Pekoe Trail: අඩු වියදමකින් සීත කඳු මුදුන් අතරින් තේ රාජධානියක තතු සොයා ගිය ගමන

- Author, අමන්දිකා කුරේ
- Role, බීබීසී සිංහල
වසර දෙකකට පමණ පෙර මාගේ ෆේස්බුක් ගිණුමේ ඉහළ පහළ යමින් සිටිය දී අහම්බෙන් වීඩියෝවක් මගේ නෙත ගැටුණි.
විදේශීය කාන්තාවක් කඳුකර මාර්ගයක් ඔස්සේ ස්වභාවධර්මයේ සුන්දරත්වය විඳිමින් ඇවිද යන ආකාරය එම වීඩියෝවේ ඇතුළත් ව තිබුණි.
ඒ පිළිබඳ වැඩිදුර විස්තර සෙවීමේ දී එය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ආවරණය වන පරිදි සිතියම් ගත කර ඇති පා ගමනින් යා හැකි මාර්ගයක් බව දැනගැනීමට හැකි විය.
මධ්‍යම කඳුකරයේ සංචාරක ගමනාන්තයන් රැසක් ආවරණය වන පරිදි සිතියම්ගත කර ඇති මෙම මාර්ගයේ චාරිකාවක් යා යුතු යැයි මා සැලසුම් කළේ 2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේ වුවත්, ඒ වන විට පැවති වැසිබර කාළගුණය නිසා කල්ගිය මෙම චාරිකාව අවසානයේ දී යාමට සලසුම්කරගත හැකි වූයේ 2024 අවසානයේදී ය.
රැකියාවේ වැඩකටයුතු ද සිදු කරන අතරතුරේ මා මෙම චාරිකාව යාමට සැලසුම් කළේ දෙසැම්බර් මාසයේ අවසන් සති අන්තවලයි.
කාර්යයබහුල අයෙකුට වුව ද මෙම චාරිකාව සැලසුම් සහගත ව අදියර යටතේ යාමට හැකි ය.

මධ්‍යම කඳුකරය ආවරණය වන ආකාරයෙන් සිතියම් ගත වී ඇති මෙම මාර්ගය හැඳින්වෙන්නේ Pekoe Trail ලෙසයි.
Treks ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් හැඳින්වෙන මෙම වර්ගයේ පා ගමනින් යන ජනප්‍රිය මාර්ග ලොව පුරා තිබේ.
එයින් එක් ජනප්‍රිය මාර්ගයක් වන්නේ නේපාල මාර්ගය ඔස්සේ එවරස්ට් කන්දේ බේස් කෑම්ප් දක්වා ගමන් කරන මාර්ගයයි.
මෙම පා ගමන්වලදී කඳු නැගීම තරම් පරිශ්‍රමයක් දැරීමට අවශ්‍ය නොවන නමුත් යම් උස් උන්නතාංශවල බෑවුම් සහ රළු මාර්ග හරහා පයින් ගමන් කිරීම සිදු වේ.
ශ්‍රී ලංකාවේ එවැනි ජනප්‍රිය මාර්ගයන් නොමැති අතර, Pekoe Trail එවැනි පළමු විධිමත් දීර්ඝ පා ගමන් මාර්ගයයි.
හන්තානෙන් ආරම්භ වන මෙම මාර්ගය අදියර 22ක් ඔස්සේ කිලෝමීටර් 300කට අධික දුරක් ගෙවා නුවරඑළිය දක්වා දිව යයි.
ගමනට පෙර සූදානම
මෙම ගමන පාගමනින් ම යන චාරිකාවක් නිසා සැලසුම්සහගතව යාමේ අවශ්‍යතාවය හොඳින් ම තිබුණි.
ගමනට පිටත් වීමට පෙර දින මම සහ මගේ මිතුරා ලහි ලහියේ නමුත් අඩු භාණ්ඩ ප්‍රමාණයකින් බෑගය සූදානම් කරගනිමින් සිටියේ මෙම ගමන පුරාවටම බෑගය ද රැගෙන යාමට සිදුවන නිසා ය.
