එදා වහල් දුපතක් වූ බත්තලංගුණ්ඩුව බලන්න යමු ද?

බත්තලංගුණ්ඩුව වයඹ දිග මුහුදු තීරයේ පිහිටි රමණිය දුපතකි.කුඩා දුපත් දාහහතරකින් වටවු බත්තලංගුණ්ඩුව දුපත මේ දුපත් සමුහයේ විශාලතම දුපත වන අතර එහි වපසරිය හෙක්ටයාර් 145 කි.
මෙහි වෙසෙන ජනගහනය කලින් කලට වෙනස් වන අතර අද වන විට පවුල් 600 ක් පමණ එහි ජිවත් වෙති. මෙහි වෙසෙන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාළු ඇල්ලීම ය. ඊට අමතරව අල්ලන මාළු වේලීම ජයටම සිදු කරයි. අපි කල්පිටි කරවල කියා බොහෝවිට හදුන්වන්නේ මේ බත්තලංගුණ්ඩුව දුපතේ නිෂ්පාදනය කරන කරවල ය.

මාළු ඇල්ලීම මේ දුපතේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වුවත් දැන් දැන් මෙහි වෙසෙන ජනතාවගෙන් සුළු පිරිසක් සංචාරක කර්මාන්තයට ද නැඹුරුවක් පෙන්නුම් කරයි.

ඉතිහාසය
බත්තලංගුණ්ඩුව දුපත මුලින් හඳුන්වා ඇත්තේ වහල් දුපත නමිනි. ඊට හේතුව මීට වසර සියයකට එපිටින් මේ දුපතේ පැවති තත්ත්වයයි.මෙහි තිබු මාදැල්වල සේවය සදහා බලහත්කාරයෙන් දරුවන් රැගෙන ආ බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි.මේ දරුවන් යොදා ගෙන ඇත්තේ මාදැල් වලින් අල්ලන මසුන් කරවල කිරීම සඳහා වන අතර එය වහල් සේවයක් සේ සලකා තිබේ.
අද මෙන් තාක්ෂණයෙන් පිරිපුන් ධීවර යාත්‍රා එදා නොතිබූ හෙයින් දුපතට පැමිණි අයෙකුට නැවත යාමට හැකි වී ඇත්තේ දුපතේ සිටින පුද්ගලයෙකුගේම අධාරයෙන්ම පමණි.

කරවල වේලීම සදහා ඒ දිනවල රටේ ප්‍රදේශ රැසකින් දරුවන් රැගෙන පැමිණ ඇති බව කියා සිටියේ බත්තලංගුණ්ඩුව කාර්දුව වේලක්කන්නි මාතා ග්‍රාමීය ධිවර සංවිධානයේ සභාපති ඇන්ටනි ෆොන්සේකා ය. "මේ දුපතට මුලින්ම කිව්වේ වහල් දුපත කියාලා ඊට හේතුව තමයි ලංකාවේ ප්‍රදේශ කීපයකින් ළමයි අල්ලාගෙන ඇවිල්ලා මේ දුපතේ තියාගෙන බලහත්කාරයෙන් වැඩ ගැනීම නිසා.ඒ කියන්නේ කරවල වේලන්න යොදා ගැනීම.මගේ සීයා ඒ කියන්නේ චාල්ස් රුද්‍රිගු ඇතුළු පිරිසක් තමයි මිට වසර අසූවකට පමණ පෙර මීගමුවේ ඉදලා ඇවිල්ලා මේ දුපතේ ඉදලා ධීවර රැකියාව කරන්න කටයුතු කරලා තියෙන්නේ.ඊට පස්සේ මගේ පියාත් මේ දුපතේ රැකියාව කළා.මම දැන් අවුරුදු 26 ක ඉදලා මේ දුපතේ පදිංචි වෙලාම රැකියාව කරනවා." ඇන්ටනි මේ වන විට මාළු මිලදී ගැනීම හා සංචාරක කර්මාන්තයේ නිරත වෙයි.
බත්තලංගුණ්ඩුවට යන්නේ කොහොමද ?
ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය අර්ධද්වීපයේ කෙළවරක මුහුදින් හා කලපුවෙන් වටව මේ දුපත පිහිටා තිබේ.
කොළඹ සිට කල්පිටියට සාමාන්‍ය වාහනයකින් පැමිණීමට පැය හතරක පමණ කාලයක් ගතවන අතර කල්පිටියේ සිට කුඩා බෝට්ටුවකින් දුපතට ළඟා වීමට ගත වන්නේ පැය දෙකක් වැනි කාලයකි.
එහෙත් දුපතට යාමට යොදවා ඇති නිත්‍යානුකූල මගී ප්‍රවාහන බෝට්ටුවෙන් ගියහොත් පැය හතරකට ආසන්න කාලයක් ගත වෙයි . මේ බෝට්ටුව ඉරිදා දිනවල හැර දිනපතා පෙරවරු 8ට කල්පිටිය ජැටියෙන් ගමන් ආරම්භ කරන අතර නැවත එදිනම පස්වරු 2.30 ට පමණ බත්තලංගුණ්ඩුව දුපතේ සිට කල්පිටිය බලා ගමන් ආරම්භ කරයි.
මේ මගී ප්‍රවාහන බෝට්ටුව එක් පුද්ගලයෙකුගෙන් එක් ගමන් වාරයක් සඳහා රුපියල් එක් දහස් දෙසිය පනහක් අය කරයි.
‘මාර්ක් බෝට්ටුව’ ලෙස ප්‍රසිද්ධ මේ බෝට්ටුව මගී ප්‍රවාහනයට අමතරව මේ දුපතේ සියලු දෙනාගේ සියලු ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් දායකත්වය සපයනු ලබයි.

