහළ පෙළ පාපන්දු තරගාවලි සඳහා ක්‍රීඩා කළේ ය.
වැටුප් නොගෙවීම නිසා ලෙවන්තේ පාපන්දු සමාජයේ ක්‍රීඩකයන් දියත් කළ වර්ජනයකට ද ඔහු නායකත්වය සැපයීය.
රූබියාලෙස් පසුව ස්කොට්ලන්ත පාපන්දු සමාජයක් වන හැමිල්ටන් ඇකඩමිකල් (Hamilton Academical) හා සම්බන්ධ වීමට පෙර ස්පාඤ්ඤ පාපන්දු ශ්‍රේණිගතකිරීම්වල දෙවන ස්ථරයේ සිටින අලිකන්තේ (Alicante) වෙනුවෙන් වාරයක් ක්‍රීඩා කළේ ය.
එවකට 32 හැවිරිදි වියේ පසු වූ ෆුල්-බැක් ක්‍රීඩකයෙකු වූ ඔහු 2009 අගෝස්තු මාසයේදී ඇක්සීස් (Accies) සඳහා ස්කොට්ලන්ත ප්‍රිමියර් ලීග් තරග තුනක් සහ ලීග් කුසලාන තරගයක් ක්‍රීඩා කළ අතර ඒ සියල්ල පරාජයෙන් කෙලවර විය. එමෙන් ම, ගිවිසුම්ගතව සති දෙකක් වැනි කලකදී ඔහු ක්‍රීඩා සමාජය ද හැර ගියේ ය. එවකට බීබීසී පුවත් සේවය වාර්තා කර තිබුණේ ඔහු පවුල සම්බන්ධ කාරණා හේතුවෙන් ක්‍රීඩා සමාජය හැරගිය බවට වුව ද, සත්‍ය වශයෙන් ම ඔහු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේ ය.
රේන්ජර්ස් ක්‍රීඩා සමාජය හමුවේ ගෝල 4-1ක් ලෙස පරාජය වීමත් සමගින් ඔහුගේ ක්‍රීඩා දිවිය අවසන් විය. ඒ, තරගයේ අවසන් මිනිත්තු තුනේ දී පිටිය කෙලවර සිට මාර්ක් මැක්ලොක්ලින් හිසෙන් එල්ල කළ පහරකින් ගෝලයක් ලබා ගැනීමට රූබියාලෙස් ඉඩ සලසා දෙනු ලැබීමෙනි.
"කළමනාකරු බිලී රීඩ් ඇහුවා, 'ඔබට ඉවත්වෙන්න අවශ්‍ය ඇයි?' කියලා," රූබියාලෙස් 2018 වසරේ දී ඩේලි මේල් වෙත පැවසීය.
"එයාලා හිතුවේ මම මගේ කොන්ත්‍රාත්තුව අනුව ගෙවන්න කියලා එයාලට කියාවි කියල. ඒත් මම කිව්වේ මම ක්‍රීඩා කරපුවට ගෙවන්න, ඊට වඩා මුකුත් එපා කියලා. එයාල පුදුම වුණා. එයාල මට කිව්වා ක්‍රීඩකයින්ගේ දක්ෂතා හඳුනාගන්නා අයෙක් විධියට හරි පුහුණු කාර්ය මණ්ඩලයේ හරි ඉන්න කියලා. ඒක ඇත්තට ම සුන්දර ක්‍රීඩා සමාජයක්."
"ශාරීරිකව මම හොඳ තත්ත්වයකින් හිටියේ, ඒත් මම ඉවත් වුණේ ස්පාඤ්ඤයේ ගොඩක් පාපන්දු ක්‍රීඩකයින් මම මුහුණ දුන්න වගේ තත්ත්වයකට [ලෙවන්තේ සහ අලිකන්තේහි සිදුවුණාක් මෙන්] මුහුණ දෙමින් ඉන්න නිසා. ඒ කියන්නේ, ක්‍රීඩා සමාජ ආර්ථික දුෂ්කරතාවලට මැදි වෙලා, ක්‍රීඩකයින්ට වැටුප් ගෙවා ගන්න බැරිවෙලා හිටියේ.
"ගත වෙන හැම දවසක ම වගේ මට ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක් කතා කරනවා. වියරෙඅල් පාපන්දු සමාජයේ ගෝල රකින්නා විධියට ක්‍රීඩා කරපු හැවී ඔලීවා මට කිව්වේ: 'ලුවිස් ඔයා ඇවිත් අපේ නායකයා වෙන්න ඕනේ, අපිට ඔයාව ඕනේ,' කියලා."
