අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩු විභාගය: පිටු 504කින් සමන්විත සම්පූර්ණ නඩු තීන්දුවේ සඳහන් ඔබ දැනගත යුතු සුවිශේෂී කරුණු 05ක්

 නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව බන්ධනාගාරය වෙත ගෙන යන චූදිතයන්
    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 9

ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියාට පහර දී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ විත්තිකරුවන් 12 දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කළේ පසුගිය පෙබරවාරි 11 වන දා ය.

වසර දෙකකට අධික කාලයක් පුරා පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම තීන්දුව පැමිණියේ බෙදුණු තීන්දුවක් ලෙසයි.

සුළුතර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර පැවසුවේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පුකොට නොමැති හෙයින් විත්තිකරුවන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කිරීමට තීරණය කළ බව ය.

එහෙත්, සාමාජික විනිසුරුවරුන් වශයෙන් කටයුතු කළ රශ්මි සිංගප්පුලි සහ රෂන්ත ගොඩවෙල බහුතර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුවන් 16 දෙනෙකු වැරදිකරුවන් බවට ද තවත් විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නගා ඇති චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති බව සඳහන් කරමින් ඔවුන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කරන බවට ද තීන්දු කළහ.

ඒ අනුව එම බහුතර තීන්දුව අවසන් තීන්දුව ලෙස සලකනු ලබයි.

මෙම නඩු විභාගයේ සුළුතර තීන්දුව පිටු 121කින් සමන්විත වන අතර බහුතර තීන්දුව හෙවත් අවසන් තීන්දුව පිටු 380කින් ද සමන්විත වේ.මෙම නඩු විභාගයේ සුළුතර තීන්දුව පිටු 121කින් සමන්විත වන අතර බහුතර තීන්දුව හෙවත් අවසන් තීන්දුව පිටු 380කින් සමන්විතය. අනෙක් පිටු ද ඇතුළුව තීන්දුව සහිත මෙම සම්පුර්ණ ලියවිල්ල පිටු 504කින් සමන්විත වේ.

මෙම සම්පූර්ණ නඩු තීන්දුව අධ්‍යනය කරමින් බීබීසී සිංහල විසින් ඔබ වෙත ගෙන එනු ලබන ලිපි මාලාවේ පළමු ලිපිය මෙතැන් සිට කියවන්න.

1. නඩු විභාගයේදී ඉදිරිපත් වී ඇති කරුණු

මෙම ඝාතනය ද්විත්වය සිදුවූ 2022 මැයි 09 වන දින නිට්ටඹුව නගරයේ විරෝධතාවයක් පැවැත්වී ඇති අතර එයට හේතුවී ඇත්තේ කොළඹ ගෝල්ෆේස් පිටියේ ඒ දිනය වන විට පැවති අරගලය විරෝධතාවයට යම් පිරිසක් පහරදීම බව නඩු තීන්දුවේ සඳහන් ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම සිදුවීමෙන් මියගොස් ඇති මන්ත්‍රීවරයා එදින [එවකට] අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පැවති උත්සවයකට සහභාගිවීම සඳහා අරලියගහ මන්දිරයට ගොස් නැවත සිය ගම් ප්‍රදේශය වන පොළොන්නරුවට යාමට අපේක්ෂා කර ඇත්තේ ඉහත විරෝධතාවය පැවති නිට්ටඹුව නගරය හරහා බව ද එහි සඳහන් ය.

මියගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පුද්ගලික රියදුරු මෙම නඩුවේ පළමු සාක්ෂිකරු වන අතර, ඒ අවස්ථාවේ මන්ත්‍රීවරයා ගමන්ගත් රථයෙන් පොළොන්නරුව බලා යමින් සිටි එවකට පොළොන්නරුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා 03 වන සාක්ෂිකරු ද, එවකට මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා 05 වන සාක්ෂිකරු ද වේ.

