දකුණු ආසියාවේ භූ දේශපාලනය ක්‍රිකට් ක්‍රීඩාවට බලපා ඇති අයුරු: විචාරකයින්ගේ හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂඥයින්ගේ ඇසින්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, සම්පත් දිසානායක
- Role, බීබීසී සිංහල
2026 ICC T20 ලෝක කුසලානය සැලසුම් කළ පරිදිම පැවැත්වෙන බවත්, බංග්ලාදේශයේ තරග ඉන්දියාවේ පැවැත්වීමට නියමිත බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) අද (ජනවාරි 21 වැනිදා) තහවුරු කළේය.
බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය (BCB) තම තරග ඉන්දියාවෙන් පිටතට ශ්‍රී ලංකාවේ පවත්වන ලෙස ඉල්ලා සිටීමෙන් පසු ඉදිරි පියවර ගැන සාකච්ඡා කිරීම සඳහා අද (ජනවාරි 21 වන බදාදා) ඔන්ලයින් ඔස්සේ පැවති ICC රැස්වීමකින් පසුව මෙම තීරණය ගෙන තිබේ.
ICC T20 ලෝක කුසලන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට ඇත්තේ තවත් දින 18කි. එසේ තිබියදී තරගාවලියට සහභාගි වීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය අද (ජන: 21) ප්‍රකාශයට පත් කිරීමට නියමිත තීරණය පිළිබඳ මුළු ක්‍රිකට් ලෝකයේ ම අවධානය යොමුවී තිබේ.
බංග්ලාදේශය ගන්නා තීරණය කුමක් වුව ද එය භූ දේශපාලනය හා බැඳී ඇති බව ක්‍රිකට් විචාරකයින් මෙන් ම ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ප්‍රවීණයින්ගේ අදහස ය. එපමණක් නොව මේ සිද්ධි දාමය ම භූ දේශපාලනය හා බැඳි පවතින බවට සැකයක් නොමැත.
යම් ලෙසකින් බංග්ලාදේශය ICC T20 ලෝක කුසලානයට තරග නොකිරීමට තීරණය කළහොත් ඔවුන්ගේ ICC සාමාජිකත්වය අත්හිටුවීමේ අවදානමක් ඇතැයි ක්‍රිකට් විචාරකයෝ පෙන්වා දෙති.
ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ බීබීසී සිංහල වෙත පැවසුවේ, "දේශපාලන ප්‍රශ්නයක් හින්දා ඒක ක්‍රීඩාවට ප්‍රශ්නයක් වෙන්න බැහැ," යනුවෙනි.
"බංග්ලාදේශය සහභාගි වුණේ නැතැනම් ලෝකු ප්‍රශ්නයක් වෙනවා මේක හොඳින් බේර ගත්තේ නැත්නම්. කවුරු හරි කෙනෙක් අඩියක් පස්සට ගන්න ඕනේ. හැබැයි මේ මොහාතේ අඩියක් පස්සට ගන්න වෙන්නේ බංග්ලාදේශයට. මොක ද බංග්ලාදේශ තරග ටික ලංකාවේ ගහන්න බැහැ. මොක ද ඒ ඔක්කොම සැලසුම් කරලා ඉවරයි නේ."
"දෙවැනි එක බංග්ලාදේශය යෝජනා කරන විදිහට තරගාවලියේ ගෲප් වෙනස් කරන්න බැහැ. එහෙම කරන්න බැහැ. දේශපාලන ප්‍රශ්නයක් හින්දා ඒක ක්‍රීඩාවට ප්‍රශ්නයක් වෙන්න බැහැ," රොෂාන් අබේසිංහ අවධාරණය කළේ ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
දෙරට අතර වර්ධනය වන දේශපාලන ආතතීන් මධ්‍යයේ ලබන මාසයේ ආරම්භ වන T20 ලෝක කුසලානය සඳහා ඉන්දියාවට නොයන බව බංග්ලාදේශය මීට පෙර ICC යට දන්වා තිබූ අතර, ඔවුන්ගේ තරග වෙනත් ස්ථානයක පවත්වන ලෙස ද ඉල්ලා තිබිණි.