අත්‍යවශ්‍ය ඖෂධ, වැහි කබායක්, අවම අමතර ඇඳුම් ප්‍රමාණයක් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණයක් පමණක් අපගේ ගමන් මල්ලට එකතු විය.
Pekoe Trail නිල වෙබ් අඩවිය හරහා අප අත්‍යවශ්‍ය තොරතුරු දැනගත් අතර, එහි සියලු මාර්ගවල සිතියම් ඇතුලත් ජංගම දුරකතන යෙදවුමක් ද තිබේ.
එම යෙදවුම හරහා ලියාපංචි වූ විට සිතියම් ලබා ගැනීමේ පහසුකම නොමිලේ ම හිමි කර දී තිබුණි.
යම් අයෙකුට මගපෙන්වන්නෙකු හා යාමට අවශ්‍ය නම් එක් එක් අදියරයන් හි මගපෙන්වීම සිදු කරන වෘත්තීය මග පෙන්වන්නන්ගේ ලැයිස්තුවක් ද, එම අදියරයන් අවසානයේ නැවතීම සඳහා ඇති හෝටල් පහසුකම්වල ලැයිස්තුවක් ද එම වෙබ් අඩවියෙන් සොයා ගත හැකි ය.

ශීඝ්‍රගාමීව මහනුවරට
පළමු අදියර ආරම්භ වන හන්තාන දක්වා යාම සඳහා දුම්රියට ගොඩ වීමට අපි ලහි ලහියේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත ගිය අතර, කොළඹ සිට නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියෙන් අඩු කාලයකින් මහනුවරට ළඟා වීමට හැකි විය.
මේ දිනවල විශාල සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර, එදින අප ගමන් කළ දුම්රියේ ද සැලකිය යුතු විදේශීය සංචාරකයින් පිරිසක් ගමන් කළ හ.
බලන, කඩුගන්නාව වැනි සුන්දර කඳුකර දර්ශන පසුකරමින් ඉදිරියට දුම්රිය ඉදිරියට ඇදී ගියේ ය.
දුම්රිය මහනුවරට ළඟා වූ පසු කඩිගුලක් ඇවිස්සුණා සේ ඒ මේ අත යන මගින් අතරින් තෙරපෙමින් දුම්රිය ස්ථානයෙන් පිට වූ අප දෙදෙනා ත්‍රීරෝද රථයකින් Pekoe Trail පළමු අදියර ආරම්භ වන ස්ථානයට ගමන් කළෙමු.
ශ්‍රී ලංකාවේ තේ කෞතුකාගාරය පිහිටා ඇති ස්ථානයෙන් එම අදියර ආරම්භ වේ.
තේ සමග ලබා ගත් නව ආරම්භය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මේ ගමනේ සම්පුර්ණ දුර පුරා ම තේ කර්මාන්තයේ පිය සටහන් නැරඹීමේ අවස්ථාව ඔබට තිබේ.
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ අක් මුල් සොයා යන්නෙකුට මෙන් ම ඒ පිළිබඳව අවබෝධයක් නොමැති අයෙකුට වුව ද ශ්‍රී ලංකාවට අනන්‍ය වූ තේ කර්මාන්තයේ සුන්දර නමුත් ඇතැම් විට අසුන්දර පැති ද හමු වේ.
ගමන ආරම්භ කිරීමට ප්‍රථම ආරම්භක ස්ථානයේ ඇති ශ්‍රී ලංකා තේ කෞතුකාගාරය නැරඹීමට අප තීරණය කලෙන්, කෞතුකාගාරයේ ප්‍රවේශපත්‍රයක් මිලට ගෙන එම කෞතුකාගාරයට අපි පිවිසුණෙමු.
