සැකකාර මහාධිකරණ විනිසුරුවරියක නීතිපති උපදෙස් මත නිදහස් කිරීම වැළැක්වීමට අධිකරණයට ඉල්ලීමක්

පැමිණිලිකරු සහ ඔහුගේ නීතිඥයන් දෙදෙනා කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට මාධ්‍ය වෙත අදහස් දක්වමින්
    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

දණ්ඩ නීති සංග්‍රහය යටතේ සාපරාධී බිය ගැන්වීම සහ ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකුගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනාව එල්ල වී ඇති වත්මන් අම්පාර මහාධිකරණ විනිසුරු ජයලක්ෂි ද සිල්වා යන චූදිතයා නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට විරෝධය දැක්වීමට කරුණු ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස වින්දිත පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෝ ඊයේ (මාර්තු 11) කල්මුණේ මහේස්ත්‍රාත් කේ.එල්.එම්. සාජිත්ගෙන් ඉල්ලීමක් කළහ.

ඊයේ එම නඩුව කැඳවූ අවස්ථාවේදී පෙරියනීලාවනෙයි පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී. ගජේන්ද්‍රන් සිද්ධිය පිළිබඳ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින්, නීතිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ, සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්නගේ අත්සන සහිතව අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත යොමු කර තිබූ උපදෙස් මාලාව ඉදිරිපත් කළේ ය.

එම ලිපිය මගින් දන්වා තිබුණේ, සැකකාරියට එරෙහිව තවදුරටත් නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බැවින් ඇය නිදහස් කළ හැකි බව මහේස්ත්‍රාත්වරයා වෙත දන්වන ලෙස ය. ඉන්පසුව ඒ පිළිබඳව අධිකරණය ගත් ක්‍රියාමාර්ග දින 14ක් ඇතුළත දැනුම් දෙන ලෙස එහි දක්වා තිබිණි.

කෙසේ වෙතත්, පොලිසිය ඉදිරිපත් කළ එම වාර්තාවේ ඇතැම් දෝෂ පවතින බව නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා එම කරුණු නිවැරදි කරමින් අවසන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේ ය.

මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නීතිපති උපදෙස් සම්බන්ධයෙන් වින්දිත පාර්ශවය වෙනුවෙන් විරෝධතා ගොනු කිරීම සඳහා අවස්ථාව ලබා දෙමින් නඩුව ලබන 30 වන දා දක්වා කල් තැබීමට නියෝග කළේ ය.

නොතාරිස්වරයෙකුට බලපෑම් කළ බවට වන නඩුවක සැකකාරියක ලෙස නම් කර ඇති මහාධිකරණ විනිසුරුවරියකගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය ජනවාරි 21 වන දා නියෝග කර තිබිණි.

සැකකාරිය, නොතාරිස්වරයෙකු වන මොහොමඩ් හනීෆාහට පැමිණිලිකරුගේ ඉඩමක ඔප්පුවක් ලිවීම සම්බන්ධයෙන් 2022 වසරේදී ජංගම දුරකතනය ඔස්සේ තර්ජනය කර ඔහුගේ නිල රාජකාරි ඉටු කිරීම වළක්වා ඇති බවට මෙම සැකකාර මහාධිකරණ විනිසුරුවරියට චෝදනා එල්ල වී තිබේ.

කල්මුණේ මහේස්ත්‍රාත් කේ.එල්.එම්. සාජිත් ඉදිරියේ ජනවාරි 21 වන දා විවෘත අධිකරණයේදී නඩුව කැඳවූ විට, පෙරියනීලවානෙයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ, සැකකාරියගේ ප්‍රකාශය තවමත් සටහන් කරගෙන නොමැති බව ය. නඩු ගොනුව සම්බන්ධයෙන් පොලිස් නීති අංශයෙන් නීති උපදෙස් තවමත් අපේක්ෂා කරන බව පොලිසිය අධිකරණයට පවසා තිබේ. එබැවින් එම උපදෙස් ලැබීමෙන් පසු අධිකරණයට වාර්තා කිරීමට පොලිසිය වෙනත් දිනයක් ඉල්ලා සිටියේ ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මුබාරක් මුවාසම් මෙම ඉල්ලීමට විරුද්ධ වූ අතර, පෙර නඩු විභාගයේදී මහේස්ත්‍රාත්වරයා පැහැදිලිව ම සැකකාරියගේ ප්‍රකාශය සටහන් කර අපරාධ නඩු විධාන සංග්‍රහයේ අදාළ වගන්ති යටතේ අවසන් වාර්තාවක් හෝ චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙස පොලිසියට නියෝග කර ඇති බව ඔහු අධිකරණයට දැනුම් දුන්නේ ය. පොලිසිය නැවත නැවතත් නඩුව කල් දැමීමට නඩුව ප්‍රමාද කරන බවට ඔහු තර්ක කළ අතර, යුක්තිය සහතික කිරීම සඳහා ස්ථිර නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

