'මම වරදක් කරනවා නම් අධිකරණය හමුවට යන්න': නීතිපතිට එල්ල කරන චෝදනා ගැන නීතිපති පාරින්ද රණසිංහගෙන් ප්‍රකාශයක්

ඡායාරූප මූලාශ්‍රය, Provided
- Author, බීබීසී සිංහල
වත්මන් නීතිපති පාරින්ද රණසිංහගේ ක්‍රියා කලාපය සම්බන්ධව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් මතු කරමින් සිටින අතර, නීතිපතිවරයාට විරුද්ධව මෙන් ම පක්ෂව ද කණ්ඩායම් වශයෙන් බෙදී අදහස් පළ කරන ආකාරයක් දැකගත හැකි ය.
ඇතැම් පිරිස් වත්මන් නීතිපති, ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ දූෂිත දේශපාලකයන් ඇතුළු පිරිස් ආරක්ෂා කිරීමට කටයුතු කරනු ලබන බවට චෝදනා කරන අතර, නීතිපතිවරයාට පක්ෂපාතී ලෙස අදහස් දක්වන පිරිස් පෙන්වා දෙන්නේ, නීතිපතිවරයාට දේශපාලන බලපෑම් එල්ල කරමින් එම තනතුරේ ස්වාධීනත්වයට හානි කිරීමට කටයුතු කරන බව ය.
නීතිපතිවරයා සම්බන්ධව මෙසේ සමාජය තුළ අන්දෝලනයක් ඇති වීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පවරා ඇති නඩුව හේතුවක් වී ඇති බව සමාජ මාධ්‍ය නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වේ.
ඉන් කියවෙන්නේ, එම නඩුව සම්බන්ධව නීතිපති දෙපාර්තුමේන්තුව තුළ බෙදුණු මතයක් පවතින බව ය. එක් පිරිසක් නඩුව ඉදිරියට ගෙන යා හැකි බවටත්, අනෙක් පාර්ශවය නඩුව ඉදිරියට ගෙන යාමට නොහැකි බවටත් තර්ක කරන බව සමාජ මාධ්‍ය සටහන් තුළ සඳහන්ව තිබේ.
මේ අතර, පාරින්ද රණසිංහ නීතිපති ධූරයෙන් ඉවත් කළ යුතු බවට විරෝධතාවක් ද අද (ජන: 21) කොළඹදී පැවතිණි.
'රනිල්ගේ නඩුව දියාරු කිරීමට නීතිපති උත්සහ කරනවා'
හිටපු මාධ්‍යවේදියෙකු, වෘත්තීය සමිති නායකයෙකු මෙන් ම ගත් කතුවරයෙකු ද වන මේ වන විට විදෙස්ගතව දිවිගෙවන සනත් බාලසූරිය පසුගිය වසරේ දෙසැම්බර් 24 වන දා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්, "රනිල්ගේ නඩුව දියාරු කිරීමේ නීතිපති වෑයම පරාජය වන ලකුණු! රනිල් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවට?" යැයි සටහන් තබා තිබිණි.
ඉන් පසුවත් ඔහු මේ සම්බන්ධ දීර්ඝ සටහන් කිහිපයක් ම පළ කර තිබෙනු ඔහුගේ ෆේස්බුක් ගිණුම නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකි විය.
එහි එක් සටහනක නීතිපති දෙපාර්තුමේන්තුවේ සිදුවූ සාකච්ඡා දෙකක් පිළිබඳව සටහන් කරන සනත් බාලසූරිය, හිටපු ජනාධිපතිවරයාට එරෙහි නඩුව අඩපණ කිරීමට හා කඩකප්පල් කිරීමට නීතිපතිවරයා ඇතුළු එම දෙපාර්තුමේන්තුවේ ඔහුට හිතවත් පිරිස් දැරූ උත්සහය පරාජය වී ඇතැයි සටහන් කර තිබේ.
එමෙන් ම, නීතිපති දෙපාර්තුමේන්තුවේ පැවති සාකච්ඡාවකදී නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගන්නා ලද නඩු 6කට අදාළ ලිපි ගොනු සම්බන්ධව සාකච්ඡා වී ඇති බවත්, ඉන් නඩු 4ක් නැවත පැවරීමට කටයුතු කළ හැකි බවට නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් වෙතින් අදහස් පළව ඇති බවත් සනත් බාලසූරිය සිය සටහනේ දක්වා ඇත.
නීතිපතිවරයාට අමතරව පෞද්ගලික පුවත්පතකට මෙන් ම හිටපු දේශපාලනඥයන් කිහිප දෙනෙකුට ම සනත් බාලසූරිය සිය සටහන් හරහා චෝදනා කර තිබේ.
'යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට එල්ල වන මරු පහරක්'
නීතිපතිවරයාට එල්ල වන චෝදනා එම ධූරයේ ස්වාධීනත්වයට කරන බලපෑමක් බව Free Lawyers සංවිධානය පවසයි.
