ෆර්හාන්ගේ 'තුවක්කු සැමරුම', අභිෂේක්-ෂහීන්-රවුෆ් ගැටුම, රුචිර පල්ලියගුරුගේ තීරණය: ඉන්දියා-පකිස්ථාන තරගයේ මතභේද 5ක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ආසියානු කුසලාන 'Super Four' වටයේ ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවති තරගයෙන් ඉන්දියාවට කඩුලු 6ක ජයක් හිමි විය.
ඉරිදා (සැප්: 21) ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී පකිස්ථානය, ඉන්දියාවට ලකුණු 172ක ඉලක්කයක් ලබා දී තිබිණි.
19 වන පන්දු වාරයේදී කඩුලු 4ක් පමණක් දැවී ඉන්දියාව මෙම ඉලක්කය සපුරා ගත්තේ ය.
මේ අතර, පසුගිය තරගයේ අතට අත නොදීමේ මතභේදය මෙම තරගයේදීත් දක්නට ලැබිණි.
මෙම තරගයේදීත් කණ්ඩායම් දෙකෙහි ම නායකයින් කාසියේ වාසිය විමසන අවස්ථාවේ අතට අත දුන්නේ නැත.
සැප්තැම්බර් 14 වන දින කණ්ඩායම් අදියර තරගය අතරතුර සාම්ප්‍රදායික ප්‍රතිවාදීන් අතර දේශපාලන, රාජ්‍ය තාන්ත්‍රික සහ මිලිටරි පෙරමුණුවල ආතතිය ක්‍රීඩා පිටියට පැමිණි බවක් දක්නට ලැබිණි.
ඉන්දියාව හමුවේ පරාජයෙන් පසුව, පකිස්ථානයේ දුර්වල ක්‍රීඩා විලාසය පිළිබඳව සාකච්ඡා වූ අතර, තරගයේ 'ජීව ගුණය' නොමැතිවීම පිළිබඳව ද ප්‍රශ්න මතු විය.
ක්‍රිකට් ලෝලීන් පකිස්ථානය සහ ඉන්දියාව අතර තරගය සඳහා ඉතා උනන්දුවෙන් බලා සිටින අතර මෙම තරගය සමාජ මාධ්‍ය තුළ ද බොහෝ සෙයින් කතාබහට ලක් වූයේ එබැවිනි.
පකිස්ථානය, ඉන්දියාවට ලකුණු 172ක ඉලක්කයක් ලබා දුන් විට, සමාජ මාධ්‍ය වේදිකාවක් වන Xහි බොහෝ පකිස්ථාන ක්‍රිකට් ලෝලීහු තම කණ්ඩායමේ දක්ෂතා අගය කළහ.
නමුත් ඉන්දියාවට එරෙහිව තවත් තරගයක් පරාජය වීමෙන් පසු, PCB සභාපති මොෂින් නක්වි ද විවේචනයට ලක් විය.
1. ෆකාර් සමාන්ගේ දැවීයාම

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
තරගයේ පළමු මතභේදය ඇති වූයේ, 3 වන පන්දු වාරයේදී ය. ඒ, ෆකාර් සමාන් ලකුණු 15ක් ලබා සිටියදී හර්දික් පණ්ඩ්‍යාගේ පන්දුවකට කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගිය බව තෙවන විනිසුරු වූ රුචිර පල්ලියගුරු විසින් තීරණය කරනු ලැබීම හේතුවෙනි.
සමාන් ඒ වන විට හොඳින් පන්දුවට පහර දෙමින් සිටි අතර, මුල් පන්දු වාරවලදී ජස්ප්‍රිට් බුම්රා සහ හර්දික් පණ්ඩ්‍යාට එරෙහිව සාර්ථකව ලකුණු රැස් කරමින් සිටියේ ය.
එහෙත්, ෆකාර් සමාන්, හර්දික්ගේ පන්දුවකට පහරක් එල්ල කරද්දී, කඩුලු රකින ක්‍රීඩක සංජු සැම්සන් විසින් උඩ පන්දුවක් අල්ලා ගත් බවට ඉල්ලීමක් කළ අතර, තුන් වන විනිසුරුට යොමු කිරීමෙන් පසු රුචිර පල්ලියගුරුගේ ඔහු දැවී ගිය බව තීරණය කළේ ය.
පුනරූපණ දසුන්වලින් පෙනී ගියේ, පන්දුව බිම වැදී සැම්සන්ගේ අත්වැසුම් මතට වැටෙන බව ය.
කඩුලු රකින්නාගේ ඇඟිලි පන්දුව යට තිබූ බැවින් උඩ පන්දුව නිවැරදි බව ප්‍රකාශ කළ ද, ෆකාර් සමාන් ඊට එකඟ නොවූ බව පෙනී ගියේ ය.
2. අභිෂේක් ෂර්මා සහ හාරිස් රවුෆ් අතර ඇති වූ විරසකය