රූබියාලෙස් නම් වෘත්තීය සමිති නායකයා
විශ්‍රාම ගැනීමෙන් පසු නීති උපාධියක් ලබා ගන්නා රූබියාලෙස්, 2010 මාර්තු මාසයේ දී ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩකයින්ගේ සංගමයේ (AFE) සභාපති බවට පත් විය.
ඔහු එහි ගතකළ කාලය සාපේක්ෂව මතභේදවලින් තොර විය.
කෙසේ වෙතත්, රූබියාලෙස්ගේ පාලන සමයේදී ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩකයින්ගේ සංගමයේ අලෙවිකරණ සහ වාණිජ අධ්යක්ෂවරියක ලෙස කටයුතු කළ ටමාරා රාමෝස් මෑතකදී ඇය ඉන් ඉවත් වූ බව ත්, අවස්ථා කිහිපයකදී අවමානයට භාජනය වීම හේතුවෙන් රූබියාලෙස්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව ත් ය.
RFEF, රාමෝස් "වර්තමාන මාධ්‍ය පවතින වාතාවරණයෙන් ප්‍රයෝජන ගන්නා" බවට චෝදනා කරමින් විවේචනාත්මක ප්‍රකාශයක් නිකුත් කළේ ය.
රූබියාලෙස් 2017 නොවැම්බර් මාසයේ දී, ඔහු වසර හයක් තිස්සේ අධ්යක්ෂ මණ්ඩලයේ කටයුතු කළ පාපන්දු සම්මේලනයේ ඉහළ ම තනතුරට යාමට තීරණය කරන තෙක් ක්‍රීඩකයන්ගේ වෘත්තීය සමිති තුළ ඔහුගේ වගකීම් ඉටු කළේ ය.
රූබියාලෙස් නම් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලන ප්‍රධානියා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2018 වසරේ මැයි මාසයේ දී සම්මේලනයේ ප්‍රධානී තනතුරට පත් වුණු ඔහු ඉන් සති කිහිපයකට පසු ලොව පුරා පුවත් මවන චරිතයක් බවට පත්විය.
රූබියාලෙස් විසින් ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමේ කළමනාකරු වූ ජූලන් ලොපටේගී ඔවුන්ගේ 2018 පිරිමි ලෝක කුසලාන ආරම්භක තරගයට දින දෙකකට පෙර තනතුරෙන් ඉවත් කළේ ය. ඒ, ඔහු තරගාවලියෙන් පසු රියල් මැඩ්රිඩ්හි කළමනාකරු ලෙස වැඩ භාර ගැනීමට එකඟ වී ඇති බව දැන ගැනීමෙන් පසු ය.
"මම මොනවා කළත් විවේචන එල්ල වෙනවා කියලා මම දන්නවා," ඔහු එවකට පැවසීය.
"මේ තීරණය, කාලයත් එක්ක අපිව ශක්තිමත් කරාවි කියලා මට විශ්වාසයි. මම ජූලන්ව ගොඩක් අගය කරනවා. මම ඔහුට ගොඩක් ගෞරව කරනවා. ඔහු ප්රමුඛ පෙළේ පුහුණුකරුවෙක් බව පෙනෙද්දී මෙහෙම තීරණයක් ගන්න එක හරි ම අමාරු වැඩක්."
ෆර්නැන්ඩෝ හියෙරෝගේ භාරකරත්වයත් සමග, ස්පාඤ්ඤය අවසන් 16 දෙනාගේ වටයේ දී සත්කාරක රුසියාව හමුවේ පරාජයට පත්විය.
එම අවස්ථාවේ දී එය දේශපාලනික බලය ක්‍රියාත්මක කිරීමක් ලෙස සලකනු ලැබීය. මන්ද, අභිනවයෙන් පත් වූ රූබියාලෙස්, ඔවුන්ගේ ජයග්‍රහණ බහුතරයකට උරුමකම් කියූ පාපන්දු සමාජය ද ඇතුළු කිසිවෙකුගේ අතපෙවීමකින් තොරව සම්මේලනය කටයුතු කරනබව පෙන්වීමට ඔහු ලද මුල් අවස්ථාව ම ප්‍රයෝජනයට ගැනීම නිසා ය.
රූබියාලෙස් තව ත් බල අරගලයකදී ලා ලීගාහි ප්‍රධානියා වන හැවියර් තෙබස් සමග අවස්ථා කිහිපයකදී ම ගැටී ඇත.