නඩු තීන්දුවේ සඳහන් ආකාරයට විනිසුරුවරුන් සිදු කර ඇති නිරීක්ෂණයන් පහත පරිදි ය.

  • 2022 මැයි 09

ප. ව. 12.30ට පමණ අරලියගහ මන්දිරයේ පැවති උත්සවය අවසන් වී මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් සිරිපාල ගම්ලත් හිටපු ඇමතිවරයාගේ නිවසින් දිවා ආහාරය ලබාගෙන පොළොන්නරුව බලා යාම සඳහා කොළඹ නුවර මාර්ගයේ ගමන් කරමින් සිට ඇත. (පිටු අංක 166)

ප. ව. 3.45ට නගරයේ තිලකවර්ධන වෙළඳසැල පසුවනවාත් සමග පිරිසක් විසින් රථය නගරයේ ශක්ති වයින් ස්ටෝර්ස් අසලදී නවත්වා ඇතැයි තීන්දුවේ සඳහන් ය. (පිටු අංක167)

පසුව එම පිරිස ගමන්ගත් රථය මෙම පිරිස වටකර ගැනීමෙන් පසුව ඔවුන් මගුල් ගෙදරකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටින පිරිසක් බවට එම පිරිසට පවසා ඇති අතර එම පිරිස වාහනයේ තිබූ දෑ පිටතට ඇද දැමීමේදී එහි පාර්ලිමේන්තු ලිපි ශීර්ෂ දැකීමෙන් මේ සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට රථය වටකරගත් පිරිස දැනගෙන ඇති බව එහි සඳහන් ය.

මන්ත්‍රීවරයා ඇතුළු පිරිස රථයෙන් බස්වා ගැනීමෙන් පසුව ඔහුට පහරදී අඩම්තේට්ටම් කිරීමට කටයුතු කොට ඇතැයි තීන්දුවේ පවසයි.

පසුව ප. ව. 3.47ට ශක්ති වයින් ස්ටෝර්ස්හි කැමරා අංක 01හි සඳහන් වන ආකාරයට මන්ත්‍රීවරයාත් ආරක්ෂක නිලධාරියාත් මාර්ගය අයිනට ගෙන ගොස් පසුව මන්ත්‍රීවරයාට පොල්ලකින් පහරදෙන ආකාරය පැමිණිලි පර්ශවය විසින් සාක්ෂි ලෙස ඉදිරිපත් කර තිබේ. (පිටු අංක168)

ප. ව. 3.53ට මන්ත්‍රීවරයාට පුද්ගලයන් දෙදෙනෙකු පහරදීම හේතුවෙන් ආරක්ෂක නිලධාරියා තැබූ වෙඩි පහරකින් හර්ෂ නදීශාන් නැමති අයෙකු මියගොස් තිබේ. (පිටු අංක168)

වෙඩි තැබීමෙන් පසුව පිරිස කලබල වී එතනින් දිව ගොස් ඇති අතර, මන්ත්‍රීවරයා සහ ආරක්ෂකයා කොළඹ දෙසට දිවගොස් ඇති බව කැමරාවල සටහන්ව තිබී ඇත.

ප. ව. 3.56ට මරණකරුවන් දෙදෙනා නිහාල් ෆැෂන් ආයතනයේ පහත මාලයෙන් ඇතුළු වී එහි විදුලි සෝපානයට ඇතුළු වන ආකාරය කැමරා අංක 20හි සටහන්ව තිබී ඇති බව තීන්දුවේ සඳහන් ය. (පිටු අංක170)

මන්ත්‍රීවරයාත්, ආරක්ෂකයාත් නිහාල් ෆැෂන් ආයතනයෙන් ඇතුළු වී මිනිත්තු පහකට පමණ පසුව ශක්ති වයිස් ස්ටෝර්ස් ඉදිරිපිට ආරවුල් කරමින් සිටි පිරිසක් නිහාල් ෆැෂන් ආයතනය වෙත පැමිණ එහි දොරටුව විවෘත කිරීමට උත්සහ කර ඇති අතර, එම ආයතනයේ සේවකයන් විසින් එය වැළක්වීමට උත්සහ කර තිබෙන බව නඩු තීන්දුවේ සඳහන් ය.