මහල් කිහිපයකින් යුතු පැරණි තේ කර්මාන්තශාලාවක් මෙලෙස කෞතුකාගාරය ලෙස සකසා තිබුණි.
ශ්‍රී ලංකාවට තේ වගාව හඳුන්වා දුන් ජේම්ස් ටේලර්ගේ මතක සටහන් ඇතුළු තේ කර්මාන්තයට වැදගත් බොහෝ මතක සටහන් එහි දී දැකගත හැකි විය.
නරඹන්නන් හට තේ නිෂ්පාදන ක්‍රියාවලිය පැහැදිලි කිරීම සඳහා තේ කර්මාන්තශාලාවක ආකෘතියක් තිබූ අතර, එම ක්‍රියාවලිය සහ කෞතුකාගාරයේ අනෙකුත් දේ විස්තර කර දීමට ප්‍රසන්න සිනහවකින් යුතු එහි සුහදශීලී කාර්යමණ්ඩලය සැදී පැහැදී සිටිති.
ඉහළම මහලේ ඔබට තේ රස විඳීමේ අවස්ථාව හිමි අතර, ඔබ මිලදී ගන්නා ප්‍රවේශ පත්‍රයට ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික කළු තේ කෝප්පයක රස විඳීම ද ඇතුළත් ය.
ඔබට වෙනත් තේ වර්ගයක් රස විඳීමට අවශ්‍ය නම් මුදල් ගෙවා එම සේවාව ලබා ගත හැකි ය.
එදින අප තෝරා ගත්තේ අපනයනය කරන මිල අධික තේ වර්ග දෙකක් වන Golden Tips සහ Silver Tips වර්ග දෙකයි.
කහට අධික තේ පානය කර පුරුදු අප හට එය තරමක් ආගන්තුක රසක් විය.

සුන්දර කඳුකර දර්ශනයක් නරඹමින් තේ පානය කර අවසන් වූ පසු, Pekoe Trail ජංගම දුරකථන යෙදවුම ඔස්සේ සිතියමේ ආරම්භක ස්ථානයේ සිට අපි ගමන් ආරම්භ කළෙමු.

සුන්දර කඳුකර දර්ශනයක් නරඹමින් තේ පානය කර අවසන් වූ පසු, Pekoe Trail ජංගම දුරකථන යෙදවුම ඔස්සේ සිතියමේ ආරම්භක ස්ථානයේ සිට අපි ගමන් ආරම්භ කළෙමු.
ඒ වන විට අප ගමන් කරමින් සිටියේ තරමක් බෑවුම් සහිත මාර්ගයකයි.
අතරින් පතර ගස්වල බඹර වද ද තිබූ අතර, අපි ඒවා පසුකරමින් ශබ්ද නොනැගෙන සේ ගමන් කළ අතර, අතරින් පතර ඇසුණු ආගන්තුක හඬක් මා තුළ කුතුහලයක් ඇති කළේ ය.
මෙම ගමනේ දී බෑවුම්, තැනිතලා, ජනාවාස සහිත ප්‍රදේශ ආදී විවිධ භූගෝලීය වෙනස්කම් පසුකරමින් යාමට තිබේ.
වාහන විශාල සංඛ්‍යාවක් නවතා තිබූ ස්ථානයක් අප පසු කරමින් සිටි අතර එම ස්ථානයේ සුදු පැහැ ඇඳුම් ඇඳගත් බොහෝ දෙනෙක් ද සිටිය හ.
ඒ පසුගිය කාලයේ හන්තාන කඳුකර ප්‍රදේශය එළි පෙහෙළි කරමින් ඉදි කළ, කඳු මුදුන්වල සිදු කරන ආගමික ඉදි කිරීම් සම්බන්ධයෙන් සමාජයේ විවාදයකට තුඩු දුන් විහාරස්ථානයක් බව අපට අවබෝධ විය.
එම ස්ථානය පසු කර ගිය අපට කුඩා තේ කඩයක් හමු වූ අතර, එයින් රසවත් පොල් රොටි සමග නැවතත් තේ කෝප්පයක රස විඳීමේ අවස්ථාව හිමි විය.