දෙරට අතර වර්ධනය වන ආතතීන් මධ්‍යයේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලීම පරිදි බංග්ලාදේශ වේග පන්දු යවන්නෙකු වන මුස්තාෆිසුර් රහ්මාන් IPL තරගාවලියට ක්‍රීඩා කරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් නිදහස් කරන ලදී.
දෙරට අතර මෙම ප්‍රශ්නයට ආසන්න හේතුව මෙම සිද්ධිය ද? ඔස්ට්‍රේලියාවේ ඉන්දු-පැසිෆික් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාත්‍යන්තර සබඳතා පර්යේෂක ආචාර්ය හසිත් කන්දඋඩහේවා පවසන්නේ, බංග්ලාදේශයෙන් නෙරපා හරින ලද හිටපු අග්‍රමාත්‍ය ශෙයික් හසීනාට ඉන්දියාව දේශපාලන රැකවරණය ලබා දීමත්, ඒ ආශ්‍රිතව ඇති වෙච්ච මහජන විරෝධය මැඩපැවැත්වීමට ඉන්දියාව මැදිහත් වූ ආකාරය ගැන බංග්ලාදේශ ජනතාව තුළ යම් නොසතුටක් ඇති බව ය.
මෙම නොසතුට භූ දේශපාලනික අර්බුදයක් බවට පත්ව ක්‍රිඩාවට පැමිණ ඇතැයි, ආචාර්ය හසිත් කන්දඋඩහේවා සඳහන් කළේ ය.
"මෙය ක්‍රීඩාව භූ දේශපාලනීකරණය වෙලා කියන එක අපිට දකින්න පුළුවන්," යැයි ද ඔහු පැවසීය.
ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ ද කියා සිටියේ, මෙය මූලිකව ම දේශලපාලන ප්‍රශ්නයක් බව ය.
"ජාත්‍යන්තර ක්‍රිකට් කවුසින්ලය පවත්වන ලෝක කුසලාන තරගාවලිය සහ ඉන්දියාවේ IPL එක අතර සම්බන්ධයක් නැහැ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලෝක කුසලානයක් පවත්වනවා. එතකොට ඉන්දියාවේ IPL එක කියන්නේ ඉන්දියාවේ අභ්‍යන්තර තරගාවලියක්. මම කතා කරන්නේ මධ්‍යස්ථව ඉඳලා. මේ ක්‍රිකට් කවුන්සිලයේ ඉන්දීය සභාපති කෙනෙක් ඉන්න එක ගැන මම කතා කරන්නේ නැහැ. අපිට එතන කතා කරන්න ඕනේ නැහැ. අපි කල්පනා කරන්නේ ඔවුන් හැම විට ම මධ්‍යස්ථ යි කියලා නේ. එහෙම හිතලා කතා කරන කොට මම හිතන්නේ මේක අභ්‍යන්තර දෙයක්. අරක ජාත්‍යන්තර තලයේ තියෙන ලෝක කුසලානයක්. ඉතින් ඒ දෙක අතර සම්බන්ධයක් නැහැ. හැබැයි ඒ කියන අතරතුරේදී මේ ක්‍රීඩකයා යැවීමේ ඉන්දියාවේ තීරණය මතභේදාත්මක යි. බංග්ලාදේශය හිතනවා ඔවුන්ට ගහපු කම්මුල් පහරක් කියලා. මේවා අපි කතා කරන්නේ 'ඊගෝස්'වල ප්‍රශ්න මේවා. මේ ප්‍රශ්නය ඇති වෙන්න මූලික හේතුව මොකක් ද? මේ ප්‍රශ්නය ඇති වෙන්න මූලික හේතුව දේශපාලන ප්‍රශ්නයක් නේ. දේශපාලන ප්‍රශ්නයක් හින්දා නේ මේක මෙච්චර දුර ගිහිල්ලා තියෙන්නේ. ඒක දේශපාලනය හින්දා ගත්ත තීරණයක් වෙන්නත් පුළුවන් නේ මේ ක්‍රීඩකයාව යැවීම. මේ පැත්තට කණ්ඩායමක් නොයවන්නත් තීරණය කිරීමත් දේශපාලන තීරණයක් හැටියට නේ පේන්නේ, ක්‍රීඩාවේ තීරණයක් නෙමෙයි නේ," රොෂාන් අබේසිංහ පැවසීය.