කෙසේවෙතත් ගල්, පොලු වැනි දෑ රැගත් පිරිසක් ප. ව. 4.01ට නිහාල් ෆැෂන් ආයතනය වෙත ඇතුළු වන ආකාරය එහි කැමරාවල සටහන්ව තිබී ඇත. (පිටු අංක170)

විවිධ විත්තිකරුවන්ගේ ක්‍රියාකාරකම් ද එහි කැමරා මගින් නිරීක්ෂණය කර ඇති ආකාරය ද තීන්දුවේ සඳහන් වේ.

ඉන්පසුව ප. ව. 4.22ට තුවාල කරුවන් දෙදෙනා දෙවන මහළට ඇදගෙනවිත්, ප. ව. 4.26ට නිහාල් ෆැෂන් ආයතනයේ බිම් මහළ දක්වා ඇදගෙන පැමිණෙන ආකාරය නිරීක්ෂණය කර තිබේ.

මෙම සම්පූර්ණ සිදුවීමට අදාළ සීසිටීවී දර්ශන ස්ථාන කිහිපයකින් ලබාගෙන ඇති අතර, ඒවායේ වේලාවන් තත්කාලයේ වෙලාවට ගලපා සාක්ෂි ලෙස සටහන් කරගෙන තිබේ.

2. මරණවලට හේතුව කුමක් ද?

පැමිණිල්ලේ 110 වන සාක්ෂිකරු ඉහළ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත එදින රාත්‍රී 09.05ට අපරාධ ස්ථානය වෙත ගොස් ඇති අතර, නිහාල් ෆැෂන් ආයතනයේ පිවිසුම ඉදිරිපිට මෘත ශරීර දෙක තිබී ඇත. (පිටු අංක180)

එම සක්ෂිකරුගේ සාක්ෂිය අනුව, මෘත ශරීර දෙක අසල "තැන්න නැගිටින දාට කන්ද සමතලා වේ" යනුවෙන් ලියූ පෝස්ටරයක් දමා ගොස් තිබී ඇත.

නිහාල් ෆැෂන් ආයතනයේ තුන්වෙනි මහලේ සාරි තෝරා ගැනීම සඳහා සකසා තිබූ ස්ථානයේ සිට බිම් මහළ දක්වා පඩිපෙළෙහි රුධිර පැල්ලම් තිබී ඇත.

මිය ගිය මන්ත්‍රීවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහුගේ ශරීරයේ බාහිර තුවාල 18ක් හඳුනාගෙන ඇති අතර, මරණයට හේතුව සම්බන්ධයෙන් වූ වෛද්‍ය නිරීක්ෂණවලට අනුව මරණකරුගේ ශරීරයේ තුවාල 19ක් තිබී ඇත. (පිටු අංක 209/210)

නඩු තීන්දුවේ සඳහන් තොරතුරු අනුව මන්ත්‍රීවරයාගේ මරණයට හේතුව ලෙස වෛද්‍යවරයා සඳහන් කර ඇත්තේ," අභ්‍යන්තර වශයෙන් මොළයට සිදුවූ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව," ය.

දෙවන මරණකරු වූ පොලිස් සැරයන් ගුණවර්ධනගේ ශරීරයේ තුවාල 15ක් පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිරීක්ෂණය කර තිබේ.

එහි ඇති සුවිශේෂී කරුණක් වන්නේ එම ආරක්ෂක නිලධාරියාගේ ශරීරයේ වෙඩි වැදුණු සලකුණු තිබීම ය.

