පැතුම් නිස්සංකගෙන් වාර්තාවක්: ශ්‍රී ලංකාවට පහසු ජයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය අද (සැප්: 13) බංග්ලාදේශය සමග පැවැත්විණි.
සිය පළමු තරගයෙන් කඩුලු 6ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේ ය.
බංග්ලාදේශ් කණාඩායම කඩුලු 5කදී ලකුණු 139ක් රැස් කළ අතර ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 140ක් රැස් කරමින් තරගය ජය ගත්තේ ය.
ඒ අනුව, B කාණ්ඩයේ දෙවන ස්ථානයට ශ්‍රී ලංකාව පත්විය. පළමු ස්ථානයේ රැඳී සිටින්නේ, ඇෆ්ගනිස්ථානය යි.
දැඩි පීඩනයක් මැද ගොඩනැගුණු බංග්ලාදේශ ඉනිම
ආරම්භයේදී බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ දැඩි පීඩනයකට ලක්ව සිටි අතර, නුවන් තුෂාරගේ පළමු පන්දු වාරයේදී ම පළමු කඩුල්ල ලෙස ටන්සිඩ් හසන් දැවී ගියේ ය.
එය නිලකුණු පන්දු වාරයක් වූ අතර, දෙවන පන්දු වාරයේදී පර්වේස් ඉමෝන් ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට දුෂ්මන්ත චමීර සමත් විය.
එය ද නිලකුණු පන්දු වාරයක් විය.
බංග්ලාදේශයට සිය පළමු ලකුණ ලබා ගත හැකි වූයේ, පන්දු 14කට පසුව ය.
බංග්ලාදේශ කණ්ඩායමේ ලකුණු පුවරුව 11ක් ලෙස සටහන් වෙද්දී 3 වන කඩුල්ල බිඳ වැටුණේ, කමිල් මිෂාර විසින් තව්හිඩ් රිදෝයි දුවද්දී දැවී යාමකට හසු කර ගැනීමෙනි.
4 වන කඩුල්ල ලකුණු 38දීත්, 5 වන කඩුල්ල ලකුණු 53දීත් බිඳ වැටෙන විට බංග්ලාදේශ කණ්ඩායම දැඩි පීඩනයකට ලක්ව තිබිණි.
කෙසේ වෙතත්, ජේකර් අලි සමග එක්වූ ෂමීම් හොසේන් බංග්ලාදේශයේ බලාපොරොත්තු ඉහළ නංවමින් බංග්ලාදේශ ලකුණු පුවරුව 139ක් දක්වා ඉහළ දැමීමට සමත් වූයේ, ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාරයකදී ලකුණු 7ක ඉලක්කයක් ලබා දෙමිනි.
පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 2ක් දවා ගත් අතර, නුවන් තුෂාර සහ දුෂ්මන්ත චමීර එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.
දැඩි ප්‍රහාරයකට ලක්වූ මතීෂ පතිරණ පන්දු වාර 4 තුළදී ලකුණු 42ක් ලබා දුන් අතර, දසුන් ශානක පන්දු වාර 3කදී ලකුණු 27ක් ලබා දුන්නේ ය.
කමිල් මිෂාරගේ උඩ පන්දුව ගිලිහී යාමෙන් පසු වේගවත් වූ ශ්‍රී ලංකා ඉනිම
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 3ක් ලබා සිටියදී දැවී යන විට කණ්ඩායමේ ලකුණු 13ක් ලෙස සටහන් විය.
පසුව පන්දුවට පහර දීම ආරම්භ කළ කමිල් මිෂාර මුහුණ දුන් මුල් පන්දු කිහිපයේදී අවිනිශ්චිත පහරවල් කිහිපයක් එල්ල කළ අතර, ලකුණු 2ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් රැක ගැනීමට බංග්ලාදේශයේ මෙහෙදි හසන් අසමත් විය.
ඉන්පසු වේගවත් පිතිහරඹයක් නිරත වූ කමිල් පන්දු 32කදී නොදැවී ලකුණු 46ක් රැස් කළේ ය.
මේ අතර, ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 34කදී ලකුණු 50ක් රැස් කිරීමට සමත් විය.
තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නම් කෙරුණේ, කමිල් මිෂාර ය.
පැතුම් නිස්සංකගේ වාර්තාව
මෙම තරගයේදී රැක් කළ අර්ධ ශතකයත් සමග පැතුම් නිස්සංක ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
ඒ, පන්දු වාර 20 තරගවලදී අඩු ම තරග සංඛ්‍යාවකදී ලකුණු 2000 පසු කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්වෙමිනි.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ, කුසල් ජනිත් පෙරේරා වන අතර, ඔහු ඒ සඳහා තරග 76කට ක්‍රීඩෙ කර තිබිණි.
පැතුම් නිස්සංක එම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේ, සිය 68 වන තරගයේදී ය.














