විරාට් කෝලි යළිත් අන්තර්ජාතික ක්‍රිකට් වාර්තා පොත අලුත් කරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ ලකුණු 10,000 සීමාව අඩු ම තරග ගණනකදී පසු කළ පිතිකරුවා බවට පත්වීමට ඉන්දීය නායක විරාට් කෝලි බදාදා (24) සමත් විය.
ඔහු එම සීමාව පසු කළේ, විසාඛාපට්නම්හිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයේදීය.
මීට පෙර 2001 වසරේදී අඩු ම තරග ගණනකදී ලකුණු 10,000 සීමාව පසු කර තිබූ සචින් ටෙන්දුල්කාර් ඒ සඳහා ඒ වන විට තරග 259 ක් ක්‍රීඩා කර තිබූ අතර, කෝලි ලකුණු 10,000 පසු කළේ, තරග 205කට පමණක් ක්‍රීඩා කරමිනි.
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඈෂ්ලි නර්ස් යොමු කළ පන්දුවකට එක් ලකුණක් ලබා ගනිමින් විරාට් කෝලි ලකුණු 10,000 සම්පූර්ණ කළේය.
විරාට් කෝලි මෙම ලකුණු සීමාව සම්පූර්ණ කළ ලෝකයේ 13 වෙනි පිතිකරුවා වන අතර 5 වෙනි ඉන්දීය පිතිකරුවාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ ගැනත් කියවන්න:
දැනට 29 හැවිරිදි කෝලි සිය මංගල එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වූයේ, 2008 වසරේදී ශ්‍රී ලංකාව සමගය.
ඔහුගේ මෙම ඓතිහාසික ඉනිමේදී ඔහු සිය 37 වන ශතකය වාර්තා කළ අතර පන්දු 129කට පමණක් මුහුණ දෙමින් නොදැවී ලකුණු 157 ක් රැස් කිරීමට සමත් විය.
ඉන්දීය කණ්ඩායම පන්දු වාර 50 තුළදී කඩුලු 6 ට ලකුණු 321 ක් රැස් කිරීමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කෙසේ වෙතත්, එක්දින ක්‍රිකට් වැඩි ම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියන ටෙන්දුල්කාර්ගේ වාර්තාව වන ලකුණු 18,426 පසු කිරීම සඳහා ඔහුට තවත් බොහෝ දුරක් යා යුතුව ඇත.
වැඩි ම එක්දින ලකුණු ලැයිස්තුවේ දෙවන ස්ථානයේ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර (14,234) පසුවන අතර ඔස්ට්‍රේලියාවේ රිකී පොන්ටිං (13,704) තෙවන ස්ථානයේ පසුවෙයි.








