ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි දුටු ලස්සන ශ්‍රී ලංකාව

'If only I could wake up to this every morning!!'

ඡායාරූප මූලාශ්‍රය, Twitter/ @imVkohli

ඡායාරූප ශීර්ෂ වැකිය, 'හැමදාම උදේ මේ වගේ තැනක අවදි වෙන්න පුළුවන් නම්!!'

ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන සෑම අවස්ථාවකම සංචාරය කෙටි වීම සහ කාර්ය බහුල වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ස්වභාව සෞදර්යය නැරඹීමට නොහැකි වුවත් මෙවර සංචාරයේදී ඒ අවස්තාව හිමි වූ බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි පවසයි.

විශේෂයෙන්ම අවසාන ටෙස්ට් තරගය දින තුනකින් නිමාවීම හේතුවෙන් තමන්ට ශ්‍රී ලංකාවේ සිරි නැරඹීම පිණිස තවත් කාලය ලැබුණු බවත් ඔහු පැවසීය.

ඉන්දීය කණ්ඩායමේ නායකයා ඒ බව සඳහන් කළේ දෙරට අතර පැවැත්වෙන එක් දින තරගාවලිය පිළිබඳව දඹුල්ලේ දී මාධ්‍යව්දීන් අමතමිනි.

සබැඳි යොමු:

මේ වතාවේත් තමන්ට සීගිරිය නැගීමට හෝ නිසි පරිදි දඹුල්ල නැරඹීමට නොහැකි වූ නමුත් ඉදිරි සංචාරයකදී යළිත් ඒ ප්‍රදේශ නැරඹීමට බලාපොරොත්තු වන බවත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා පවසයි.

'It's lovely to be able to be next to the nature. Good day everyone'

ඡායාරූප මූලාශ්‍රය, Twitter/ @imVkohli

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ස්වභාව ධර්මයාට මෙතරම් සමීපව ඉන්න ලැබීම කොයිතරම් භාග්‍යයක්ද. ඔබ සැමට ලස්සන දවසක්'

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිරි නරඹමින් විරාත් කෝලි ට්විටර් ජාලය ඔස්සේ 'සෙල්ෆි' ඇතුළු ඡායාරූප ද පළ කොට තිබේ.

35000 කට අධික පිරිසක් ඒ සෑම ඡායාරූපයකටම 'like' කර තිබෙන අතර, දහස් ගණනක පිරිසක් එම ඡායාරූප සිය මිතුරන් අතර 'retweet' කර තිබේ.

කිසිදු තරගකාරී බවක් හෝ නොපෙන්වා ශ්‍රී ලංකාව ටෙස්ට් තරග සියල්ල පරාජය වීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වන ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්, ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන්ට දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට හා පින්නවල අලි බැලීම සඳහා කාලය ලබාදීම පිණිස ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරගය දින තුනක් ඇතුළත අවසන් කළ බවට හාස්‍ය ජනක අදහස් පළකර තිබුණි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක් දින සීමිත ඕවර තරගාවලිය ඉරිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතය.

'At Dambulla for the ODIs now, another beautiful location'

ඡායාරූප මූලාශ්‍රය, Twitter/ @IMVKOHLI

ඡායාරූප ශීර්ෂ වැකිය, 'එක් දින තරග වෙනුවෙන් දැන් දඹුල්ලේ. තවත් ලස්සන තැනක්'

2019 වසරේ එංගලන්තයේ පැවැත්වෙන ජගත් ක්‍රිකට් කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම එයින් තරග දෙකක්වත් ජයග්‍රහණය කළ යුතුය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී එක විස්සයි විස්ස තරගයකට ද සහභාගි වීමට නියමිතය.