ගිනි අවියකින් පිට වූ උණ්ඩයක් ඇතුළු වූ තුවාලයක් ශරීරයේ වම් පස ඉහළ ප්‍රදේශයට වන්නට පපු කුහර ප්‍රදේශයේ නිරීක්ෂණය වූ බවටත්, ඊට අනුරූපීව වම් පෙනහැල්ලේ ඉහළ කොටස සිදුරු කරමින් මරණකරුගේ ශරීරයේ වම් පස පිටුපසට වන්නට තිබුණු පිටවීමේ තුවාලයක් වෛද්‍යවරයා නිරීක්ෂණය කර තිබේ. (පිටු අංක 217)

තමා විසින් නිරීක්ෂණය කළ මරණකරුගේ හිසට සිදුවූ තුවාල සහ වෙඩි උණ්ඩය මගින් සිදුවූ අභ්‍යන්තර තුවාල මත පදනම් ව මරණකරුගේ මරණය සිදුව ඇති ආකාරය එම සාක්ෂිකරු විසින් විස්තර කර තිබේ. (පිටු අංක 225)

තව ද නඩු තීන්දුවේ සඳහන් වන ආකාරයට වෛද්‍ය මතය වී තිබෙන්නේ මෙම තැනැත්තන් දෙදෙනා ම තුන්වෙනි මහළේ සිට පහත මාලය දක්වා ඇදගෙන එන අවස්ථාවේදී මියගොස් නොසිටි බවත්, ඔවුන් බරපතළ තුවාල සහිතව සිටිය ද, සත්‍ය වශයෙන් ම ඔවුන්ගේ මරණය සිදුවී ඇත්තේ තුවාලකරුවන් දෙදෙනා තුන්වන මහළේ සිට මහළ දෙකක් පහළට පඩිපෙළ දිගේ මීටර් 97ක් (පිටු අංක 456) ඇදගෙන යාමේදී එක දිගට පඩිපෙළ මත හිස ගැටීමෙන් බව ය. ( පිටු අංක 226)

3. මෙම නඩුව සඳහා යොදාගෙන ඇති සාක්ෂි මොනවා ද?

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි ලෙස පහත සාක්ෂි යොදාගෙන තිබේ. (පිටු අංක 228)

  • වෝහාරික මුහුණු සංසන්දනය
  • හඳුනාගැනීමේ පෙරට්ටුව
  • දුරකථන කුළුණු විශ්ලේෂණ වාර්තා
  • විශේෂඥ අධිකරණ වෛද්‍ය සාක්ෂි
  • රස පරීක්ෂක වාර්තා විමර්ශන නිලධාරීන්
  • සිවිල් සාක්ෂිකරුවන්
  • සීසීටීවී සහ වීඩියෝ දර්ශන
  • තක්සේරු වාර්තා
  • ප්‍රදර්ශන භාණ්ඩ
  • සුවිශේෂී ශරීර ලක්ෂණ

4. අධිචෝදනා මොනවා ද?

මෙම නඩුවට අදාළ අධිචෝදනාවල පළමු අධිචෝදනාව වන්නේ 2022 මැයි 09 දින හෝ ඊට ආසන්න කාලසීමාවක නිට්ටඹුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල හට තුවාල කිරීමේ පොදු අරමුණ කරගත් නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම ය.

දෙවන අධිචෝදනාව වන්නේ එම වෙලාවේ සහ ස්ථානයේ එම නීති විරෝධී රැස්වීමේ සාමාජිකයෙකු හෝ කිහිපදෙනෙකු විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලගේ මරණය සිදු කිරීම ය.

තුන්වන අධිචෝදනාව වන්නේ එම වෙලාවේ සහ ස්ථානයේ එම නීති විරෝධී රැස්වීමේ සාමාජිකයෙකු හෝ කිහිපදෙනෙකු විසින් පොලිස් සැරයන් 5565 ජයන්ත ගුණවර්ධන නමැත්තාගේ මරණය සිදු කිරීම ය.

මීට අමතරව තවත් අධිචෝදනා 11ක් විවිධ සැකකරුවන්ට එල්ල වී තිබේ.

