'හෝයියා හෝයියා ඕඩි හෙලෙයි හෙලෙයියා' : ගාලු වැල්ලේ සවසක මා දැලක් අදිමුද?

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුමෙන් පිට වී ගාල්ල දෙසට යනවිට මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විස්තර කර ඇති පරිදි සුදු රේන්දයට ඇල්ලූ කළු පීත්ත පටිය ලෙසින් දිස්වන්නේ ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය යි.
සවස් යාමයේ රන්වන් පාටට දිස් වන්නේ යාබදව පිහිටි මහා සාගරයය.
ඉර බැස යන යාමේ නෙත ගැටෙනා මැවෙන සොඳුරු දසුන අද්විතීයය වන අතර එය විඳගත යුතුම අපූර්වත්වයකි.
ඒ සමගම විශාල පිරිසක් වෙරළේ පොදි බැඳගෙන සිටින අයුරු දකින්නට ලැබුණි.
එය කුමක්දැයි බැලීම සඳහා ගියවිට අපිට දකින්නට ලැබුණේ විශාල මා දැලක් අදින අයුරුය.එය ශ්‍රී ලාංකාවේ තවත් එක් සාම්ප්‍රදායික ධීවර පන්න ක්‍රමයකි.

වෙරළේ සිට කිලෝමීටර් එකහමාරක් පමණ ඈත මුහුදේ සිට මසුන් අල්ලන මාදැල් ඇදීම මෙරට සාම්ප්‍රදායික ධීවර පන්න ක්‍රමයකි.

"හෝයියා හෝයියා ඕඩි හෙලෙයි හෙලෙයියා"
මුහුද සමග පොරබදන පිරිසට අමතරව මාදැලට අසුවන මාළු මිලදී ගැනීමට පැමිණි පිරිසද "හෝයියා හෝයියා ඕඩි හෙලෙයි හෙලෙයියා" කියා මා දෑල අදින අයුරු දුටු විට අපද පාවහන් ගලවමින් එම පිරිස සමග මාදැල් අදින්නට වුනෙමු.එය සුන්දර අත්දැකීමකි.
රසබර සිදුවීම්, දුක්බර සිදුවීම් මෙන්ම භයානක සිදුවීම් පිළිබඳවද ඔවුන්ගේ අත්දැකීම් රැසකි.

කිලෝමීටර් එක හමාරක් පමණ දුරින් වු මුහුදේ එළා අවසන් වූ මාදැලේ දෙකෙළවර කඹ බෙදුණු පිරිස මෙසේ දැල ගොඩබිමට අදිනු ලබයි.
ඔවුන්ගේ භාෂාවෙන් මේ දෙකෙළවර හැඳින්වෙන්නේ යටමන්ද සහ අනියමන්ද ලෙසිනි.
දැලට කොටුවන මාළු අන්තිමේ නවතින්නේ ඇස් පුංචි මඩියේය. ඒ දැල්වලින් අල්ලන්නේ හාල්මැස්සෝ, හුරැල්ලෝ, මොරලි, බෝල්ලෝ, කුම්බලාවෝ, පියාමස්සෝ ආදී මාළුය.

මාදැලට පොඩි මාළු හසුවීම සාමාන්‍යයෙන් සිදුවුවද පොඩි මාළු අයින් හඹා එන ලොකු මාළුන් අයිනක්ද හසුවීමට ඉඩ ඇත. එසේ වුවහොත් කාගේත් සතුට දෙගුණ තෙගුණ වෙයි.
කෙසේවෙතත් ලාභ පාඩු සිදුවන්නේ වාසනාව අවාසනාව අනුව සේම පාරම්පරික ශිල්පීය දක්ෂතාවයද හේතුවන බව මා දැල් කර්මාන්තයේදී සිටින ධීවරයන්ගේ අදහසයි.
වැල්ලේ මාදැල් දමන බෝට්ටු කිහිපයක් ඇත. එක් ධීවර බෝට්ටුවකට දිනක් බැගින් මා දැල් එලීම සඳහා දෙවට වැල්ලේ ධීවරයන් දින වෙන් කරගෙන ඇත.
ඒ අනුව එදිනට අවස්ථාව හිමි මා දැල් හිමිකරුගේ නියමයෙන් මරක්‌කලහේගේ (මා දෑල වට කරන්නා) මා දැල සූදානම් කරගෙන පිරිස සමග ලෙල්ලමේ වෙරළේ සිට කිලෝමීටර් එක හමාරක් පමණ දුරට ගොස් මා දෑල එළා පැමිණීමෙන් පැය කිහිපයකට පසු ගොඩබිමේ සිට ධීවර පිරිස මා දෑල ඇදීමට පටන් ගනියි.
දැල කෙමෙන් කෙමෙන් ගොඩබිමට ළඟා වෙද්දී ජනතාව වෙරළට ඒකරාශී වෙති.