2018 අගෝස්තු මාසයේ දී, ලා ලීගා විසින් ස්පාඤ්ඤයේ ශ්‍රේණිගතකිරීම්වල ඉහළින් සිටින ක්‍රීඩා සමාජවල සහභාගීත්වයෙන් යුතු තරගාවලියක් අමෙරිකා එක්සත් ජනපදයේ පවත්වන බවට නිවේදනය කළේ ය. පසුව තීරණය කළේ, 15 වසරක හවුල්කාරිත්වයේ කොටසක් ලෙස මයෑමිහිදී ජිරෝනා සහ බාර්සිලෝනා අතර එය පවත් වන බව ය.
නමුත්, මෙම ගනුදෙනුව ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ අවසරයකින් තොරව සිදුකර ඇති බව ත් පැවසූ රූබියාලෙස් එයට අවසර දීම ප්‍රතික්ෂේප කළේ ය. ඒ අනුව, බාර්සිලෝනා සමාජය එහි සැලසුම් කටුගා දැමීය.
වසරකට පසුව මයෑමිහි දී වියරෙඅල් සහ මැඩ්රිඩ් අතර තරගයක් පැවැත්වීමට දැරූ උත්සහයක් අධිකරණය දක්වා දිවූ අතර එහිදී ලා ලීගා පරාජයට පත් විය.
රියල් මැඩ්රිඩ් පාපන්දු සමාජයේ කනිෂ්ඨ විනීසියස්ට අවස්ථා කිහිපයක දී සිදුවුණු වර්ගවාදී අපයෝජන හේතුවෙන් මෙම වසර මුලදී ඔවුහු තවත් ගැටුමකට මැදි වූහ.
තෙබස් බ්‍රසීල ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයාට [කනිෂ්ඨ විනීසියස්ට] සමාජ මාධ්‍ය පණිවිඩයක් තබමින් මෙසේ පැවසීය: "ඔබ ලා ලීගා විවේචනය කිරීමට සහ අපහාස කිරීමට පෙර, ඔබ නිසි ලෙස දැනුවත් වෙන්න ඕනේ. ස්පාඤ්ඤයවත් ලා ලීගාවත් වර්ගවාදී නැහැ. එහෙම කියන එක හරි ම අසාධාරණයි."
නමුත් රූබියාලෙස් ඔහුගේ බ්‍රසීල සගයා වන එඩ්නල්ඩෝ රොඩ්රිගස් හට පැවසුවේ, "ලා ලීගාහි සභාපතිවරයාගේ වගකීම් විරහිත හැසිරීම නොසලකා හරින ලෙස" ය.
"අපට අධ්‍යාපනයේ, ජාතිවාදයේ බරපතළ චර්යාත්මක ගැටලුවක් තියෙනවා"යි පැවසූ ඔහු, එයට "සම්මේලනය වෙතින් ස්ථිර ප්‍රතිචාරයක් අවශ්‍ය වන නමුත් ඔවුන් එය ක්‍රියාත්මක කිරීමට අපට ඉඩ දිය යුතු අතර මෙතෙක් එය එසේ වී නැත," යනුවෙන් ද පැවසීය.
2019 පෙබරවාරි මාසයේ දී රූබියාලෙස් යුරෝපීය පාපන්දු සංගම් සංගමයේ (Uefa) විධායක කමිටුවට සම්බන්ධ වූ අතර මැයි මාසයේ දී එහි උපසභාපතිවරයා බවට පත්විය.
2021 වසරේ දී, ගෘහ නිර්මාණ ශිල්පී යස්මිනා ඊඩ්-මැක්ෂේ විසින්, පහර දීම සහ වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පවරන ලද නඩුවකින් ඔහු නිදොස්කොට නිදහස් කෙරිණි.
පසුගිය වසරේ, රූබියාලෙස් "මාව අපකීර්තියට පත් කිරීමේ ව්‍යාපාරයක්" ක්‍රියාත්මක බව පවසන අතර, එම "මාෆියාවට" දොස් පවරමින්, "දවසක ඒ අය මගේ කාර් එකේ ඩිකියට කොකේන් මල්ලක් නොදා ඉඳීවි කියලා මට සහතික වෙන්න බැහැ,"යි ද පැවසීය.
එම ප්‍රකාශය සිදුවූයේ සෞදි අරාබියේදී ස්පාඤ්ඤ සුපර් කුසලානය පැවැත්වීම සම්බන්ධ ගනුදෙනුවක දී, එවකට බාර්සිලෝනා ඩිෆෙන්ඩර් ක්‍රීඩක ජෙරාඩ් පිකේගේ සමාගම සමග රූබියාලෙස් සහ අනෙකුත් නිලධාරීන්ට ලැදියාවන් අතැර ඝට්ටනයක් ඇති බවට චෝදනා කරමින් හැකර්වරුන් ඔවුන්ගේ අනවසරයෙන් ලබා ගන්නා ලද හඬ පට නිකුත් කිරීමෙන් පසුව ය. මෙය රූබියාලෙස් ප්‍රතික්ෂේප කරයි.
