විරාට් කෝලි විශිෂ්ටයෙකු ලෙස සැලකෙන්නේ ඇයි?: ටෙස්ට් පිටියේ ඔහු තැබූ වාර්තා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ෆියොන් වෙයින්
- Role, බීබීසී ක්‍රීඩා වාර්තාකරු
සුපිරි ඉන්දීය පිතිකරු විරාට් කෝලි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.
ඔහු ඒ බව නිවේදනය කර ඇත්තේ, එංගලන්තයේ ගිම්හාන ටෙස්ට් තරග සංචාරය ජූනි 20 වන දා ආරම්භ කිරීමට නියමිතව තිබියදී ය. එමෙන් ම, ටෙස්ට් නායක රෝහිත් ෂර්මා ද ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බව පසුගිය බදාදා නිවේදනය කළේ ය.
36 හැවිරිදි කෝලි ඉන්දියාව වෙනුවෙන් මේ දක්වා ටෙස්ට් තරග 123ක් ක්‍රීඩා කර ලකුණු 9,230ක් රැස් කර ඇත්තේ, 46.58ක සාමාන්‍යයක් වාර්තා කරමිනි.
සමාජ මාධ්‍යයේ පළ කළ නිවේදනයක ඔහු සඳහන් කර තිබුණේ, "මම ටෙස්ට් ක්‍රිකට් කැප් එක මුලින් ම දාලා (ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීම ආරම්භ කර) මේ වෙනකොට අවුරුදු 14ක් ගත වී තිබෙනවා," යනුවෙනි.
"අවංකව ම කියනවා නම්, මම කවදාවත් හිතුවේ නැහැ මේ ආකෘතිය (ටෙස්ට්) මට හරි යයි කියලා. ඒක මාව පරීක්ෂාවට ලක් කළා, මාව හැඩගැස්සුවා වගේ ම මගේ ජීවිතය පුරාවට ම වැදගත් වන පාඩම් මට ඉගැන්නුවා."
ඔහු පන්දු වාර විස්සයි 20 ජාත්‍යන්තර තරගවලින් 2024 වසරේදී සමුගත්තේ, ඉන්දියාව ලෝක කුසලානය ජයගැනීමෙන් අනතුරුව ය. කෙසේ වෙතත්, කෝලි තවදුරටත් ජාත්‍යන්තර එක්දින තරග සඳහා ක්‍රීඩා කරනු ඇත.
ඔහු 2011දී ටෙස්ට් ක්‍රිකට් දිවියට එළැඹුණේ, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව තරග වදිමිනි. තමන් ක්‍රීඩා කළ ටෙස්ට් තරගවලින් 68කදී ඔහු කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ ය. ඉන් තරග 40කදී ම ජයග්‍රහණය කරා තම කණ්ඩායම රැගෙන යමින් ටෙස්ට් තරගවලදී සාර්ථක ම ඉන්දීය නායකයා බවට ඔහු පත්ව සිටී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"සුදු ඇඳගෙන ක්‍රීඩා කරනකොට පෞද්ගලිකව මට යමක් ගැඹුරින් දැනෙනවා. කලබල නැති වෙහෙසකාරීබව, දීර්ඝ දවස්, අනිත් අයට පෙන්නේ නැති වුණත් හැමදාමත් මගේ හිතේ මතක හිටින අවස්ථා වගේ දේවල්," යැයි ඔහු වැඩිදුරටත් කීය.
"මේ ආකෘතියෙන් අයින් වෙන එක ලේසී නැහැ, නමුත් ඒක නිවැරදි තීරණයක් කියලා හිතෙනවා. ටෙස්ට් ක්‍රිකට්වලට මට දෙන්න පුළුවන් උපරිමය දුන්නා. ඒ වගේ ම මම හිතුවාටත් වඩා වැඩි දෙයක් ඒකෙන් මට ලැබුණා."
"මම යන්නේ, ක්‍රීඩාවට, මාත් එක්ක ක්‍රීඩා කළ අය සහ මග දිගට මං දිහා බලපු සෑම කෙනාට ම මගේ හදවතේ කෘතවේදීත්වය පුරවගෙන. මම නිතර ම මගේ ටෙස්ට් දිවිය ගැන හැරී බලන්නේ සතුටින්."
තම යුගයේ සුපිරිතම පිතිකරුවන් සිව් දෙනා අතරට කෝලි ද එක් වන්නේ, එංගලන්තයේ ජෝ රූට්, ඔස්ටේලියාවේ ස්ටීව් ස්මිත් සහ නවසීලන්තයේ කේන් විලියම්සන් සමග යි. ඔහු ටෙස්ට් ශතක 30ක් ද වාර්තා කර ඇත.
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
ඉන්දීය ක්‍රිකට් ඉතිහාසය පිරික්සීමේදී සචින් ටෙන්ඩුල්කාර්, රාහුල් ඩ්‍රාවිඩ් සහ සුනිල් ගවස්කාර් පමණක් ඔහුට වඩා ටෙස්ට් ලකුණු ලබාගෙන තිබේ. ඉන්දීය නායකයෙකු වාර්තා කළ වැඩි ම ශතක ගණන ලෙස සැලකෙන්නේ, කෝලි සතුව ඇති ශතක 20ක සංඛ්‍යාව යි.
නමුත්, ඔහු ඔස්ටේලියාවට එරෙහිව පසුගිය නොවැම්බරයේ පැවති පළමු ටෙස්ට් තරගයේදී ලබා ගත් ශතකය මාස 16ක කාලයකදී ඉනිම 15කදී ලබාගත් එකම ශතකය විය.
එම තරග සංචාරයේදී ඔහු සමස්ත ලකුණු 190ක් රැස් කළේ 23.75ක සාමාන්‍යයක් පවත්වා ගනිමිනි.