මෙම ගමන පුරාවටම ඔබට මෙවැනි ආකාරයේ එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව විසින් තැනින් තැන පවත්වාගෙන යන කුඩා ආහාර වෙළඳසැල්වලින් ප්‍රණීත ආහාර රසවිඳීමේ අවස්ථාව ද හිමි ය.
ආරම්භක ස්ථානයේ පටන් කිලෝමීටර් 4-5ක් පමණ ගමන් කළ පසුත් ස්වභාවධර්මයේ හඬ පරදා කඳුමුදුනේ ඉදි කර තිබූ පන්සලේ ඝණ්ටාර නාදය රැව් පිළිරැව් දෙමින් ඇසුණි.
කඳු නගින්නන් අතර ප්‍රසිද්ධ 'කටුසු කොන්ද' කඳුවැටිය ආසන්නයෙන් අප ගමන් කළ අතර, අප සිටියේ ඉහළ ස්ථානයක වූ නිසා වටපිටාව ඉතා සුන්දරව දිස් විය.

පළමු අදියරේ අවසානය
තරමක් දුර ගමන් කරන විට වර්ෂාව පතිත වූයෙන් අපි වහාම වැහිකබා ඇඳ දිගටම ගමන් කළෙමු.
අවසාන භාගයේ දී ඔබ ගමන් කරනු ඇත්තේ ජනාවාස පරිසරයකින් වන අතර, ඒ වන විට අප පළමු අදියරේ අවසාන භාගයට පැමිණ සිටියේ ය.
අන්තර්ජාලය හරහා පහසුවෙන් අපට අවම මුදලකට නවාතැන් ගැනීමට හැකි ස්ථානයක් සොයාගත හැකි වූ අතර, එදින වර්ෂාවෙන් චණ්ඩ වූ ගංගාවක් ඊට පහළින් ගල යමින් පැවතිණි.
වර්ෂාව නිසා ගංගාව සම්පුර්ණයෙ ම දුඹුරු පැහැ ගැන් වී තිබුණි.
එහි ජල කඳ ගල් කුළුවල හැපෙමින් වේගයෙන් පහළට ගලා ගියේ ගඟ අසලටවත් යාමට බිය උපදවමිනි.
මෙම ගමනේ දී ඔබ මතක තබා ගත යුතු විශේෂම කාරණයක් වන්නේ ඔබේ ආරක්ෂාව ඔබ විසින් ම සපයා ගත යුතු බව යි.
එම නිසා අනාරක්ෂිත ස්ථානවල දිය නෑමෙන් හෝ ඒවාට බැසීමෙන් වැළකී සිටීම අප මෙම ගමන් පුරා අනුගමනය කළ එක් දෙයක් විය.
අප අවට සියලු පරිසරය නොපෙනෙන තරම් මීදුමකින් වැසි තිබිය දී අප පසු දින අපගේ ගමනේ දෙවන අදියර ආරම්භ කළෙමු.
ආරම්භක ස්ථානයට යාම සඳහා කිලෝමීටර කිහිපයක් යාමට තිබූ නිසා ඒ වන විට මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරියක් අපගේ සහයට පැමිණියේ ය.
ලොරිය පැදවූ තරුණ රියදුරා අප ගලහා නගරය දක්වා නොමිලේම ගෙනගොස් හිතමිතුරු සිනහවකින් ද සංග්‍රහ කර ඔහුගේ ගමන පිටත් විය.
එදින ගමන් කළ යුතුව තිබුණේ ගලහා සිට ලුල්කඳුර දක්වා වුවත් එදින මගේ ගමන මෙම අදියරේ අර්ධයක් දක්වා සීමා විය.

