ප්‍රංශයේ බුර්කිනි තහනම ග්රෙනොබෙල් හී නෛතික අභියෝගය පරාජය වීමෙන් තහවුරු වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Citizen Alliance of Grenoble
ප්‍රංශයේ ඉහළම පරිපාලන අධිකරණය විසින් ග්රෙනොබෙල් නගරයේ අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින් ප්‍රසිද්ධ පිහිනුම් තටාකවල "බුර්කිනි" පිහිනුම් ඇඳුම් ඇඳීමේ තහනම අනුමත කර ඇත.
පසුගිය මාසයේදී ග්රෙනොබෙල් නගරය බුර්කිනි ඇතුළු සියලුම පිහිනුම් ඇඳුම් සඳහා අවසර ලබා දී රජය සමඟ නීතිමය ගැටුමක් ආරම්භ කළේය.
වැඩි වශයෙන් මුස්ලිම් කාන්තාවන් බුර්කිනි අඳින්නේ තම විනීතභාවය රැකගනිමින් ඔවුන්ගේ ආගමේ ඉගැන්වීම් වලට ගරු කිරීමේ පියවරක් ලෙස ය.
නමුත් උසාවිය පැවසුවේ "ආගමික ඉල්ලීම් තෘප්තිමත් කිරීම සඳහා තෝරාගත් ව්‍යතිරේක ඇතුලත් කර නීතිය වෙනස් කිරීම්" වලට ඉඩ දිය නොහැකි බවයි.
ග්රෙනොබෙල් හි ප්‍රාදේශීය අධිකරණයක් රාජ්‍ය සේවාවන්හි මධ්‍යස්ථභාවය පිළිබඳ මූලධර්මය බරපතල ලෙස හෑල්ලූවට ලක් කරමින් බුර්කිනි තහනම අත්හිටුවන ලදී. අවසානයේ එම තීරණය පරිපාලන යුක්තිය සඳහා වූ ශ්‍රේෂ්ඨාධිකරණය වන රාජ්‍ය කවුන්සිලය දක්වා ගියේය.
එම ප්‍රතිපත්තිය ගැන අදහස් දැක්වූ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙරල්ඩ් ඩර්මනින් හැඳින්වූයේ එය ප්‍රංශයේ ලෞකික සාරධර්මවලට පටහැනි "පිළිගත නොහැකි ප්‍රකෝප කිරීමක්" ලෙස ය.
ප්‍රංශයේ පිහිනුම් ඇඳුම් පිළිබඳව දැඩි නීති පවතින අතර පොදු ස්ථානවල ආගමික ප්‍රකාශන සිදු කිරීම මතභේදාත්මක ගැටළුවකි.
රජයේ පිහිනුම් තටාකවල බුර්කිනි තහනම් කිරීමට සනීපාරක්ෂාව පිළිබඳ හේතූන් ද අදාල වේ. සාමාන්‍යයෙන් පිරිමින් ඇඟට තද පිහිනුම් ට්‍රන්ක් එකක් ඇඳිය යුතු නමුත් එය කනපිට හරවමින් පිහිනුම් දිගු කලිසම් වලට අවසර දෙන්නට ග්‍රෙනොබල් අසාර්ථක උත්සාහයක් දැරීය.

බුර්කින් යනු කුමක්ද?
- බුර්කිනි යනු මුහුණ, අත් සහ පාද හැර මුළු සිරුරම ආවරණය වන පිහිනුම් ඇඳුමකි
- එහි නම "බුර්කා" සහ "බිකිනි" යන වචනවල මිශ්‍රණයකි.
- බුර්කා මෙන් නොව, බුර්කිනි වල මුහුණ විවෘතය.
- දැඩි විනීතභාවයට අදාල ආගමික ආඥාවලට අනුකූල වෙමින් ප්‍රසිද්ධ ස්ථානවල පිහිනීමේ ක්‍රමවේදයක් ලෙස මුස්ලිම් කාන්තාවන්ට බුර්කිනි අලෙවි කරනු ලැබේ.

බුර්කිනි කෙරෙහි වන ප්‍රංශ විරෝධය 2016 තරම් ඈතට විහිදේ. රටේ නීති අභිබවා ආගමික නීති ගෙන ඒමට නගර සභා කිහිපයක් එකල උත්සාහ කර තිබෙන්නේ ආගම සහ රාජ්‍යය අතර රටේ ඇති දැඩි වෙන්වීම උල්ලංඝනය කරමින් ප්‍රාදේශීය නගර සභා කිහිපයක් වෙරළ තීරයන හී එය නීති විරෝධී කිරීමට උත්සාහ දැරීමත් සමඟය.
ග්‍රෙනොබල් නගරාධිපති එරික් පියෝල් තර්ක කළේ රාජ්‍ය නිලධාරීන්ට රැකියාවේදී ආගමික ලාංඡන පැළඳීමට අවසර නැති නමුත් පිහිනුම් තටාක වැනි පොදු සේවාවන් භාවිතා කරන්නන්ට රිසි සේ ඇඳුම් ඇඳීම නතර කිරීමට අවශ්‍ය නැති බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
පිහිනුම් ඇඳුම් නීති ලිහිල් කිරීම රජය විසින් "ඉස්ලාම්වාදී බෙදුම්වාදයට" එරෙහිව සටන් කිරීම සඳහා පසුගිය වසරේ සම්මත කරන ලද නීතියට පටහැනි එකක් විය.
බුර්කිනි විවේචකයින් එය ප්‍රංශ සමාජයේ බෙදුම්වාදී දැක්මක් ලෙස සලකන අතර බුර්කිනි ඇඳීමට ඉඩ දීම යනු මුස්ලිම් කාන්තාවන්ට එය ඇඳීමට බල කිරීමක් බවත් පවසයි. දක්ෂිනාංශික අන්තවාදී නායිකා මැරීන් ලෙ පෙන් බුර්කිනි යනු "ඉස්ලාම්වාදී ප්රචාරණයේ උපක්‍රමයක්" යැයි කියමින් එය හෙළා දැක තිබේ.
කෙසේ වෙතත්, එයට ඉඩ දීමට පක්ෂව සිටින අය පවසන්නේ කාන්තාවන්ට අවශ්‍ය නම් තම සිරුර වසාගෙන සිටීමට අවස්ථාව තිබිය යුතු බවත්, මෙයින් ආගමික අන්තවාදයක් අදහස් නොවන බවත් ය.