දෙපාර්ශ්වයේ ම කරුණු සැලකිල්ලට ගෙන, සැකකාරියගේ ප්‍රකාශය වහා ම සටහන් කර අවසන් වාර්තාව ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ ය.

මෙම නඩුවට මුල්වී ඇත්තේ, 2022දී මහාදේවන් මුරලිදරන් නම් පුද්ගලයෙකු විසින් පෙරියනීලවානෙයි පොලිසියට කරන ලද පැමිණිල්ලක් ය. 2022 නොවැම්බර් 28 දිනැති බී වාර්තාවක් කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ, ඒ අනුව ය.

මෙම බී වාර්තාවට අනුව, සැකකාරිය වන මහාධිකරණ විනිසුරුවරිය ඉඩම් පැවරීමේ ඔප්පුවක් සකස් කර සහතික කළ නොතාරිස්වරයෙකුට තර්ජනය කර ඔහුගේ නිල රාජකාරි ඉටු කිරීමෙන් වළක්වන ලද බවට චෝදනා එල්ල විය.

දණ්ඩ නීති සංග්‍රහයේ 344 සහ 486 වගන්ති යටතේ වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් සැකකාරියට චෝදනා වී තිබේ.

පැමිණිලිකරු විසින් සැකකාර විනිසුරුවරියගේ සහ නොතාරිස්වරයාගේ ජංගම දුරකතන අංක ද පැමිණිල්ලට ඉදිරිපත් කරනු ලැබ තිබූ අතර, අධිකරණ නියෝග අනුගමනය කරමින්, පොලිසිය දුරකතන සේවා සමාගම් හරහා ඇමතුම් වාර්තා සහ අනෙකුත් විදුලි සංදේශ දත්ත ලබාගෙන තිබේ.

ඒ අනුව සැකකාරිය විසින් නොතාරිස්වරයාට දුරකතන ඇමතුමක් ලබාගෙන ඇති බවට පොලිසිය අධිකරණයට දන්වා තිබේ.

2025 දෙසැම්බර් 03 වන දින, අම්පාර මහාධිකරණ විනිසුරුවරියක වන ජෙයලක්ෂි ද සිල්වා සැකකාරියක් ලෙස නම් කර අධිකරණයට දැනුම් දී තිබේ. ඉන්පසු මහේස්ත්‍රාත්වරයා පොලිසියට උපදෙස් ලබා දී ඇත්තේ පරීක්ෂණ ඉක්මනින් අවසන් කර අවසන් වාර්තාවක් හෝ චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන ලෙස ය.

2026 ජනවාරි 07 වන දින නඩුව කැඳවූ විට පොලිසිය ප්‍රකාශ කළේ, සැකකාරිය මහාධිකරණ විනිසුරුවරියක ලෙස කටයුතු කිරීම හේතුවෙන් උපදෙස් සඳහා නඩු ගොනුව නීතිපතිවරයා වෙත යවා ඇති බව ය. එමෙන් ම උපදෙස් ලබා ගැනීමට ඔවුහු අමතර කාලයක් ඉල්ලා සිටියහ.

පැමිණිලිකරුගේ නීතිඥවරයා විරෝධය පළ කරමින් කියා සිටියේ, සියලු පුද්ගලයින් නීතිය ඉදිරියේ සමාන බව ය.

සැකකාරියගේ ප්‍රකාශය පළමුව සටහන් නොකර නඩු ගොනුව නීතිපතිවරයා වෙත යැවීම නිවැරදි නොවන බවට මහේස්ත්‍රාත්වරයා පවසා තිබිණි.