මීදුම් කඳු අතරින් සීත තේ රාජධානියට
පෙර සති අන්තයේ ගමන නිමවා නැවත කොළඹ බලා පැමිණ සිටි මා ඊළඟ සති අන්තයේ දී අලුයම කොළඹින් පිටත් වූයේ උදෑසනින්ම හැටන් නගරයට යාමේ බලාපොරොත්තුවෙන් ය.
මා හැටන් නගරයට ලඟා වන විටත් අතරමග මාර්ගය මීදුමෙන් වැසී තිබූ අතර, හරිත පැහැ තේ වග කළ කඳු සුන්දර ලෙස අතින් දර්ශනය විය.
හැටන් නගරයට සේන්දු වූ වහාම නගරයේ සයිවර් කඩයකින් රසවත් නිර්මාංශික ආහාර වේලක් ලබා ගැනීමට හැකි විය.
හැටන් සිට කොටගල දක්වා ගමන් කළ මා යළිත් මාගේ මිතුරා සමග එක්ව මධ්‍යම කඳුකරයේ හරිත තේ රාජධානියේ තතු සොයායෑමේ ගමන ආරම්භ කළෙමි.
අපට මීට පෙර හමු වූ තේ වග කල භූමි දර්ශනයන්ට වඩා කොටගල අවට තේ වතුවල දර්ශනය ඉතා සුන්දර වූ අතර, ඒවා එක පෙළට ඉතා සුන්දරව මවන දර්ශනය නිල් අහසේ වර්ණයත් සමග මැවුයේ සුන්දර චිත්‍රයකි.
අප මෙම තේ වතු දිගේ දිගටම ගමන් ගන්නා විට බුලත් සපා රත් වූ දෙතොලින් අප සමග සිනාසෙමින් දළු නෙලීමට යන කාන්තාවන් බොහෝ දෙනෙකු හමු විය.
වතුකරය තුළ දැන් දැන් අධ්‍යාපනයේ මුල් විහිදී ඇතැයි මට සිතුණේ අතරමග දී අප විදේශිකයන් යයි සිතා ඉංග්‍රීසි භාෂාවෙන් අප සමග දොඩමලු වෙමින් පයින් ම කිලෝමීටර කිහිපයක් උපකාරක පන්ති වෙත ගමන් කරන දරුවන් රැසක් මුණ ගැසුණු බැවින් ය.

ශාන්ත ක්ලෙයාර් පසුකරමින් ඉදිරියට
බැලූ බැලූ අත හරිත කොළ පැහැයෙන් දිස්වන තේ වගා කළ කඳු අතරින් ගමන් කරන අතරවාරයේ දී එම කඳු අතරින් වැටි තිබූ දුම්රිය මාර්ගවල ගමන් ගන්නා දුම්රිය කිහිපයක් ම දැකගැනීමට ද හැකි විය.
එකම දුම්රිය කඳු කිහිපයක් පසු කරමින් විවිධ පැතිවලින් දර්ශනය වන ආකාරය ද අපි බලා සිටියෙමු.
දුම්රිය ඉබි ගමනින් කඳු අතරින් කැරකෙමින් ගමන් කළේ ය.
මද දුරක් යනවිට මාර්ගයේ වම් පසින් දිස්වූයේ ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ලයි.
අප ඒ වන විට ශාන්ත ක්ලෙයාර් වතු යායට ඇතුළු වී සිටි අතර ගමන් මහන්සිය නිවාගැනීම සඳහා සුළු විවේකයක් ගැනීමට අපි එහි නතර වූයෙමු.
කොළ පැහැ කඳුවල වර්ණයට මුසුවෙමින් සුදු පැහැති දිය ඇල්ල සුන්දර ව පහළට වැටෙමින් තිබිණි.
දිය ඇල්ල පසු කරමින් ගමන් කළ අපට හමුවුයේ ශාන්ත ක්ලෙයාර් වතුයායේ තේ කර්මාන්ත ශාලාවයි.