5. මරණ දඬුවම නියම වූ 12 දෙනා හඳුනාගෙන ඇත්තේ කෙසේ ද?

මෙම නඩුවේ අධිචෝදනා සඳහා වරදකරුවන් වී මරණ දඬුවම නියම වූ 12 දෙනා හඳුනාගැනීම සඳහා මීට පෙර සඳහන් කළ සාක්ෂි යොදාගෙන තිබේ. මේ ඔවුන් හඳුනාගත් ආකාරය සම්බන්ධයෙන් නඩු තීන්දුවේ සඳහන් වන කරුණු ය.

01 වන විත්තිකරු වූ ධනුෂ්ක ලක්ෂාන්ත: 01, 02, 05 සාක්ෂි කරුවන් විසින් පෙරට්ටුවේදී හඳුනාගෙන ඇත. ඔහුගේ අත් දෙකේ තිබූ පච්චා සලකුණු සීසීටීවී දර්ශනවල සටහන්ව තිබී ඇත. පොල්ලක් සහිතව නිහාල් ෆැෂන් වෙත ඇතුළු වී එක් තැනැත්තෙකුගේ සිරුරක් දෑතින් ඇදගෙන පඩිපෙළ දිගේ පැමිණෙන ආකාරය සීසීටීවී දර්ශනවල සඳහන්ව තිබී ඇත. (පිටු අංක 462/ 463)

04 වැනි විත්තිකරු මොහොමඩ් ඩිල්ෂාන්: විද්‍යාත්මක මුහුණු විශ්ලේෂණයෙන් හඳුනාගෙන තිබේ. නිහාල් ෆැෂන් ආයතනයේ සේවකයෙකු වන මොහු 02 වන මහලේ සිට පළමු මහළට ඇදගෙන එන තුවාලකරුවෙකුට පා පහරක් එල්ල කරන ආකාරය කැමරාවල සටහන්ව තිබී ඇත. පිහියක් රැගෙන ආවේගශීලීව හැසිරෙන ආකාරය සහ විරෝධතාකරුවන් තුන්වන මහළට යොමු කිරීම ද වීඩියෝ දර්ශනවල සඳහන්ව තිබී ඇත. (පිටු අංක 466/ 467)

05 වන විත්තිකරු සාගර ප්‍රනාන්දු: විද්‍යාත්මක මුහුණු විශ්ලේෂණයෙන් හඳුනාගෙන තිබේ. විදුලි සෝපානය අවහිර කරන ආකාරය සහ ඉන්පසු තුන්වන මහළ දක්වා ගොස් එහි විනාඩි 15ක් රැඳී සිට තුවාලකරුවන් සමග පහළට පැමිණෙන ආකාරය සීසීටීවී දර්ශනවල සඳහන්ව තිබී ඇත. (පිටු අංක 468)

06 වන විත්තිකරු සුපුන් තරිඳු සුනිල්රත්න: විද්‍යාත්මක මුහුණු විශේලේෂණය මගින් නිශ්චිතව අනන්‍යතාවය තහවුරු කර තිබේ. මුහුණේ කැළලක් ඔහු හඳුනාගැනීමේ ප්‍රධාන ලක්ෂණයක් ලෙස යොදාගෙන ඇත. නිහාල් ෆැෂන් ආයතනයේ තෙවන මහලේ ඔහු මිනිත්තු 17 1/2ක් ගත කර පහළට පැමිණෙන විට ඔහුගේ අත තිබූ යකඩ බටය සහ සෙරප්පු නොමැතිව පැමිණ ඇත. එම යකඩ බටයට සමාන බව සැලකෙන බටයක් අපරාධ ස්ථානයෙන් සොයාගෙන තිබේ. (පිටු අංක 470-472)

