අරගල සමයේ හානි වූ නිවාස වෙනුවෙන් 'සීමාව ඉක්මවා වන්දි ගැනීම: ගෝඨාභය ඇතුළු පිරිසකට නොතීසි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2022 වසරේ මැයි මස 09 වන දා අරගලයට පහර දීමෙන් පසුව දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධි හමුවේ සිය නිවාස ගිනි තැබීම හේතුවෙන් සිදුවූ හානි වෙනුවෙන් නීතියට පටහැනි ලෙස වන්දි ලබා ගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකට මෙම නඩුකරය සම්බන්ධ නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට අද (ජනවාරි 28) දැනුම් දී තිබේ.
මෙම පෙත්සම අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ගිහාන් කුලතුංගගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබිණි.
පාරිසරික නීතිවේදියෙකු වන ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබේ.
පෙත්සමේ වගඋත්තරකරුවන් කවුද ?
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, හිටපු නාවික හමුදාපති නිශාන්ත උලුගේතැන්න, හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, ටිරාන් අලස් සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජගත් අල්විස් වෙත නොතිසි යැවීමට පියවර ගන්නා ලෙස ද අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් විය.
එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ගාමිණී පෙරේරා අධිකරණයට කරුණු දක්වමින් මෙම නඩුකරයේ වග උත්තරකරුවන් ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකගේ නිවැරදි ලිපින ඉකුත් දින අධිකරණය කළ නියෝගයකට අනුව මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර ඇති බව සඳහන් කළේ ය. ඒ අනුව එම වග උත්තරකරුවන්ට නොතිසි යැවීමට අවසර දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
ඒ අනුව, අදාළ වග උත්තරකරුවන් වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට නියෝග කරන ලදී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අධිකරණයේදී අද සිදුවූයේ කුමක් ද?
පෙත්සම්කරු පවසා ඇත්තේ 2022 වසරේ මැයි මස 09 වන දා දිවයින පුරා මැති ඇමතිවරුන්ගේ නිවාසවලට පහර දී ගිනි තබා අලාභහානි කිරීම්වලට අදාළව එවක රජය විසින් 43 දෙනෙකුට රුපියල් බිලියන 1.22ක මුදලක් වන්දි වශයෙන් ගෙවනු ලැබ තිබෙන බව ඉකුත් වසරේ පෙබරවාරි මස 5 වන දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකළ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළ බව ය. ඊට ඉකුත් රජයේ මැති ඇමතිවරුන් ගණනාවක් ඇතුළත් වන බව ඔහු සඳහන් කර තිබූ බව ද පෙත්සම්කරු පෙන්වා දුන්නේය.
පවතින නීතියට අනුව ස්වාභාවික ආපදාවකදී වුව ද සිදුවන හානි වෙනුවෙන් ගෙවිය හැකි උපරිම වන්දි මුදල රුපියල් මිලියන 2.5ක් බවත් පෙත්සම්කරු පෙන්වා දී තිබේ. එහෙත් ඇතැම් හිටපු ඇමතිවරුන් එම නීතිමය සීමාව ඉක්මවා වන්දි මුදල් ලබාගෙන තිබෙන බවත් එය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බවත් පෙත්සම්කරු චෝදනා කළේ ය.
මෙලෙස නීතිය ඉක්මවා රජය තෝරා ගත් පුද්ගලයින්ට විශාල වශයෙන් වන්දි මුදල් ගෙවීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
ඊට අමතරව මෙම වන්දි මුදල් ප්‍රදානය කිරීමේ ක්‍රමවේදය පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසත්, ඊට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් නියෝගයක් නිකුත් කරන ලෙස අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබේ.
එවැනි විමර්ශනයකින් පසුව නීතිය ඉක්මවා වන්දි මුදල් ලබා ගත් පුද්ගලයින්ගෙන් එම වන්දි යළි අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්, සාධාරණ ක්‍රමවේදයක් යටතේ ඔවුන්ට හිමි විය යුතු වන්දි ගෙවීමට පියවර ගන්නා ලෙස රජයට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
ඉන් අනතුරුව මෙම නඩුකරය සලකා බැලීම සඳහා මැයි මස 8 වන දා යළි කැඳවීමට අධිකරණය දින නියම කළේ ය.














