ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයකට 'සූදානම්'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලාහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පළමුවරට මේ වසර අගදී පාකිස්තානයේ සංචාරයක නිරත වීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
සෙනසුරාදා (අගෝස්තු 12) කොළඹ පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුව අවසානයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහය අවසානයේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල, ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් වරක් පාකිස්තානයේ සංචාරයක නිරත කරවීමට තමන් මහත් උනන්දුවෙන් සිටින බව කියා සිටියේය.
පාකිස්තානයේ ආරක්ෂක වාතාවරණය යහපත් බව ඒ පිළිබඳව විමසා බැලූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂඥයන් වාර්තාකර තිබෙන බැවින් ලබන සැප්තැම්බර් මාසයේ පාකිස්තානය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරග තුනෙන් එකක් හෝ ලාහෝරයේ පැවැත්වීම සිය අභිප්‍රාය බවත් සභාපතිවරයා සඳහන් කළේය.
සබැඳි යොමු:
දැනට සැලසුම් කර තිබෙන පරිදි අනෙක් විස්සයි විස්ස තරග දෙක ඩුබායි නුවර පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිතය.
මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් පාකිස්තානයේ සංචාරයක නිරතව සිටියදී 2009 මාර්තු 03 වෙනි දින ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණය අසලදී ශ්‍රී ලංකා කණ්ඩායම ත්‍රස්ත ප්‍රහාරකයට ලක්විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එහිදී පාකිස්තාන පොලිස් නිලධාරීන් හය දෙනෙකු සහ සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු මරුමුවට පත් වූ අතර, තිලාන් සමරවීර, උප නායක කුමාර් සංගක්කාර, අජන්ත මෙන්ඩිස්, තරංග පරණවිතාන, චමින්ද වාස්, සුරංග ලක්මාල් සහ නායක මහේල සුලු තුවාල ලැබූහ.
ඉන් අනතුරුව ආරක්ෂක හේතුන් මත සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කළ අතර, එදා මෙදා තුර පාකිස්තානයේ සංචාරය කර තිබෙන්නේ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායම එම සංචාරයේ යෙදවීම පිළිබඳව කුමාර් සංගක්කාර සහ අමාත්‍ය අර්ජුන රණතුංග අතර මෑතදී වාග් සංග්‍රාමයක් ද හටගත්තේය.
ඉන් අනතුරුව 2011 ලෝක කුසලානයේ අවසාන මහා තරගය සම්බන්ධයෙන් පරීක්ෂණයක් අවශ්‍ය බව අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කළ අතර, බීබීසී සිංහල සේවය සමග සජීවී ෆේස්බුක් සංවාදයකට එක් වූ කුමාර් සංගක්කාර, අමාත්‍යවරයාගේ යෝජනාව තමන් ද අනුමත කරන බව කියා සිටියේය.