07 වන විත්තිකරු ඉන්දික කුමාර විජේසිංහ: වෝහාරික මුහුණු විශ්ලේෂණයෙන් හඳුනාගැනීමට නොහැකි වී ඇත්තේ මුහුණු ආවරණයක් පැළඳ සිටින නිසා ය. ඔහු ඇඳ සිටි ඇඳුම්වලට සමාන ඇඳුම් විමර්ශන නිලධාරීන් සොයාගෙන ඇති අතර, කමිසයේ දකුණු පැත්තෙහි ඉරුණු ස්ථානයක් තිබී ඇති අතර, ඒ බව පැමිණිල්ලේ වීඩියෝ සාක්ෂිවලින් ඔප්පු වී තිබේ. දුරකථන වාර්තා අනුව ද ඔහු නිට්ටඹුව නගරයේ සිටි බවට තහවුරු වී තිබේ. ඔහු එක් මරණකරුවෙකු පහළට ඇදගෙන එන ආකාරය සීසීටීවී දර්ශනවල සටහන්ව තිබී ඇත. (පිටු අංක 473-474)

14 වන විත්තිකරු රාමයියා සත්‍ය කුමාර්: විද්‍යාත්මක මුහුණු විශ්ලේෂණය මගින් අනන්‍යතාවය තහවුරු කර තිබේ. ඔහුගේ දත් විශේෂ ශරීර ලක්ෂණ ලෙස හඳුනාගෙන ඇත. නිහාල් ෆැෂන් තෙවන මහළ වෙත ගොස් පහත මාලයෙන් සවල් මිටක් රැගෙන නැවත තෙවන මහළට යන ආකාරය සීසීටීවී දර්ශනවල සඳහන්ව තිබී ඇත. (පිටු අංක 476-477)

19 වන විත්තිකරු චාරුක දේශාන්: මොහුගේ ජංගම දුරකථනයේ අපරාධ අවස්ථාවේදී පටිගත කරගන්නා ලද වීඩියෝ දර්ශනයක් විමර්ශන නිලධාරීන් සොයාගෙන තිබේ. නිහාල් ෆැෂන් ආයතනයට ඇතුළුවී තෙවන මහලේ මිනිත්තු 12ක් ගත කර තුවාලකරුවන් සමග පහතට පැමිණ තිබේ. (පිටු අංක 479-480)

21 වන විත්තිකරු සනත් වීර ප්‍රසන්න: විද්‍යාත්මක මුහුණු විශ්ලේෂණය මගින් අනන්‍යතාවය තහවුරු කර තිබේ. නිහාල් ෆැෂන් ආයතනයට ඇතුළුවී තෙවන මහලේ මිනිත්තු 15ක් ගත කර තුවාලකරුවන් ඇදගෙන එන පිරිස සමග පැමිණ තිබේ.(පිටු අංක 480-481)

26 වන විත්තිකරු යොහාන් මධුභාෂිත ජයවීර: නිහාල් ෆැෂන් ආයතනයේ පහත මලයෙන් පොල්ලක් ද රැගෙන ඇතුළු වී, තුවාල කරුවන් පහතට ඇදගෙන එන අවස්ථාවේ බිම් මහලේ රැඳී සිට තිබේ. විද්‍යාත්මක මුහුණු විශ්ලේෂණය මගින් අනන්‍යතාවය තහවුරු කර තිබේ. අවසානයේ මරණකරුවන්ගේ සිරුරු රැගෙන යන අවස්ථාවේදී ද පොල්ලක් රැගෙන ක්‍රියාකාරීව ඔබමොබ යන ආකාරය කැමරා දර්ශනවල සටහන්ව තිබී ඇත. (පිටු අංක 489-490)

27 වන විත්තිකරු රංගන රුවන් නන්දසේන: විද්‍යාත්මක මුහුණු විශ්ලේෂණය මගින් අනන්‍යතාවය තහවුරු කර තිබේ. පොල්ලක් අතැතිව නිහාල් ෆැෂන් ආයතනය තුළට ඇතුළුවී ඇති අතර තුවාල කරුවන් රැගෙන එන අවස්ථාවේදී බිම් මාලයේදී එක් තුවාලකරුවෙකුට පොල්ලකින් පහරදෙන ආකාරය සීසීටීවී දර්ශනවල සඳහන්ව තිබී ඇත. (පිටු අංක 490-492)