අලුත් මාළු වෙන්දේසිය
වෙරළට ඇදුනු මාදැලේ පැටලුණු මාළු හෙමින් හෙමින් අයින් කර ප්ලාස්ටික් පෙට්ටියකට දමා (ඉස්සර පන් වලින් වියන ලද කූඩවලට මාළු දමයි) එය මුදල් කර ගැනීම සඳහා මාදැලට අසුවී ඇති මාළු රුපියල් 500 සහ 1000 මුදලකට වෙන්දේසිය ආරම්භ විය.
මාළු අලෙවි කිරීමද මාදැලේ හිමිකරැට අවශ්‍ය පරිදි කළ නොහැකිය. ඒ සඳහා මාදැල වට කරන්නා නැතහොත් මරක්‌කලහේගේ ඇතුළු පිරිසගේ එකඟත්වය ලබාගත යුතුය. ඒ සියලුදෙනාගේ එකඟත්වයෙන් මාළු අලෙවිය සිදුකරන්නේ මාදැලේ හිමිකරුවාය. මාළු වෙළෙන්දෝද ගැනුම්කරුවෝද එකම පොරයකි.

පණපිටින්ම මාළු ගැනීමට හැකි නිසා මාදැලේ මාළු වලට හොඳ ඉල්ලුමක් ඇත. මාදැලේ මඩියට හසුවන හාල්මැස්‌සෝ, තොණ්ඩයා, බෝල්ලෝ, පැන්නෝ, කාරල්ලෝ වැනි මාළු දැලෙන් බේරා සුදු වැල්ලේ ප්ලාස්ටික් පෙට්ටිවල ගොඩගැසීම සිදු කෙරේ.
මා දැල්කරුවෝ මත්ස්‍ය අස්‌වැන්න සරු දිනවල ලොකු ලාභයක් ලබති. සාමාන්‍යයෙන් මා දැලකට මාළු කිලෝ 200 ත් 300 ත් අතර හසුවන බවත් සමහර දවස්වල කිලෝ 3000 සිට 5000 දක්වා ප්‍රමාණයකට හසුවන බවත් ධීවරයෝ පවසයි. නමුත් මෑතකදී එවැනි ප්‍රමාණයන්වල මාළු හසු නොවූ බවද ඔවුහු පැවසූහ.
සමහර දිනවලට මාළු හසු වන්නේ නැති අවස්ථා එමට බවත් ඉකුත් දිනවලද එවන් දවස් තිබු බවත් ඔවුන් පැවසීය.
මාදැලේ සියලු මාළු විකිණීමෙන් පසු ධීවර කර්මාන්තයේ සුපුරුදු පංගු බේරුවට ලාභ බෙදෙයි.