බෝට්ටු ගමන
කුඩා බෝට්ටුවකින් දුපතට යාමට රුපියල් හතලිස් දහසකට වැඩි මුදලක් වැය වන හෙයින් අපේ ගමනට තෝරා ගත්තේද ‘මාර්ක් බෝට්ටවයි.’
පෙරවරු 07 .30 පමණ වන විට අප මෙහි ළඟා වන විට විස්සකට ආසන්න පිරිසක් බෝට්ටුව තුළ සිටියහ." අපි අටට තමයි පිටත් වෙන්නේ " මා කළ විමසීමේදී බෝට්ටුවේ නියමුවා පැවසීය.
ඔහුගේ ප්‍රකාශය නිවැරදි වූ අතර හරියටම අටට බෝට්ටුව දුපත කරා ගමන් ආරම්භ කරන ලදී . ඒ වන විට බෝට්ටුවේ තිහකට ආසන්න පිරිසක් සිටි අතර බොහෝ දෙනා බෝට්ටුව තුළ වැතිර නිදා සිටින අයුරු දකින්න ලැබිණි .

බෝට්ටුව ගමන් ආරම්භ කර පැයක් පමණ ගිය තැන බෝට්ටුවේ සිටි අයෙකු එකවර කලපු ජලය දෙසට දෑස් යොමා "අන්න බලන්න ඩොල්පින්" මගේ අතේ තිබු කැමරාව ඒ දෙස යොමු විණි . සැනකින් දිය මතු පිටට පැමිණ සැනකින් දිය යටට යන මේ අපුරු ඩොල්ෆින් දෙස බෝට්ටුවේ සිටි බහුතරයකගේ නෙත් යොමු වී තිබිණි.
"මේ බෝට්ටුවේ ගියාම ඔය වගේ දෙන්නෙක් තුන් දෙනෙක් තමයි බලන්න පුළුවන් හැබැයි පොඩි බෝට්ටුවකින් ගියා නම් ඩොල්ෆින්ලා දාස් ගණනක් බලන්න පුළුවන්." බෝට්ටුවේ ගමන් කළ මේරි නෝනා පැවසුවාය." ඩොල්ෆින්ලා විතරක්ද තල්මසුන් බලන්නත් පුළුවන්.ගිය සතියේ තල්මස්සු දහයකට වැඩිය ඉදලා තියනවා " එවර හඬ අවදි කලේ කතරිනා ප්‍රනාන්දු ය.
මේ දෙදෙනාම බත්තලංගුණ්ඩුවට යන්නේ එතැන සිට වෙනත් ස්ථානයකට යාමට ය. ඔවුන් දෙදෙනා ජීවත් වන්නේ විල්පත්තුව මායිමේ පිහිටි "පුක්කුලම "නමැති ගම්මානයේයි.
කල්පිටියේ සිට පුක්කුලම ගම්මානයට යාමට විශාල ඉන්ධන ප්‍රමාණයක් වැය වන බැවින් දැන් දැන් මේ ගම්මාන වල ජීවත් වන ජනතාව ‘මාර්ක් බෝට්ටුවේ’ පිහිට පතන අතර පසුව එතැන් සිට කුඩා බෝට්ටුවකින් තම ගම්මාන කරා යති.

