අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුව: සභාපති විනිසුරු සහ සෙසු විනිසුරුවරුන්ගෙන් බෙදුණු තීන්දුවක්

ඡායාරූප මූලාශ්‍රය, Facebook
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 5
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියාට පහර දී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ විත්තිකරුවන් 12 දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කළ ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් 25 දෙනෙකු නිදොස් කොට නිදහස් කළේ ය.
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුවන් දොළොස් දෙනා ඇතුළු විත්තිකරුවන් 16 දෙනෙකු වරදකරුවන් බවට තීරණය කළ අතර සෙසු විත්තිකරුවන් සිව් දෙනාට ම අවුරුදු පහකට අත්හිටවනු ලැබූ මාස 6 බැගින් සිර දඬුවම් නියම කෙරිණි.
ඊට අමතරව, මේ සිද්ධියෙන් ඝාතනය වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ බිරිඳ වන මාලී අතුකෝරළට සහ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ සැරයෙන් ජයන්ත ගුණවර්ධනගේ බිරිඳ වන අනූෂා ඉන්දිකා ගුණවර්ධනට රුපියල් 50,000 බැගින් වන්දි ගෙවීමට නියම කෙරිණි.
එම වන්දි මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් අමතර වසර දෙක බැගින් ලිහිල් වැඩ සහිත සිරදඬුවම් නියම කෙරිණි.
සභාපති විනිසුරුගේ සුළුතරය
වසර දෙකකට අධික කාලයක් පුරා පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර බෙදුණු තීන්දුවේ සුළුතර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පුකොට නොමැති හෙයින් විත්තිකරුවන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කිරීමට තීරණය කළ බව සඳහන් කළේ ය.
එහෙත්, සාමාජික විනිසුරුවරුන් වශයෙන් කටයුතු කළ රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල බහුතර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුවන් 16 දෙනෙකු වැරදිකරුවන් බවට ද තවත් විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නගා ඇති චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති බව සඳහන් කරමින් ඔවුන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කරන බවට ද තීන්දු කළහ.
12 දෙනෙකුට මරණීය දණ්ඩනය
වරදකරුවන් බවට නම් කළ විත්තිකරුවන් 16 දෙනා අතරින් විත්තිකරුවන් හතර දෙනකු වරදකරුවන් කරනු ලැබුවේ නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වශයෙන් කටයුතු කිරීමේ චෝදනාව යටතේ ය.
ඔවුන්ට එරෙහිව පවරා තිබූ සෙසු චෝදනා පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බව තීරණය කළ විනිසුරු මඩුල්ල එම සියලු චෝදනාවන්ගෙන් ඔවුන් සියලු දෙනා නිදොස් කළේ ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මිනීමැරීම, දේපළ කොල්ලකෑම මෝටර් රථයට අලාභ හානි කිරීම ඇතුළු චෝදනාවන්ට වරදකරුවන් කොට මෙලෙස මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවේ, නඩුවේ පළමු විත්තිකරු වූ ධනුෂ්‍ය ලක්ෂාන්ත, හතර වැනි විත්තිකරු මොහොමඩ් ඩිල්ෂාන්, පස් වන විත්තිකරු සාගර ප්‍රනාන්දු, හය වන විත්තිකරු සුපුන් තරිඳු සුනිල්රත්න, හත් වන විත්තිකරු ඉන්දික කුමාර විජේසිංහ, 14 වන විත්තිකරු රාමයියා සත්‍ය කුමාර්, 19 වන විත්තිකරු චාරුක දේශාන් 21 වන විත්තිකරු සනත් වීර ප්‍රසන්න, 26 වන විත්තිකරු යොහාන් මධුභාෂිත ජයවීර, 27 වන විත්තිකරු රංගන රුවන් නන්දසේන, 35 වන විත්තිකරු දිනුක ප්‍රභාත් ජයතිලක සහ 40 වන විත්තිකරු අශාන් පීරිස් යන පුද්ගලයින්ට ය.
නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින් වශයෙන් කටයුතු කිරීමේ චෝදනාවට වරදකරු වී අත්හිටවූ සිරදඬුවම් නියම කරනු ලැබුවේ, නඩුවේ දෙවන විත්තිකරු ඔෂාන් දිල්ෂාන්, 23 වන විත්තිකරු සමිත අනුරංග සූරසිංහ, 30 වන විත්තිකරු සිංගා හෙවත් චාමර ප්‍රසන්න සහ 35 වන විත්තිකරු දිනුක ප්‍රභාත් ජයතිලක නමැති පුද්ගලයින්ට යි.
මරණීය දණ්ඩනය නියම කරනු ලැබූ විත්තිකරුවන් 12 දෙනා ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවක වැලිකඩ බන්ධනාගාරය තුළදී ප්‍රාණය නිරුද්ධ වන තෙක් එල්ලා තැබීමට විනිසුරු මඩුල්ල නියම කළේ ය.
නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා පසුගිය මස 14 වන දා නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී දීර්ඝ කාලයක් පුරා විභාග වු නඩුවේ විත්තිකරුවන් 41 දෙනා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ සාක්ෂි සහ කරුණු වෙන වෙන ම සලකා බැලිය යුතු බවත්, ඒ සඳහා වීඩියෝ පට ද සලකා බැලිය යුතු බවත් පෙන්වා දෙමින් ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බව සඳහන් කරමින් තීන්දුව දීම අද දක්වා කල් තබනු ලැබී ය.
අධිකරණයේදී සිදුවූ දේ
මහාධිකරණ විනිසුරුවරුන් වන සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල යන තිදෙනාගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව කැඳවීය.
මෙය සමාජයේ මහත් කැළඹීමක් ඇති කළ සිදුවීමක් නිසා මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි නීතීපතිවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කළේ ය.
චෝදනා මොනවා ද?
2022 මැයි මස 09 වන දා හෝ ඊට ආසන්න දිනයක නිට්ටඹුව ප්‍රදේශයේදී නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් වශයෙන් කටයුතු කරමින් පාර්ලිමෙන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියා වශයෙන් කටයුතු කළ පොලිස් සැරයන් 5565 ජයන්ත ගුණවර්ධන නමැති නිලධාරියාට පහර දී ඝාතනය කිරීම ඇතුළු චෝදනා 14ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණි.
අමරකීර්ති අතුකෝරළට සහ ජයන්ත ගුණවර්ධනට පහරදීම, ඔවුන් ඝාතනය කිරීම, ඔවුන් ගමන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරළට ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් නිකුත් කර තිබූ රජයට අයත් WP KJ 2649 අංකය දරන රථය එම සිද්ධියේදී ගිනි තබා විනාශ කර රුපියල් මිලියන 45ක ආලාභයක් කිරීම, ජීප් රථයේ අමතර රෝදය සහ පැතිදොරක් සොරා ගැනීම, පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ අතේ පැළඳ සිටි මුදු තුනක් සොරා ගැනීම, ඔහුගේ සාක්කුවේ තිබූ බිරිඳට අයත් ණය කාඩ් පතක් සොරා ගැනීම සහ ඉන් නීතීවිරෝධී අන්දමින් භාණ්ඩ මිල දී ගැනීම ඇතුළු චෝදනා 14ක් යටතේ විත්තිකරුවන්ට නඩු පවරා තිබිණි.
විත්තිකරුවන් දෙදෙනෙක් මිය ගිහින්
නඩුවේ 13 වන විත්තිකරු වන ඇන්ටන් ගේබ්‍රියල් කුමාරදාස සහ නඩුවේ 31 වන විත්තිකරු වන නිපුන බුද්ධික දිල්ෂාන් නමැත්තන් නඩු විභාගය අතරතුරදී මියගොස් තිබිණි.
මේ අතර, නඩුවේ 39 වන විත්තිකරු වන ලසන්ත සමීර ගුණසිංහ සහ නඩුවේ 40 වන විත්තිකරු වන ඉරේක අෂාන් පීරීස් නමැත්තන් නඩු විභාගය අතරතුරදී අධිකරණය මගහැර විදේශ ගතවීම හේතුවෙන් ඔවුන් දෙදෙනා නොමැතිව නඩුව විභාග කෙරිණි.
විත්තිකරුවන් අතර විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු, ත්‍රිරෝද රියැදුරන්, නිට්ටඹුව නගරයේ ව්‍යාපාරිකයින් වෙළෙඳසල් සේවකයින් ඇතුළු නිට්ටඹුව හා ඒ අවට ප්‍රදේශවල පදිංචි පුද්ගලයෝ වූහ.
නඩු විභාගයේදී පොලිස් නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, වෛද්‍යවරුන්, ප්‍රභූවරුන් හා භික්ෂූන් වහන්සේ ඇතුළු පුද්ගලයින් 80 දෙනෙකුගෙන් පමණ සාක්කි ලබා ගැනිණි.
තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටි අතර රිමාන්ඩ් භාරයට පත් කර ඇති විත්තිකරුවෝ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
විත්තිකරුවන් 41 දෙනෙකු සම්බන්ධයෙන් වන ඉතා සංකීර්ණ මෙන් ම විශාල නඩුවක් වන මෙහි පැමිණිල්ලේ ලිඛිත දේශනය පිටු 695කින් සමන්විත වූ අතර විත්තිකරුවන් 37 දෙනා සම්බන්ධයෙන් වෙන වෙන ම ලිඛිත දේශන හා වාචික දේශන ඉදිරිපත් කර තිබිණි.
