35 වන විත්තිකරු දිලූක ප්‍රභාත් ජයතිලක: විද්‍යාත්මක මුහුණු විශ්ලේෂණය මගින් අනන්‍යතාවය තහවුරු කර තිබේ. 05 වන සැකකරු සමග එක්ව විදුලි සෝපානය අවහිර කර තුන්වන මහළ දක්වා ගොස් එහි විනාඩි 15ක් රැඳී සිට තුවාල කරුවන් පහළට ඇදගෙන එන අවස්ථාවේදී එම පිරිස සමග එක්ව පහළට එන ආකාරය සීසීටීවී දර්ශනවල සඳහන්ව තිබී ඇත. (පිටු අංක 497-499)

40 වන විත්තිකරු අශාන් පීරිස්: අත්අඩංගුවට ගෙන නොමැති දැනට විදේශගතව සිටින පුද්ගලයෙකි. ඔහු නිහාල් ෆැෂන් ආයතනයේ පහත මාලයේ සහ බිම් මහළේ රැඳී සිටිමින් බිම් මහලේදී තුවාල කරුවන් ඇදගෙන එන අවස්ථාවේදී ද අදාළ නීතිවිරෝධී රැස්වීමේ ක්‍රියාකාරී අන්දමින් හැසිරෙන ආකාරය සීසීටීවී දර්ශනවල සඳහන්ව තිබී ඇත. (පිටු අංක 500-501)

ඒ අනුව, ඉහත සඳහන් දොළොස් දෙනා පළමු අධිචෝදනා තුන සඳහා වැරදි කරුවන් බවට බහුතර තීන්දුවේ සඳහන් වේ. (පිටු අංක 502)

2 වන සැකකරු ඔෂාන් සර්වනාත් දිල්ෂාන්, 23 වන සැකකරු සමිත අනුරංග සුරසිංහ, 30 වන සැකකරු පහළ තන්ත්‍රිගේ උජිත් චාමර ප්‍රසන්න, 32 වන සැකකරු සුවිනීත් ප්‍රියංකර කුමාරසිංහ යන අය පළමු අධිචෝදනාව සඳහා වරදකරුවන් ලෙස එහි තීන්දු කර ඇති අතර, ඔවුන් සිව්දෙනාට ම අවුරුදු පහකට අත්හිටවනු ලැබූ මාස 6 බැගින් වන සිර දඬුවම් නියම කෙරිණි. (පිටු අංක 503)

13 වන සැකකරු ඇන්ටන් ගේබ්‍රියල් කුමාරදාස (පිටු අංක 476) සහ 31 වන සැකකරු හෙන්ද විතාරණ නිපුන බුද්ධික දිල්ශාන් නඩු විභාගය අතරතුර මියගොස් ඇති අතර, එම නිසා ඔවුන් සම්බන්ධයෙන් සාක්ෂි විශ්ලේෂණයක් සිදු කර නොමැත.

3, 8, 9, 10, 11, 12, 15, 16, 17, 18, 20, 22, 24, 25, 28, 29, 33, 34, 36, 37, 38, 39, 41 යන අයට විරුද්ධව අධිචෝදනා පත්‍රයේ නගා ඇති අධිචෝදනා කිසිවක් පැමිණිල්ලේ සාක්ෂි මගින් සාධාරණ සැකයෙන් ඔබ්බට තහවුරු කර නොමැති බවට බහුතර තීන්දුවෙන් තීන්දු කර ඇත. (පිටු අංක 503)

එම නිසා එම පුද්ගලයන් ඔවුන්ට එල්ලවී ඇති සියලු අධිචෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික මහාධිකරණ විනිසුරුවරුන් වන රශ්මි සිංගප්පුලි සහ රෂන්ත ගොඩවෙල විසින් තීන්දු කරනු ලැබ තිබේ. (පිටු අංක 504)