ලෝක කුසලානය 2022: අභිමානයත් බලාපොරොත්තු කඩවීමත් අතර දෝලනය වූ මොරොක්කෝ-ප්‍රංශ තරගය

ඡායාරූප මූලාශ්‍රය, PA Media
ලෝක කුසලාන අවසන් මහා තරගයට පිවිසි පළමු අප්‍රිකානු රාජ්‍යයවීමේ මොරොක්කෝ බලාපොරොත්තුව සුන්වූයේ ඔවුන්ගේ කණ්ඩායම ප්‍රංශය හමුවේ ගෝල 2-0කින් පරාජයට පත්වීමත් සමග ය.
කටාරයට රැස්වූ සහ යුරෝපයේ සිටින මොරොක්කෝ රසිකයන් බලාපොරොත්තු වූයේ ඔවුන්ගේ පැරණි යටත්විජිත පාලකයන් පරාජය කිරීමට ය.
එහෙත් ප්‍රංශයේ තියෝ හර්නාන්ඩස් සහ කයිලියන් ම්බප්පේ ලබාගත් ගෝල සමග එම අපේක්ෂාවන් සඵල කරගත නොහැකි විය.
"අපි පැරදුණා, ඒත් අපි ගොඩක් ආඩම්බර වෙනවා," කැසබ්ලැන්කාහි රසිකයෙක් බීබීසීයට පැවසීය.
ප්‍රංශයේ මොරොක්කෝ සම්භවයක් ඇති ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වෙසෙන බැවින්, මධ්‍යම පැරීසියේ විශාල පොලිස් භට පිරිසක් යොදා තිබුණි.
මොරොක්කෝ ධජ මෙන්ම අනෙකුත් උතුරු අප්‍රිකානු රටවල වර්ණ ධජ ද ප්‍රංශයේ ශම්ප් එලිසේහි රැස්වූ රසිකයන් අත ලෙළ දුනි.
බ්‍රසල්ස් ඇතුළු අනෙකුත් යුරෝපීය නගරවල කැරලි මර්දන පොලිසිය දක්නට ලැබුණි. ඒවායේ මොරොක්කෝ රසිකයන් ඔවුන්ගේ පෙර ලෝක කුසලාන අපේක්ෂාවන් ගිනිකෙළිවලින් සමරා තිබුණි.
නෙදර්ලන්තයේ හේග්හි පැවති කාලගුණ තත්ත්වය නිසා එහි රසික සැමරුම් සීමා සහිත විය.
තරගය අවසන්වීමෙන් පසු වීථියේ ගිනිකෙළි පැවැත්වුණු නමුත් ලන්දේසි-මොරොක්කෝ වැසියන් බීබීසීයට පැවසුවේ ඔවුන් සාමය පවත්වා ගැනීමට උත්සාහ කරන බවයි.

නමුත් කැසබ්ලැන්කාහි මොහොමඩ් V ක්‍රීඩාංගනයේ රසික කලාපයේ එක් රසිකයෙකු අර්ධ අවසන් පූර්ව ප්‍රතිඵලය, "කමක් නෑ, ඒ තරගවල හැටියැ,"යි කීවේ ය. නරඹන්නන් බොහෝදෙනෙකු කියා සිටියේ කටාර්හි පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ මොරොක්කෝවේ දස්කම්, බලාපොරොත්තුසහගත අනාගතයක ආරම්භය බව තමන් විශ්වාස කරන බව යි.
කැසබ්ලැන්කාහි පැරණිතම ආපන ශාලාවේ දී, තම කණ්ඩායම ලකුණු ලබා ගැනීමට වෙහෙසෙන ආකාරය දුටු රසිකයින් කලකිරීමට පත්විය.
ප්‍රංශයේ හැදී වැඩුණු නමුත් මොරොක්කෝවේ උපත ලැබූ එක් රසිකයෙකු පැවසුවේ "අප්‍රිකාවට ලෝක කුසලානය ඔසවන්නට කාලය හරි" නිසා තමාට ජයග්‍රහණයක් දැකීමට අවශ්‍ය බව යි.

මැඩ්රිඩ්හි කැසා අරාබේ සංස්කෘතික මධ්‍යස්ථානයේ ක්‍රීඩාංගණයේ ඉදිකරන ලද විශාල කූඩාරමක මොරොක්කෝ රසිකයන් ද තරගය නරඹමින් සිටියේ ය. රසිකයන් ඔවුන්ගේ කණ්ඩායමට ඔල්වරසන් දුන්නේ සම්ප්‍රදායික මොරොක්කානු කෙටි ආහාර ලබා ගනිමිනි.
"මොකක් වුණත් මම අපේ කණ්ඩායම ගැන ආඩම්බර වෙනවා," මොරොක්කෝ ජාතික කණ්ඩායමේ කමිසයක් ඇඳ සිටි රිෆ්හි ඉංග්‍රීසි ගුරුවරියක වන ඉනාස් බීබීසීයට පැවසුවාය.
"එයාලා පාපන්දුවලට වඩා [රට] නියෝජනය කළා. එයාලා අපට එක එක විදියේ සංකේතාත්මක ජයග්‍රහණ ලබා දුන්නා. එයාලා අපට ජාත්‍යන්තර අවධානය සහ ගෞරවය ලබා දුන්නා."
කැසබ්ලැන්කාහි ඉන්ධන පිරවුම්හල් සේවකයෙකුව සිටි මුනීර් මිතුරන් පිරිසක් සමග තරගය නරඹින් සිටියේ ය. ප්‍රංශයේ දෙවන ගෝලය සමග ඔහු කලබලවුව ද උද්‍යෝගයේ අඩුවක් නොවීය.
මොරොක්කෝ කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසීම පිළිබඳව ඔහු පැවසුවේ, "මේක ජීවිතේටම එක පාරක් දකින්න ලැබෙන දෙයක්. අපේ දරුවෝවත් ආයෙත් මේක දකින එකක් නැහැ. අපිට මේක ගොඩක් වටිනවා," යනුවෙනි.

එක්සත් රාජධානියේ වයඹදිග ලන්ඩනයේ ප්‍රදේශයක් වන ක්‍රික්ල්වුඩ්හි දී, අවසන් විස්ල් එක නාදවීමත් සමගම මොරොක්කෝ රසිකයන් බොහෝ ප්‍රීති ඝෝෂා නැගී ය.
එහි සිටි රසිකයින්ට තම කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරය ගැන ඉමහත් ආඩම්බරයක් දැනුනි. ශීත කාලගුණය නිසා ඔවුන් තරගය නැරඹුවේ බ්ලැන්කට් පොරවාගෙන, තේ පානය කරමින් සහ ශීෂා දුම් උරමිනි.
ටියුනීසියානුවන්, ඇල්ජීරියානුවන් සහ ඊජිප්තු ජාතිකයන් කැෆේ ප්‍රෙගෝ වෙත එක්ව සිටිනු දකින්නට ලැබුණි. එහි සිටි එක් රසිකයෙක් පැවසුවේ කටාර්හි පැවති තරගාවලිය මෙතෙක් පැවති හොඳම ලෝක කුසලාන තරගාවලිය බවත්, එය ලන්ඩනයේ අරාබි ඩයස්පෝරාව එක්සත් කළ බවත් ය. "අපි හැමෝම එකම ජාතියක්," හේ වැඩිදුරටත් පැවසීය.










