"අරගලය අවසන් නැහැ,ඉදිරියට ගෙනියනවා"

වීඩියෝ ශීර්ෂ වැකිය, "අරගලය අවසන් නැහැ, ඉදිරියට ගෙනියනවා" -අරගලකරුවන් පවසයි

පාර්ලිමේන්තුව විසින් වැඩි ඡන්ද 52කින් ජනපති පදවිය සඳහා රනිල් වික්‍රමසිංහ පත්කරගෙන ඇති මේ අවස්ථාවේ දී ගාලු මුවදොර ගෝඨාගෝගම අරගල භූමියේ අරගලකරුවන් මාධ්‍ය හමුවක් පැවැත්වීය.

අරගලය අවසන් නැතිබව ද, ඉදිරියටම ගෙනයනබව ද ඔවුහු මාධ්‍ය හමුවේ කියා සිටියහ.

එහිදී, අරගලය මහජන ජයග්‍රහණ අත්කරගත්, ජීවිත පූජා කළ අරගලයකැ යි ජීවන්ත පීරිස් පියතුමා කියා සිටියේ ය. අරගලයේ දෙවන අරමුණ වන්නේ රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වීමබව ඔහු ප්‍රකාශ කළේ ය.

ටැම්පිටියේ සුගතානන්ද හිමි මෙහිදී කියාසිටියේ රනිල් වික්‍රමසිංහ නව පදවියට පත්වූයේ ප්‍රජාතන්ත්‍රවාදී-විරෝධීව බවකි.

"රනිල් පිටුපස ඉන්නේ කවුද? මේ රටේ මහජනතාව රනිල්ව පත්කරන්න කිව්වේ නෑ. වෙනත් අභිලාෂයන්වලට මේ පත්වීම සිදුවුණේ," උන්වහන්සේ කියා සිටියෝ ය.

ජනතාව පීඩාවට පත්කළේ පවතින රජය විසින්යැ යි මෙහිදී නීතිඥ නුවන් බෝපගේ ප්‍රකාශ කළේ ය. මෙයට පාර්ලිමේන්තුව වගකිව යුතුබව ද, මෙම සතියේ සිට ජනතාවට නැවතත් පාරට බසින්නට සිදුවන යුගයක් ඇතිවේයැ යි ද ඔහු පැවසුවේ ය.

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර පැවසුවේ, "ජනාධිපති වුණේ රනිල් නෙමෙයි ගෝඨාභය, ගෝඨාභයලාගේ අවතාර," බව යි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ද මෙසේ පැවසීය: "අරගලය ගෝඨාභය එලවන්න සමත්වෙලා තියෙද්දිත් පාර්ලිමේන්තු තුළ කුමන්ත්‍රණය කරනවා. පොහොට්ටුවේ මන්ත්‍රීවරු තමන්ගේ හොරවැඩ වහගන්න, ඇමතිකම් කරගන්න රනිල් ජනාධිපති කළා."

රනිල් වික්‍රමසිංහ ජනපතිධුරයට ගෙන ආවේ "රාජපක්ෂලාගේ හොරවැඩ" නිසාවෙන්, වික්‍රමසිංහ ධුරයෙන් පළවාහැරීම පිණිස අඛන්ඩව අරගලය ගෙනයනබව ඔහු පැවසීය.

මේ වන විට ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුවේ සිට මීටර් 50ක ප්‍රදේශයට කිසිදු පාර්ශවයක් ඇතුළුවීම වළකමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (ජූලි 20) නියෝගයක් නිකුත්කර ඇත.

පිළිමයට හානි කිරීමට සූදානමක් පවතින වගට තොරතුරු ලැබී ඇතැ යි පවසමින් කොටුව පොලීසිය අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම පියවර ගත්බව පැවසේ.