මේ බෝට්ටුවේ පැය දෙකක් පමණ ගමන් කළ තැන බෝට්ටුවේ සිටි බහුතරයක් තමන් රැගෙන පැමිණි අහාර ගැනීම ආරම්භ කළහ.
ඉන් බහුතරයක් බත් අහාරයට ගත් අතර සුළු පිරිසක් පාන් ,බනිස් ,ඉදි ආප්ප වැනි දෑ ආහාරයට ගන්නා ලදී.
බෝට්ටුවේ ගමන් කළ පැය කීපයේදී ඔවුන් සමග ලොකු මිත්‍රත්වයක් ගොඩ නගා ගැනීමට අපිට හැකිවිය.
දහවල් 12 පමණ වනවිට ‘මාරක් බෝට්ටුව’ දුපතට සේන්දු වූ අතර අපි බෝට්ටුවේ සිටි සියලු දෙනාගෙන් සමුගත්තේ ඔවුන්ගේ නිවෙස් වෙත පැමිණෙන බවට පොරොන්දුවක්ද දෙමිනි.

නවාතැන
අපව පිළිගැනීමට පැමිණ සිටියේ ඇන්ටනි ෆොන්සේකා ඇතුළු පිරිසකි. මිට වසර විස්සකට පමණ පෙර මා මුල් වතාවට මේ දුපතට පැමිණෙන විට දැක ගන්නට ලැබුණේ කුඩා ධීවර වාඩිවුවත් දැන් බොහෝ තැන්වල ස්ථිර නිවාස ඉදි වී තිබෙනු දක්නට ලැබිණි. අප මුලින්ම ගියේ මේ දුපතේ ඉදි වූ පළමු ස්ථිර හෝටලයට ය. ඇන්ටනි ෆොන්සේකා විසින් ඉදිකර තිබු මේ හෝටලය මහල් දෙකට ඉදිකර තිබු අතර පහළ අහාර ගැනීම සඳහා වෙන්කර තිබු අතර ඉහළ මහල කාමර දෙකක් සඳහා වෙන් කර තිබුණි.

අපි දුපතට පැමිණ පැයක් පමණ ගතවූ අවස්ථාවේ දිවා අහාරය සඳහා අපිට ආරාධනා ලැබිණි."මෙහෙ ඉතින් වැඩි පුර තියෙන්නේ මුහුදු ආහාර තමයි ". ඇන්ටනිගේ සේවකයෙකු පැවසීය.
ඔහුගේ කතාව නිවැරදි වූ අතර බත් සමග මාළු වර්ග තුනක් ඉස්සා, කකුළුවා හා දැල්ලන් හොද්දක් දිවා ආහාරයට එක් කර තිබිණි.
දිවා අහාරයෙන් පසු පැයක පමණ කාලයක විවේකයෙන් පසු අපි දුපතේ සංචාරය ආරම්භ කළෙමු.

