ඔස්ට්‍රියාවේ බුර්කා සහ නිකාබ් තහනම්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මුස්ලිම් කාන්තාවන් විසින් අඳිනු ලබන 'නිකාබ්' සහ 'බුර්කාව' ඔස්ට්‍රියාවේ ප්‍රසිද්ධ ස්ථානවල තහනම් කිරීමේ නීතිය ක්‍රියාවට නැංවෙයි.
මේ අනුව මින් ඉදිරියට ඔස්ට්‍රියාවේ ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමේ දී නළලේ සිට නිකට දක්වා මුහුණ ආවරණය කරගෙන සිටිය නොහැක.
ඔස්ට්‍රියානු ආණ්ඩුව පවසන්නේ තම රටේ සාරධර්ම ආරක්ෂා කරගැනීම සඳහා මෙම නීතිය ක්‍රියාවට නැංවෙන බවය.
මෙම නීතිය බලාත්මක කෙරුණේ මේ මස අග භාගයේ දී ඔස්ට්‍රියානු මහා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී ය.

ඔස්ට්‍රියානු බලධාරීන් ගත් මෙම පියවර මුස්ලිම් කණ්ඩායම් විසින් හෙළා දකිනු ලැබ තිබේ. ඔවුන් පවසන්නේ ඔස්ට්‍රියාවේ අතිශය සුළු පිරිසක් පමණක් සම්පුර්ණයෙන් මුහුණ ආවරණය කරන බවය.
එරට මුස්ලිම් කාන්තාවන් 150 දෙනෙකු පමණ බුර්කාව භාවිත කරන බවට ඇස්තමේන්තු කර ඇත.
කෙසේ නමුත් මෙම නීතිය නිසා ගල්ෆ් කලාපයේ සිට පැමිණෙන සංචාරකයන් ගේ අඩුවක් විය හැකි බවට ඔස්ට්‍රියානු සංචාරක බලධාරීහු සැක පළ කරති.

ප්‍රංශය සහ බෙල්ජියම ද වසර 2001 දී බුර්කා තහනමක් පනවන ලදී. මේ වන විට නෙදර්ලන්ත පාර්ලිමේන්තුව ද බුර්කා තහනමක් පැනවීම සඳහා කටයුතු කරමින් සිටී.
නිකාබ් සහ බුර්කා ඇඳුම තහනම් කළ යුතු බව ජර්මනියේ චාන්සලර්වරිය වන අන්ගෙලා මර්කල් ද ප්‍රකාශ කර තිබේ.
නමුත්, මුස්ලිම් කාන්තාවන්ගේ බුර්කා ඇඳුම සහමුලින්ම තහනම් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට පටහැණි වන හෙයින් එහි එක්තරා පාලනයක් සිදු කළ යුතු බව ජර්මනියේ අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණි.










