වසර 18කට පසු විරාට් කෝලිගේ IPL සිහිනය සැබෑ වෙයි

virat

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය ආරම්භයේ සිට අපේක්ෂාවෙන් සිටි ජයග්‍රහණය හිමි කර ගැනීමට අද (ජූනි 03) සමත් විය.

ඒ, අවසන් තරගයේදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 6ක ජයක් හිමි කර ගනිමිනි.

රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ, වසර 11කට පසුව ය.

virat

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ලකුණු පුවරුව

තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් පන්ජාබ් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.

ඒ අනුව, පන්දුවට පහර දුන් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 190ක් රැස් කළේ ය.

වැඩි ම ලකුණු රැස් කළ විරාට් කෝලි ලකුණු 43ක් රැස් කළේ ය.

පන්දු යැවීමේදී අර්ෂ්දීප් සිං සහ කයිල් ජැමෙයිසන් කඩුලු 3 බැගින් බිඳ හෙළූහ.

රෝයල් චැලෙන්ජර්ස් ඉනිම අවසානයේ පන්ජාබ් කණ්ඩායමට ලබා දුන්නේ, ලකුණු 191ක ඉලක්කයකි.

පන්ජාබ් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා සාර්ථකව පන්දුවට පහර දෙමින් සිටියදී, ෆිල් සෝල්ට් අසීරු උඩපන්දුවක් රැක ගනිමින් ප්‍රියන්ෂ් ආර්යා ලකුණු 24කට දවා ගැනීමත් සමග පන්ජාබ් ලකුණු රැස් කිරීමේ වේගය අඩු විය.

කෙසේ වෙතත්, ශෂාන්ක් සිං පන්දු 30කදී ලකුණු 61ක් රැස් කරමින් ජයග්‍රහණය පන්ජාබ් කණ්ඩායමට හිමි කර දීමට උත්සහයක නිරත වුව ද, එය සාර්ථක නොවී ය.

ඒ අනුව, නියමිත පන්දු වාර 20 අවසන් වෙද්දී පන්ජාබ් කණ්ඩායම රැස් කළේ, 184ක් පමණි.

ඒ අනුව, වසර 18ක් පුරා පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිය පළමු කිරුළ හිමි කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම සමත් විය.