ආදායම් බෙදී යාමේ ක්‍රමය
මාදැලේ ඇත්තේ අපූරු ක්‍රමයකි. ලැබෙන ආදායමෙන් සියයට තිහක් පමණ බෙදීයන්නේ ගැනියන්ටය. (ගැනියන් යනුවෙන් හඳුන්වන්නේ දැල් ඇදීමට සහාය වූ පිරිසය) ඉතිරි කොටස පහට බෙදන අතර ඉන් පහෙන් දෙකක් මාදැලේ අයිතිකරු සතුවේ. ඉතිරි පහෙන් තුන මරක්‌කලහේ ඇතුළු කල්ලිකරුවන් නමින් හඳුන්වන පිරිස අතර බෙදී යයි.
මරක්කලහේගේ නායකත්වයෙන් දැල මෙහෙය වූ පිරිස කල්ලිකරුවන් ලෙසින් හැඳින්වේ. මාළු වැඩියෙන් අසු වන දිනවලදී පිටතින් බලන්නට, මාළු මිලදි ගැනිමට පැමිණ මා දැල ඇදීමට සහය වූ පිරිසට ද මාළු පංගුවක් දෙන බව ධීවරයින් පැවසුවේය.

අමතක නොවන අත්දැකීම්
දැනට වසර කිහිපයකට පමණ පෙර මුහුදට පැමිණි අඩි දහයක පමණ දිගින් යුත් විශාල කිඹුලෙකු මා දැලට හසු වී ගොඩබිමට ඇදීමත් සමග දැල කඩාගෙන එහි සිටි ධීවරයෙකුටද තුවාල සිදුකරමින් මහා කලබලගෑනියක් සිදුවූ බවත් ඒ සමගම අවට සිටි පිරිසද හිස් ලූ ලූ අත දිව ගිය බවත් වන ජීවි දෙපාර්තමේන්තුව, නාවික හමුදාව සහ පොලිසියේ සහය ඇතිව ධීවරයන් විසින් කිඹුලා මෙල්ල කර අල්ලා වනජීවි අංශ වෙත භාර දුන් බවත් ධීවරයෝ පැවසූහ.
ඒ වගේම මා දෑල් ඇදිමෙදී වූ තවත් සුන්දර සිදුවීමක් පිළිබඳවද ධීවරයන් විසින් සිය මතකය අවදි කළේය.
ඩොල්ෆින් රෑනකින් තනිවුණු විශාල ඩොල්ෆින් සත්වයෙකු මා දැලට හසුව ගොඩබිමට පැමිණ සිටියදී නිරුපද්‍රිතව එම ඩොල්ෆින් මත්ස්‍යයා රැගෙන ගැඹුරු මුහුදට ගොස් දැමීමටද ඔවුන් කටයුතු කළ බව ධීවරයින් පැවසීය.

මා දැල් ධීවර කර්මාන්තය සදහා බෝට්ටු සහ විශාල මා දැලක් හිමි ධීවර මුදලාලි කෙනෙකු විසින් මෙහෙයවනු ලබන අතර ඉහත ක්‍රමය අනුව ලාභය බෙදී ගියත් මාළු නොමැති දිනවලදී පාඩුව ද එලෙසම විඳගත යුතුය.
දැනට මෙරට මා දැල් කර්මාන්තකරුවන් 400ක් පමණ වෙරළ තීරයේ සිටින අතර ඔවුන් යටතේ ධීවරයන් 18, 000ක් පමණ එම වෘත්තියේ නියැලී සිටින බවත් එය ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය බවත් සංඛ්‍යා දත්ත අනාවරණය කරයි.
මෙරට ඉපැරැණිම පන්න ක්‍රමයක් වන මාදැල් පන්න ක්‍රමය වර්තමානයේ අභාවයට යමින් ඇති බව දැන් පැහැදිලි වෙමින් තිබේ.
දැනට දකුණු පළාතේ සීමිත ස්ථාන කීපයක පමණක් මාදැල් එළනු ලබන අතර බහුතරයක් ධීවරයන් නවීන ක්‍රමවලට යොමු වී සිය ධීවර කර්මාන්තය කරගෙන යනු ලබයි.
නමුත් මෙරට සාම්ප්‍රදායික මාදැල් කර්මාන්තයේ යෙදෙන පිරිසගේ පැවැත්ම මෙන්ම සංචාරක ව්‍යාපාරයට එය යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම වටනේය.
ඡායාරූප සහ සංචාරක සටහන : ෆර්හාන් නිසාම්දින්