සෞදි අරාබියේදී තරග පැවැත්වීම පිළිබඳ මානව හිමිකම් මතභේදයන් ගැන රූබියාලෙස් මෙසේ පැවසීය: "අපි මෙහි සදාචාරාත්මක මට්ටමින් බොහෝ දේ කරමින් ඉන්නේ, පාපන්දු ක්‍රීඩාවේ දී කාන්තාවන්ට උදව් කරමින්.
"අනෙක් ප්‍රශ්න පාපන්දුවලින් පිටත තියෙන දේශපාලනික ප්‍රශ්න. සමහර විවේචකයන් ඇත්තට ම මෙහේ සිද්ධ වෙන්නේ මොනවා ද කියලා නොදැන, ගෙදරට වෙලා වාඩි වෙලා ඉන්න ගමන් කතා හදනවා. එක රැයකින් සමාජයක් වෙනස් වේවි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. නමුත් ගැහැණු උදවියට සෞදි අරාබියේදී පාපන්දු ක්‍රීඩා කරන්න පුළුවන්. ඒ, ස්පාඤ්ඤ සම්මේලනයට ස්තූතිවන්ත වෙන්න."
රූබියාලෙස් සහ ස්පාඤ්ඤයේ කාන්තා කණ්ඩායම
නමුත් 2022 සැප්තැම්බර් මාසයේ දී ඔහු සහාය දුන්නේ පුහුණුකරු විල්ඩාට මිස, කිසි දා අවසන් නොවූ විශාල ගැටුමකට මැදි වී සිටි ක්‍රීඩිකාවන්ට නොවේ.
ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඔවුන්ගේ "මානසික තත්ත්වය" සහ "සෞඛ්‍ය තත්ත්වය" පිළිබඳ "බරපතල" කාරණාවන් ගැන අවධානයක් යොමු නොකරන්නේ නම්, විල්ඩා වෙනුවෙන් ක්‍රීඩා නොකරන බව පවසමින් ඊමේල් පණිවිඩ යොමුකළ බවට RFEF ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ය.
නමුත් ක්‍රීඩිකාවෝ ඔහු ඉවත් කරන ලෙස ඉල්ලීම් කළ බව ප්‍රතික්ෂේප කළහ. එසේ වුව ද රූබියාලෙස් පුහුණුකරුගේ පැත්තේ සිටගත් අතර එම ක්‍රීඩිකාවන් 15දෙනාගෙන් ලෝක කුසලාන සංචිතයේ සිටියේ තිදෙනෙකු පමණි.
මෙම ගිම්හානයේ දී ස්වීඩනයට එරෙහිව ස්පාඤ්ඤය ලබාගත් අවසන් පූර්ව ජයග්රහණයෙන් පසු විල්ඩා මෙසේ පැවසීය: "ලුයිස් රූබියාලෙස් සහ සම්මේලනයේ සිටින සියලුදෙනා ලබා දෙන සහයෝගය ගොඩක් වටිනවා වගේ ම ඒ සහාය හැමවිට ම මා සමග පවතීවි."
රූබියාලෙස් සිකුරාදා (අගෝ 25) මෙසේ පැවසුවේ ය: "හොර්හේ විල්ඩා, ඔවුන් දැන් මට කරන දේ ම ඔබට ත් කරන්න ඔවුන්ට අවශ්‍ය වුණා. අපි ගොඩක් අපහසු කාල පහු කළා. ඒත් අපි එකට හිටියා."
විල්ඩා ක්‍රීඩක කැරැල්ලකින් දිවි ගලවාගෙන මෙම ගිම්හානයේදී ඔවුන් ලෝක කුසලාන කීර්තියට ගෙනගිය නමුත්, රූබියාලෙස්ගේ කාලය සීමිතයැ යි පෙනෙයි. මන්ද ඔහු බලයේ සිටින තුරු ඔවුන් ස්පාඤ්ඤයට ක්‍රීඩා නොකරන බව ක්‍රීඩකයින් 81 දෙනෙකු පවසයි.
දැන් විල්ඩා පවා සෙනසුරාදා (අගෝ 26) සිදු කළ විවේචනාත්මක ප්‍රකාශයක් මඟින් රූබියාලෙස්ගේ හැසිරීම "නුසුදුසු සහ පිළිගත නොහැකි" ලෙස හඳුන්වමින් ඔහු පිළිබඳව වෙනත් ස්ථාවරයක් ගෙන ඇති බව පෙනී යයි.