'ක්‍රීඩාවත් දේශපාලනයත් අනිවාර්යෙන් ම තැන් දෙකක තිබිය යුතු දෙයක්.'
ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රෝෂාන් අබේසිංහ බීබීසීය පැවසුවේ, ක්‍රීඩාවත් දේශපාලනයත් අනිවාර්යෙන් ම තැන් දෙකක තිබිය යුතු දෙයක් බව ය.
"ක්‍රීඩාවත් දේශපාලනයත් කිසි ම විදිහක සම්බන්ධ වෙන්න බැහැ. මම දකින්නේ ඔය දෙක එකතු වුණු තැන ගොඩක් ප්‍රශ්න තියෙනවා. අපි රටක් හැටියටත් දන්නවා, අපිට ලෝකෙන් පේනවා. එතකොට අද මේ භූ දේශපාලනය ලොකුවට තියෙන අවස්ථාවක විශේෂයෙන් ම හරි ම අවාසනාවන්ත යි. මොක ද විශේෂයෙන් ම දකුණු ආසියාවේ ප්‍රධාන රටවල් හතර ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව කියන රටවල් හතර අතර තියෙන බැඳීම ක්‍රීඩාවට හරි ම වැදගත්."
"දකුණු අසියාකරයේ මේ රටවල් හතර ක්‍රීඩාව පැත්තෙන් එකට හිටියොත් තමා අපිට අපේ ශක්තිය පෙන්නනන් පුළුවන්."
"දැන් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාව පමණ යි මේ රටවල් තුනත් එක්ක ම හොඳ හිතින් ඉන්නේ. අපි බැලුවොත් ඉන්දියාව යි පකිස්ථානයත් එක්ක කොහොමත් හොඳ හිතක් නැහැ. දැන් බංග්ලාදේශය යි ඉන්දියාව යි අතර ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි දකිනවා පකිස්ථානය බංග්ලාදේශය පැත්තට එනවා. ඉතින් මේක මේ විදහට වෙන් වෙන්න පටන් ගත්තොත් සමස්ථය ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්."
"මේ රටවල් අතර හොඳ සබඳතාවක් තිබ්බේ නැත්නම් ක්‍රීඩාවට මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. හෙට ඉන්දියාව කිව්වොත් එගොල්ලෝ බංග්ලාදේශයට සංචාරය කරන්නේ නැහැ කියලා. එතකොට මොක ද වෙන්නේ, ඒක ලොකු ප්‍රශ්නයක්. ඉන්දියාව යි - බංග්ලාදේශය යි අතර තරග නැහැ කියන්නේ ලෝකයට ලොකු අඩුවක් ඒක. අද ඇයි පකිස්ථානය යි - ඉන්දියාව යි අතර ජාත්‍යන්තර තලයේ තරගාවලි පවා ක්‍රීඩා කරනකොට මිනිස්සු ඇයි එන්නේ බලන්න. මිනිස්සු හරි ආස යි නරඔන්න ඒ රටවල් දෙක අතර තරග. ඉතින් මම දකින්නේ දේශපාලනය යි ක්‍රීඩාව යි සම්පූර්ණයෙන් එකින් එකට වෙනස් වෙන්න ඕනේ. ඒක තමා මගේ ප්‍රතිපත්තිය. ඒක තමා මම හිතන්නේ කොහේ හරි දේශපාලනය ගෑවුණොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. මොක ද ඔවුන්ට පේන්නේ ක්‍රීඩාව පැත්ත නෙමෙයි, ඔවුන්ට පේන්නේ තමන්ගේ දේශපාලන පැත්ත."
'රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් බවට පත්වෙන්න තියෙන අවස්ථාව ඉතා ම ඉහළයි'
මෙය ක්‍රීඩාවේ ජීවගුණයට බලපාන බව ද රොෂාන් අබේසිංහ සඳහන් කළේ ය.
"අනිවාර්යෙන් ම වතුර බහින්නේ පහළ ම තැනින් නේ. දේශපාලනඥයින් යන්නේ නැහැ. ක්‍රීඩාවට තමා පහර වදින්නේ."
ඔස්ට්‍රේලියාවේ ඉන්දු-පැසිෆික් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාත්‍යන්තර සබඳතා පර්යේෂක ආචාර්ය හසිත් කන්දඋඩහේවා සඳහන් කළේ, බංග්ලාදේශය යම් ලෙසකින් තරගාවලිය වර්ජනය කළහොත්, එය දකුණු ආසියාතික රටකට නුසුදුසු බවත් එය ඉන්දියාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට ද බලපාන බව ය.
සංකේතාත්මකව මෙලෙස වර්ජනයක් කළහොත් ප්‍රතිරූපාත්මකව මෙය ඉන්දියාවේ (Sports diplomacy) ක්‍රීඩා දූතකරණයට බලපෑ හැකි බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
ඊට හේතුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහ ICC සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ආධිපත්‍යය දරනු ලබන්නේ ඉන්දියාව විසිනි.
"දැනට තියෙන තත්ත්වය අනුව ක්‍රීඩාව මට්ටමින් තම යි විරෝධතාවක් තිබෙන්නේ, නමුත් මේක ඉස්සරහට දේශපාලනික මතවාද හා සම්බන්ධ දේවල් එක්ක එක්තරා විදිහට වර්ධිත රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් බවට පත්වෙන්න තියෙන අවස්ථාව ඉතා ම ඉහළ යි."
තවත් ලෙසකින් දේශපාලන සංදර්භයන් ක්‍රීඩාව තුළට රැගෙනවිත්, ක්‍රීඩාව තුළින් ඒ දේශපාලන සංදර්භයන් පිට කිරීමට උත්සහ කිරීම නරක පූර්වාදර්ශයක් බවට පත්විය හැකි බව ද ආචාර්ය හසිත් කන්දඋඩහේවා සඳහන් කළේ ය.
"ඊළඟ කාරණය තමයි, මේ සිද්ධිය පදනම් කරගෙන දෙරට අතර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වීමේ අවදානමක් තියෙනවා," ඔහු වැඩිදුරටත් පැවසීය.
දේශපාලනික ගැටුම් ක්‍රීඩකයින් අතරට පැමිණීම
දකුණු ආසියානු රටවල් අතර පවතින දේශපාලනික ගැටුම් මීට පෙර ක්‍රිකට් ක්‍රීඩකයින් අතරට පිවිස ඇති ආකාරයක් දක්නට නොලැබිණි.
මීට පෙර පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිවලදී ඉන්දියාවේ විරාට් කෝලි, පකිස්ථානයේ මොහොමඩ් රිස්වාන් වැනි ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් මිත්‍රශීලීව කතාබහ කරනු දක්නට ලැබිණි. එම අවස්ථාවල ඡායාරූප ද සමාජ මාධ්‍යවල ප්‍රශංසාත්මකව පළ කර තිබිණි.
කෙසේ වෙතත්, පසුගිය වසරේ පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දීය නායක සූර්යකුමාර් යාදෙව් පකිස්ථාන ක්‍රීඩකයින්ට අතටඅත නොදීම, පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා අතින් පිරිනැමූ කුසලානය භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම ආදී ක්‍රියා දක්නට ලැබිණි.