එය ඉතාමත් පාළු ස්වභාවයකින් දිස් වූ අතර, එය දුටු මා හට සිහිවූයේ ත්‍රාසජනක චිත්‍රපටයක දර්ශනයකි.
එදින ගමනේ අවසාන භාගයට ළඟා වන විට අප 'සෝඩා බොට්ල් කර්ව්' ලෙස හඳුන්වන දුම්රිය වංගුවක් දැකගැනීමට හැකිවූ අතර දෛවෝපගත ලෙස එම ස්ථානයෙන් ඒ මොහොතේම දුම්රියක් ගමන් කළ නිසා එම වංගුව හරහා දුම්රිය ගමන් කරන ආකාරය දැකගැනීමට හැකි විය.

හුදෙකලා විල සහ අවසානය
මධ්‍යම කඳුකරය වටා පයින් ගමන් කරනා මෙම චාරිකාවේ මාගේ අවසන් දිනය සනිටුහන් වූයේ කොටගල සිට නෝර්වුඩ් දක්වා ගමන් කිරීමෙන් ය.
පෙරදිනයේ වෙහෙස නොතකා උදෑසනින් ම අවදි වී අප කොටගල සිට නෝර්වුඩ් දක්වා ගමන ආරම්භ කළ අතර, උදෑසන කෝවිල්වල ඝාණ්ඨාර නාදය හා හඳුන්කුරු සුවඳ උදෑසන සීතලට නැවුම් බවක් එක් කළේ ය.
එදින අප කිලෝමීටර් කිහිපයක් ගමන් කළේ වතුවලට අයත් කැලෑ මැදින් ය.
එම අඩි පාරවල්වල ද වතු කම්කරුවන් සිය දෛනික අවශ්‍යතා වල කිලෝමීටර් ගණන් ගමන් කරනා ආකාරය දැකගත හැකි වූ අතර, අප සංචාරය කිරීමේ අරමුණින් යන මෙවැනි දුෂ්කර ගමන් ඔවුන්ගේ දෛනික ජීවිතය නොවන්නේදැයි මා හට සිතුණි.
ගමන සම්පුර්ණයෙන් ම පාහේ වැටි තිබුණේ වනාන්තරය මැදින් ය.
කිලෝමීටර් 10ක් පමණ ගමන් මාර්ගයේ ගමන් කරන විට දී ඉතාමත් හුදෙකලා, කුඩා ජලාශයක් හමුවිය.
එහි කොන්ක්‍රීට් වේල්ලක් ඉදිකර තිබූ අතර බැලු බැල්මට ම එය තරමක් ගැඹුරු බව පෙනිණි.
එම ප්‍රදේශයේ නිහැඬියාව, අඳුරු ස්වභාවය, ජලාශය සහ එයින් එපිට පෙනන වනාන්තරයේ දර්ශනය ඉතාමත් වෙනස් හැඟීමක් ගෙන ආවේ ය.
වෙහෙස නිවා ගැනීම සඳහා එම ස්ථානයේ හුදෙකලාව රස විඳිමින් සිට ගමන් ආරම්භ කළ අපට අවස්ථා කිහිපයකදී ම ගුවන් යානා හඬක් ඇසිණි.
එම ශබ්දය පිළිබඳව කුතුහලයෙන් ඉදිරියට ගමන් කළ අපට දිස් වූයේ කාසල් රී ජලාශයට ගොඩ බස්වා නැවත ඉහළට නැගෙන සැහැල්ලු ගුවන් යානා ය.
කාසල් රී ජලාශය දර්ශනය නරඹමින් අපි මධ්‍යම කඳුකරය වටා පයින් ගමන් කළ අපගේ චාරිකාව අවසන් කළේ සම්පුර්ණ කිරීමට නොහැකි වූ තවත් සුන්දර සංචාරක ගමනාන්ත රැසක් ඇති අදියරයන් මෙම වර්ෂය තුළ සම්පුර්ණ කිරීමේ බලාපොරොත්තුවෙන් ය.