සංචාරය
“මේ දුපතේ බලන්න මොනවාද තියෙන්නේ ?” මගේ ප්‍රශ්නය යොමු වුයේ ඇන්ටනි වෙතය. " මොනවාද බලන්න නැත්තේ කියලා තමයි අහන්න ඕනෑ , ගොඩක් දේවල් තියනවා මේ දුපතේ වගේම මේ අවට ."
ඇන්ටනි මුලින්ම පෙන්වුයේ විජය කුමාරයා ලංකාවට ගොඩ බසින ලදැයි කියන ස්ථානයයි.
"අර දුරින් පෙන්නේ එතනට තමයි විජය කුමාරයා ගොඩ බැහැලා තියෙන්නේ.එතන තාමත් තියෙන්නේ රතු පස තමයි. ඊට මෙහායින් තියෙන්නේ පුක්කුලම , පලුගහතුරේ කියන ගම්මාන. අර ඊට මෙහායින් පෙන්නේ විල්පත්තුව මෙතන ඉදන් පැයකට අඩු කාලයකින් මේ ස්ථාන වලට යන්න පුළුවන්" ඇන්ටනි අපිට පෙන්වුයේ එක පැත්තක් පමණි. තවත් පැති කීපයක් ඇන්ටනි ට කීමට ඉතිරිව තිබිණි.
"දවස් දෙකක් විතර ඉන්නවා නම මේ සියල්ල බලන්න පුළුවන් දවසකින් මේ ඔක්කොම බලන්න අමාරුයි.”ඇන්ටනි කීවේය.

"ලෝකයේ තිබුණු ලස්සනම කොරල් පරයක් තිබුණේ මිට ඉදිරියෙන්.ඒ කියන්නේ ඔය උච්ච්මුනේ දුපතට ඉදිරියෙන්.ඒ වගේම තමයි ලෝකයේ ඩොල්ෆින් ,වේල්ස් (තල්මසුන් ) බලන්න පුළුවන් සුපර් ස්පොට් එකක් විදිහට මේ මුහුදු තීරය හඳුන්වනවා.ඒ කියන්නේ එකවර ඩොල්ෆින් දහාක් විතර ,වේල්ස්ලා සියයක් විතර බලන්න පුළුවන් ලෝකයේ ස්ථාන කීපයක් අතරින් එක් ස්ථානයක් මේකයි. ඒ වගේම තමයි ලංකාවේ තිබෙන එකම ස්ථානය අවුරුද්දේ තුන්සිය හැට පස් දවසෙම සංචාරකයන් පැමිණෙන.මේ මුහුද මේ කලපුව සල්ලි ආකාරයක්. සුළං වැඩි කාලයට ඒ කියන්නේ මුහුද ‘වාරකන්’ කාලයට කයිට් සර්ෆින් වලට සංචාරකයෝ එනවා. මුහුද ‘වළාල’ කාලයට ඒ කියන්නේ සුළං අඩු කාලයට ඩොල්ෆින් බලන්න , වේල්ස් ලා බලන්න සංචාරකයෝ එනවා ."

මේ වන විට බත්තලංගුණ්ඩුව දුපතේ හෝටල් දෙකක් ඇති අතර ඊට අමතරව ඕනෑම ප්‍රමාණයකට ලැගුම් ගැනීමට හැකි පරිදි පහසුකම් වැඩි දියුණු වී තිබීම හේතුවෙන් දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ පැමිණීමේ වැඩි බවක් පෙන්නුම් කරයි .

වලේ නෑම
"මේ දවස් වල මුහුද සැර නැහැ.මුහුදේ නාන්න පුළුවන්.කලපුවේ නාන අයත් ඉන්නවා නැත්නම් වලක් හාරාගෙන නාන්නත් පුළුවන් " ඇන්ටනිගේ කතාවේ අලුත් දෙයක් මට නැත.
මේ දුපතේ ජීවත් වන ජනතාවගේ ප්‍රධාන ජල මුලාශය වන්නේ එදිනෙදා හාරන වලවල් වලින් ලබා ගන්නා ජලයයි . මේ ජලයේ ලවණතාවය අඩු අතර බීමට හා අනෙකුත් කටයුතු සදහා භාවිතා කළ හැකි ය.
බත්තලංගුණ්ඩුවට වර්ෂාව ලැබෙන්නේ මාස කීපයක් පමණි. ඒ දිනවලදී වලවල් වලින් ජලය වැඩිපුර ලබා ගත හැකි වුවත් අනෙක් දිනවලදී එසේ කළ නොහැකිය.
ඒ දිනවලදී මේ ජනතාවට කල්පිටියේ පිහිට පැතීමට සිදුවන අතර ඒ සදහා ලොකු මුදලක් වැය කිරීමටද සිදු වෙයි . "දැනුත් සංචාරකයින්ට දෙන්න ජලය ගේන්නේ කල්පිටියෙන්. ඒ අයට නාන්න ,බොන්න සියලුම දේට ජලය ගේන්නේ කල්පිටියෙන් මේ සඳහා බෝට්ටුවට විශාල මුදලක් දෙන්න අපිට සිදු වෙලා තියනවා." ඇන්ටනි ෆොන්සේකා පැවසීය.
මේ වන විට නාවික හමුදාව මේ දුපතේ ජලය පිරිසිදු කිරීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති අතර ඉන් නාවික හමුදාවේ අවශ්‍යතා සපුරා ගනී.

