'අමුතු අංග චලන' නිසා පකිස්ථානයේ සහිබ්සාඩා ෆර්හාන්ට සහ හාරිස් රාවුෆ්ට එරෙහිව ඉන්දියාවෙන් ICCයට පැමිණිල්ලක්

සහිබ්සාඩා ෆර්හාන් සහ හාරිස් රාවුෆ්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සහිබ්සාඩා ෆර්හාන් සහ හාරිස් රාවුෆ්
    • Author, බීබීසී සිංහල

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් කුසලාන තරගාවලිය මේ වන විට හේතු රැසක් නිසා ක්‍රිකට් ලෝලීන් නොවන පුද්ගලයින් අතර පවා දැඩි කතාබහට ලක්ව තිබේ.

ඉන්දීය සහ පකිස්ථාන ක්‍රීඩකයින්ගේ අංග චලන, අමුතු සැමරුම් ආදී විවිධ සිදුවීම් ඊට බලපෑවේ ය.

ඉන්දු - පකිස්ථාන ක්‍රීඩකයින් අතර ඇති වූ මතභේදාත්මක හැසිරීම් සම්බන්ධයෙන් ගොඩනැගුණු තත්ත්වය මේ වන විට තවත් දුරදිග ගොස් තිබේ.

ෆර්හාන් සහ රාවුෆ්ට එරෙහිව ඉන්දියාවෙන් පැමිණිල්ලක්

ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවති Super Four වටයේ තරගයේදී (සැප්: 21) පකිස්ථාන ක්‍රීඩකයින් දෙදෙනෙකු හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔවුන් චෝදනා කර ඇත්තේ, සහිබ්සාඩා ෆර්හාන් සහ හාරිස් රාවුෆ් ක්‍රීඩා පිටියේදී "ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු" බව ය.

පකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් සහිබ්සාඩා ෆර්හාන් අර්ධ ශතකයක් රැස් කළේ ය.

අර්ධ ශතකය රැස් කළ පසු ඔහු එය සැමරුවේ, පිත්ත 'තුවක්කුවක්' මෙන් අතේ තබාගෙන අහස දෙසට ඔසවමිනි.

මේ අතර, පකිස්ථාන පන්දු යවන්නෙකු වන හාරිස් රවුෆ්ගේ ඡායාරූපයක් වයිරල් විය. එහි ඔහු හය සහ බිංදුව පෙන්නුම් කරන බවක් අභිනයෙන් දක්වයි.

මෙම අභිනය පිළිබඳව, පකිස්ථාන අමාත්‍ය කවාජා අසිෆ් මෙසේ ලිවීය, "රාවුෆ්ගේ ප්‍රතිචාරය නිවැරදි යි. ක්‍රිකට් තරග දිගට ම පැවැත්වෙනවා, ඒත්, ඉන්දියාවට කවදාවත් 6/0 අමතක කරන්න බැරි වෙයි. ලෝකයත් එය මතක තබා ගනු ඇති."

රාවුෆ් එම අභිනයෙන් සංකේතවත් කළේ, 'සින්දූර් මෙහෙයුම' අතරතුර ඉන්දීය ප්‍රහාරක ගුවන් යානා වෙඩි තබා බිම දැමීමේ සිද්ධිය යි.

ක්‍රීඩකයින් දෙදෙනාට කුමක් වෙයි ද?

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විමර්ශනයක් සිදු කරනු ඇති අතර, අදාළ හැසිරීම්වලින් ක්‍රිකට් කවුන්සිලයේ නීති සංග්‍රහයට පටහැනි ද යන්න සොයා බලනු ඇත.

යම් හෙයකින් ඔවුන් වැරදිකරුවන් බවට තහවුරු වුවහොත් තරග තහනමක පවා ලක්විය හැකි ය.

මේ අතර, දෙරට අතර පැවති පළමු තරගයේදී ඉන්දීය ක්‍රීඩකයින් අතට දී ආචාර නොකර ක්‍රීඩාංගණයෙන් නික්ම යාම සහ තරගයෙන් පසු ඉන්දීය නායක සූර්ය කුමාර් යාදව් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර තිබිණි.

ඉන්දියාව සහ පකිස්ථානය අවසන් තරගයට සුදුසුකම් ලැබුවහොත්, ඔවුන් මෙවර ආසියානු තරගාවලියේ එකිනෙකා හමුවන තුන් වන අවස්ථාව මෙය වනු ඇත.

ඒ අනුව, එම තරගය නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන් අතර දැඩි උනන්දුවක් පවතින අතර, සියලු ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන් බව ද වාර්තා වෙයි.