2020 ජනවාරි මාසයේ සිට මේ දක්වා ටෙස්ට් තරග 39කදී ඔහු ලකුණු 100යේ සීමාව ඉක්මවා ගියේ අවස්ථා තුනකදී පමණයි.
මේ අතර, විරාට් කෝලි ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුගැනීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නායකත්වයේ සන්ධිස්ථාන
කෝලි ටෙස්ට් තරග 68කදී ඉන්දියාවට නායකත්වය දුන් අතර ඉන් පරාජය ලබා ඇත්තේ, තරග 17කදී පමණි.
ඒ අනුව, ඔහුගේ නායකත්වය යටතේ ඉන්දීය ටෙස්ට් කණ්ඩායම පරාජය ලැබීමේ අනුපාතය 25%ක් පමණි. එය ඕනෑ ම ඉන්දීය ටෙස්ට් නායකයෙකු විසින් ලැබූ අවම තරග පරාජය වීමේ ප්රතිශතයකි.
ඔහු නායකත්වය දුන් ටෙස්ට් තරග 68න් 40ක් ජය ගැනීමට ඉන්දියාව සමත් වූ අතර ජය පරාජයෙන් තොර තරත 11ක් සමගින්, 58.82%ක ජයග්‍රහණ ප්‍රතිශතයකට හිමිකම් කියයි.
ඉන් ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ වඩාත් ම සාර්ථක ටෙස්ට් නායකයා බවට පත්ව තිබේ.
විශේෂයෙන්, 2018/19 බෝඩර්-ගවස්කාර් කුසලානයේදී ඔස්ට්‍රේලියානු භූමියේදී ඉන්දියාව ලැබූ පළමු ටෙස්ට් තරග මාලා ජයග්‍රහණය ද ලැබුවේ කෝලිගේ නායකත්වය යටතේ ය.
කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දියාව 2016 සිට 2021 දක්වා අඛණ්ඩව වසර පහක් ICC ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානය හිමි කර ගත් අතර, 2021 දී පළමු වරට ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට ද පිවිසියේ ය.
ටෙස්ට් පිටියේ පිත්තෙන් තැබූ වාර්තා
විරාට් කෝලි ටෙස්ට් තරග 123කදී ලකුණු 9,230ක් රැස් කළ අතර, ඔහු ඉන්දියාව වෙනුවෙන් සිව් වන වැඩි ම ටෙස්ට් ලකුණු ලාභියා ය.
ඉන්දීය සර්ව කාලීන විශිෂ්ටයින් වන සචින් තෙන්දුල්කාර්, රාහුල් ඩ්‍රාවිඩ් සහ සුනිල් ගවස්කාර්ට පමණක් ඔහු පසුපසින් සිටී.
ශතක 30ක් සහ අර්ධ ශතක 31ක් සමගින් ඔහු වැඩි ම ටෙස්ට් ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ 19 වන ස්ථානයේ පසු වෙයි.
ඔහු එහිදී, 4 පහර 1027ක් 6 පහර 30ක් එල්ල කර තිබේ.
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී ඉන්දියානුවෙකු විසින් රැස් කළ වැඩි ම ද්විත්ව ශතක සංඛ්‍යාව (7) සඳහා වන වාර්තාව ද කෝලි සතු ය.
අවසන් වරට 2019 දී දකුණු අප්‍රිකාවට එරෙහිව පූනේහිදී ඔහු ද්විත්ව ශතකයක් රැස් කළ අතර එහිදී ඔහු සිය ඉහළ ම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වන නොදැවී ලකුණු 254ක් රැස් කළේ ය.
සචින් අභිබවා යමින්
ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ශතක 7ක් රැස් කළ එක ම ඉන්දියානුවා විරාට් කෝලි වන අතර, එහිදී ඔහු ඉන්දීය විශිෂ්ට පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ද අභිබවා ගියේ ය.
2014/15 ඔස්ට්‍රේලියානු සංචාරයේදී, කෝලි එක් විදේශීය ටෙස්ට් තරගාවලියකදී ශතක 4ක් රැස් කළ පළමු ඉන්දියානුවා බවට පත්විය.
2016-17 ඉන්දියාවේ පැවති තරගවලදී, කෝලි සුවිශේෂී දක්ෂතා දැක්වූ අතර, එම වසරේදී ලකුණු 1,059ක් රැස් කළේ ය. එය ඉන්දියාවේදී වසරකදී ඉන්දියානුවෙකු ලබාගත් වැඩි ම ලකුණු සංඛ්‍යාව යි. එංගලන්තය, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ට එරෙහිව ඉන්දියාව තරගාවලි ජයග්‍රහණ ලබා ගැනීම සඳහා ඔහුගේ දක්ෂතා වැදගත් කාර්යභාරයක් ඉටු කළේ ය.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ වැඩි ම ලකුණු ලාභීන් අතර 12 වන ස්ථානයේ පසුවන කෝලි, ශූරතාවලියට අයත් ටෙස්ට් තරග 47කදී ලකුණු 2617ක් ලබා ගනිමින්, ඉන්දීය පිතිකරුවන් අතර මෑතකදී ටෙස්ට් විශ්‍රාම ගැනීම නිවේදනය කළ රෝහිත් ෂර්මාට පමණක් පිටුපසින් සිටී.
සුවිශේෂී දක්ෂතා
- ඉන්දීය පිතිකරුවෙකු විසින් වසරකදී රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාවට වසර 5ක් හිමිකම් කීම. (2012, 2015, 2016, 2018, 2023)
- අඛණ්ඩව තරගාවලීන්හිදී වැඩි ම ද්විත්ව ශතක රැස් කිරීම (4)
- ICC ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියානුවෙකු ලබා ගත් ඉහළ ම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව: 937 (2018)