ලංකාවටම කරවල
බත්තලංගුණ්ඩුව දුපතේ මීට වසර දහයකට පමණ පෙර පවුල් දාහකට වැඩි ප්‍රමාණයක් ජීවත් වී තිබේ.
එහෙත් අද වන විට එම ප්‍රමාණය ක්‍රමක් ක්‍රමයෙන් අඩුවී තිබේ.
ඊට ප්‍රධාන හේතුව මේ දුපතේ ජීවත් වන ජනතාවට අවශ්‍ය මුලික පහසුකම් නොමැති වීමය. ජලය ,විදුලිය , සෞඛ්‍ය, පාසැල ,මාර්ග මේ දුපතේ නොමැති අතර ඒ සියල්ල සපුරා ගැනීම සදහා මේ ජනතාවට කිලෝමීටර් 30ක් පමණ දුර ගෙවා කල්පිටියට යා යුතු අතර මේ හේතුව නිසාම දිනෙන් දින මෙහි වෙසෙන ජනතාව දුපත අත හැර යති.

"අපිට ලංකාවටම කරවල දෙන්න පුළුවන් ආණ්ඩුව කරුණු දෙකයි කරන්න ඕනෑ අපිට බොන්න වතුර ටිකක් දෙන්න. අනෙක් කරණය තහනම් දැල් පන්න යොදා ගෙන මාළු ඇල්ලීම නවත්වන්න කටයුතු කරන්න.”
“ලෝකයේ ලස්සනම කොරල් පරයක් තමයි කල්පිටියේ තිබුණේ.ඒක විනාශ කලේ කවුද? මේ තහනම් දැල් යොදා ගෙන මාළු අල්ලන උදවිය. ඒ වගේම තමයි මේ දැල් වලට පැටලිලා ඩොල්ෆින් ලා විශාල වශයෙන් මැරෙනවා.නීතිය මේ සදහා ක්‍රියාත්මක වෙන්නේ නැහැ . මේ නීති විරෝධී පන්න කරන ඒක නවත්වපු දවසට අපිට වගේම රටටත් හොදයි. අද මේ දුපත සංචාරකයන්ගෙන් පුරවන්න පුළුවන් අවම පහසුකම් ටික දෙනවනම්.පහසුකම් අඩු වුණත් ලෝකයේ ගොඩක් රටවලින් දැන් සංචාරකයෝ මේ දුපතට පැමිණෙනවා " ඇන්ටනි ෆොන්සේකා දුපතේ දියුණුව මන්දගාමී වීමට හේතු පැහැදිලි කළේය.
පසුගිය කාලය පුරාම ඉන්දියානු ධීවරයන් විසින් බත්තලංගුණ්ඩුව දුපත ආසන්නයටම පැමිණ මෙරට මුහුදේ නීති විරෝධී පන්න ක්‍රමයක් ලෙස හැදින්වෙන බොටම් ට්‍රොලින් නැමති පන්න ක්‍රමය යොදා ගෙන මසුන් ඇල්ලීම සිදු කරන ලදී .