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
ඉන්දියාව පන්දුවට පහර දීමට පැමිණි විට, පකිස්ථාන පන්දු යවන්නෙකු වන හාරිස් රවුෆ් ඉන්දීය ආරම්භක යුගලය සමග උණුසුම් වාදයක් ඇති කර ගත්තේ ය.
රාවුෆ් සහ ශුබ්මන් ගිල්-අභිෂේක් ෂර්මා යුගලය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ අතර එහිදී විනිසුරුවරයාට ද මැදිහත් වීමට සිදු විය.
ආරම්භක පිතිකරු ලෙස පැමිණි අභිෂේක් ෂර්මා හයේ පහරකින් ඉන්දීය ඉනිම ආරම්භ කළ අතර පන්දු 39කදී ලකුණු 74ක් රැස් කළේ ය.
ඔහු හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් එල්ල කළේ ය.
තරගයෙන් පසු, ඉන්දීය පිතිකරු අභිෂේක් ෂර්මා මෙසේ පැවසීය, "ඒගොල්ලො (පකිස්ථාන ක්‍රීඩකයින්) කිසිදු හේතුවක් නොමැතිව අපිත් එක්ක පැටලෙන්න ආව එකට මට ටිකක් අවුල් වුණා. ඒ නිසා තමයි මම ඒ විදිහට බැට් කළේ."
3. සහිබ්සාඩා ෆර්හාන්ගේ සැමරුම

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
පකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් සහිබ්සාඩා ෆර්හාන් අර්ධ ශතකයක් රැස් කළේ ය.
අර්ධ ශතකය රැස් කළ පසු ඔහු එය සැමරුවේ, පිත්ත 'තුවක්කුවක්' මෙන් අතේ තබාගෙන අහස දෙසට ඔසවමිනි.
එය ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ට ප්‍රිය දසුනක් නොවී ය.
ඉන්දියාවේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් සහ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයෝ මෙම ගැටලුව සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඉලක්ක කර විවේචන එල්ල කළහ.
4. රාවුෆ්ගේ 'අභිනය', පකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයාගේ අදහස්

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
සමාජ මාධ්‍යවල ඉන්දීය සහ පකිස්ථාන කණ්ඩායම් අතර සංසන්දනය අතරතුර, පකිස්ථාන පන්දු යවන්නෙකු වන හාරිස් රවුෆ්ගේ ඡායාරූපයක් වයිරල් විය. එහි ඔහු හය සහ බිංදුව පෙන්නුම් කරන බවක් අභිනයෙන් දක්වයි.
මෙම අභිනය පිළිබඳව, පකිස්ථාන අමාත්‍ය කවාජා අසිෆ් මෙසේ ලිවීය, "රවුෆ් නිවැරදි පිළිතුර ලබා දුන්නේ ය. ක්‍රිකට් තරග දිගට ම සිදුවෙමින් පවතී, නමුත් ඉන්දියාව අවසානය දක්වා 6/0 අමතක නොකරන අතර ලෝකය ද එය මතක තබා ගනු ඇත."
රවුෆ් එම අභිනයෙන් සංකේතවත් කළේ, 'සින්දූර් මෙහෙයුම' අතරතුර ඉන්දීය ප්‍රහාරක ගුවන් යානා වෙඩි තබා බිම දැමීමේ සිද්ධිය යි.
ඉෂ්තියැක් අහමඩ් නම් පරිශීලකයෙක් මෙසේ ලියා ලිවීය, "ඉන්දියාවට යුද්ධයක් කිරීමට හැකියාවක් නැත, අපට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට හැකියාවක් නැත. කෙටියෙන් කිවහොත් නිවැරදි අදහස එය යි."
ඉන්දියාවට එරෙහිව තවත් පරාජයකින් පසු Xහි පකිස්ථාන ක්‍රිකට් ලෝලීන් බොහෝ දෙනෙක් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොෂින් නක්වි විවේචනය කළ අතර ඔහු ඉල්ලා අස්විය යුතු බවට යළිත් බල කළහ.
5. දෙවන වරටත් අතට අත දීම මග හරී

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන වරටත්, කාසියේ වාසිය විමසීමෙන් පසු ඉන්දියාවේ සහ පකිස්ථානයේ නායකයින් අතට අත නොදුන්හ.
බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් මේ පිළිබඳව අදහස් දක්වා තිබිණි.
එක් පරිශීලකයෙක් මෙසේ ලිවීය, "ක්‍රිකට් ක්‍රිකට් ලෙස ම පවත්වාගෙන යන්න. මම දෙපාර්ශවයේ ම ක්‍රීඩකයින්ගෙන් ඉල්ලා සිටිමි."
සැප්තැම්බර් 14 වන දින තරගය ආරම්භ වීමට පෙර, සම්ප්‍රදායට අනුව කණ්ඩායම් දෙක ම පිටියට ගියහ.
ජාතික ගී වාදනය කිරීමෙන් පසුව කාසියේ වාසිය විමසා බැලිණි. නමුත් කාසියේ වාසියෙන් පසු, ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් තම පකිස්ථාන නායක සල්මන් අලි ආගා සමග අතට අත නොදී පිටියෙන් ඉවත්ව ගියේ ය.
තරගය අවසන් වූ පසු, ඉන්දීය කණ්ඩායම කෙලින්ම ඇඳුම් පැළඳුම් කාමරයට ගිය අතර, පකිස්ථාන ක්‍රීඩකයින් අතට අත දීමට සූදානම් වෙමින් සිටියහ.
එම තරගයේ තරග තීරකවරයා පිළිබඳව පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත පැමිණිලි කළේ ය.
පකිස්ථානය චෝදනා කළේ, තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් කණ්ඩායම් දෙකේ ම නායකයින්ගෙන් කාසියේ වාසිය අතරතුර අතට අත නොදෙන ලෙස ඉල්ලා සිටි බව ය.