දුපතේ රාත්‍රිය
පස්වරු හත පමණ වන විට ඇන්ටනිගේ හෝටලය ඉදිරිපිට විශාල ගිනි මැලයක් ගසා තිබිණි.එසේම රාත්‍රී ආහාරය සුදානම් ව තිබු අතර ඒ සදහා පුච්චන ලද කකුළුවන් ,ඉස්සන් හා දැල්ලන් තිබිණි.
ඉදි ආප්ප ,බත් හා පාන් සහ තවත් මාළු වර්ග කීපයක්ද රාත්‍රී ආහාරය සඳහා එක් කර තිබුණි.
දිවා කාලයේ තිබු රස්නය රාත්‍රියේ නොමැති වූ අතර මුහුදු සුළං හේතුවෙන් නුවරඑළියේ වැනි සීතලක්ද දැනිණි. අලුත් මාළු සමග රාත්‍රී ආහාරය ඉතා ප්‍රණිත විය.

මුහුදේ අභය භුමිය
පසුදා උදෑසනින් අපි කල්පිටිය බලා පිටත් වූ අතර ඇන්ටනි ඒ සඳහා අපට කුඩා බෝට්ටුවක් ගෙන්වා තිබිණි . පැයට සැතැපුම් හයක පමණ වේගයකින් බෝට්ටුව ගමන් කළ අතර වැඩි වෙලාවක් යන්නට මත්තෙන් අපිට ඩොල්ෆින් රෑන්ක් දැක ගැනීමේ හැකියාව ලැබිණි . මීට කෙලින් තමයි කොරල් පරය තියෙන්නේ . මේක වන ජීවී අභය භූමියක් ලෙස නම් කරලා තියනවා. අපි ගමන් කළ බෝට්ටුවේ නියමුවා මඩුරාජ් ප්‍රනාන්දු පැවසීය.
"මේ සියල්ල බලන්න අවම වශයෙන් පැය හතරක් පහක් ඕනෑ.ගොඩක් අය එන්නේ පැයයි දෙකයි කියලා නමුත් මෙතනට ආවම මේක දාලා යන්න කාටවත් හිතෙන්නේ නැහැ”

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
“මීට අවුරුදු හත අටකට පෙර මේකේ ලස්සන කොරල් තිබුණා.ඒ කොරල්වල ලස්සන මාළු හිටියා නමුත් දැන් ඒ තත්ත්වයම දකින්න නැහැ.නමුත් සංචාරකයෝ විශේෂයෙන් විදේශික සංචාරකයෝ ගොඩක් එනවා මේ මුහුදේ කාලය ගත කරන්න ලෝකයේ ගොඩක් තැන්වල දැක ගන්නට නොලැබෙන මුහුදු සත්තු මේ ප්‍රදේශයේ ඉන්නවා. කිලර් වේල්ස් ඉන් එක් සත්ව විශේෂයක්. ඒ වගේම මුහුදු ඌරා. මුහුදු අශ්වයා. දුර්ලභ කැස්බෑ විශේෂ , සංචාරක පක්ෂීන් මෙහිදී දැකගන්නට පුළුවන් . අපි ගිය සතියේ නිල් තල්මසා දැක්කා. අද දවසත් අපිත් එක්ක ඉන්න පුළුවන් නම් ගොඩක් දේවල් බලන්න පුළුවන් " අවසානයේ අපේ බෝට්ටුවේ නියමුවා පැවසීය. අපි ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කළේ වෙනත් දිනයක නැවත පැමිණෙන බවට පොරොන්දුවක් වෙමිනි .
පැය දෙකක් වැනි කාලයක දී අපිට කල්පිටිය ජැටියට ළඟා වීමට හැකිවිය.
රාජුගෙන් (මඩුරාජ්) සමුගත් අපි ජැටිය දිගේ පැමිණියේ බත්තලංගුණ්ඩුව දුපතේ සංචාරයේදී අපි විදි ඒ සුන්දර අත්දැකීම ලොවට කිව යුතු අකාරය ගැන සිතමිනි . ඊට හේතුව පැය විසි හතරකදී මෙවැනි සුන්දරත්වයක් විදි එකම අවස්ථාව මෙය වීම නිසාය.
සංචාරක සටහන හා ඡායාරූප: ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න