"සංවිධානාත්මකව අසත්‍ය හෝ පදනම් විරහිත චෝදනා එල්ල කිරීම හරහා නීතිපතිවරයාගේ ස්වාධීන ක්‍රියාකාරීත්වය අහිමි කිරීමට, ඔහුගේ ගෞරවයට හානි කිරීමට හා ජන විශ්වාසය පළුදු කිරීමට කණ්ඩායමක් උත්සහ දරන බව පැහැදිලි යි," යනුවෙන් එම සංවිධනයේ ෆේස්බුක් පිටුවෙහි සටහන් කර ඇත.
නීතිපති තනතුර, රජයේ නීතිඥවරයා මෙන් ම රජයේ ප්‍රධාන නඩු පවරන්නා වන අතර එය ස්වාධීන තනතුරක් බවත්, එම තනතුරේ ස්වාධීනත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආරක්ෂා කර ඇති බවත් එම සටහනේ දැක්වේ.
"මෙවැනි බලපෑම් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට එල්ල වන මරු පහරකි. මෑතකදී (2025 පෙබරවාරි) සනත් බාලසූරිය මහතාගේ Facebook පළ කිරීමෙන් හේතුවෙන් ක්‍රිෂ් මුදල් විශුද්ධිකරණ නඩුවේ විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත් වූ ආකාරය මෙයට උදාහරණයකි. එවැනි උත්සහයන් නීතිපති දෙපාර්තුමේන්තුවට පමණක් නොව, සමස්ත අධිකරණ පද්ධතියට (ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය ඇතුළුව) ද එල්ල වී අකර්මණ්‍ය කළ හැකි ය."
'ආණ්ඩුවට දැන් නීතිපතිතුමාට පහර ගහන්න ඕන වෙලා තියෙනවා'
Free Lawyers සංවිධානයේ හිටපු ආණ්ඩුකාර, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, පසුගිය දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආණ්ඩුව නීතිපතිවරයාට බලපෑම් කරන බවට චෝදනා කළේ ය.
"ආණ්ඩුවේ අලුත් ම තත්ත්වය මොකක් ද, ආණ්ඩුවට දැන් නීතිපතිතුමාට ගහන්න ඕන වෙලා තියෙනවා. මේ රටේ නීතිපතිතුමා කියන්නේ ආණ්ඩුවේ ගැත්තෙක් නෙමෙයි. රාජ්‍ය නිලධාරියෙක් වුණාට නීතිපතිතුමා ක්‍රියාත්මක කරන්නේ අර්ධ අධිකරණ බලයක්. නීතිපතිතුමාට පුළුවන් ඕනෑ ම නඩුවක් පාඩම් කරලා, මේ නඩුව කරගෙන යනවා ද, මේ නඩුව ඉල්ලා අස්කරගන්නවා ද කියලා තීරණයක් ගන්න. ඒ තරම් බලයක් නීතිපතිතුමාට තියෙනවා. ඒ බලය කාටත් බලපෑම් කරලා ඒ බලය අයුතු ලෙස පාවිච්චි කරන්න කියන්න බැහැ. දැන් මේ ඉන්න නීතිපතිතුමා ඉතාමත් ම ස්වාධීනව වැඩ කරන නීතිපතිවරයෙකු හැටියට ආණ්ඩුවට මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ආණ්ඩුවට ඕන වෙලා තියෙන්නේ මේ නීතිපතිතුමාව රූකඩයෙක් වගේ නටවන්න. මේ නීතිපතිතුමාව රූකඩයක් වගේ නටවලා ආණ්ඩුවට ඕන විදියට නඩු දාන්න."
නීතිඥ සංගමයේ දැඩි කනස්සල්ල
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් නීතිපතිවරයාගේ කාර්යභාරයට සහ ස්වාධීනත්වයට බලපෑම් කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එල්ල වන අසාධාරණ විවේචන සහ මැදිහත්වීම් පිළිබඳව දැඩි කනස්සල්ල පළ කර තිබේ.
නීතිඥ සංගමය අවධාරණය කරන්නේ, නීතිපතිවරයා විසින් සිදු කරනු ලබන "අර්ධ-විනිශ්චයකාරී" කාර්ය භාරයට බාධා කිරීම නීතියේ ආධිපත්‍යයට එල්ල වන තර්ජනයක් බව ය.
නීතිපතිවරයා අධිචෝදනා ගොනු කිරීම හෝ නඩු පැවරීම සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ මහජන මතය හෝ හැඟීම් මත නොව, ඉදිරිපත් කර ඇති සාක්ෂිවල නීතිමය වලංගුභාවය මත පමණක් බව සිහිපත් කරන නීතිඥ සංගමය, නීතිමය තීරණ ඇතැම් විට ජනප්‍රිය මතයට වඩා වෙනස් විය හැකි නමුත් නීතියේ ආධිපත්‍යය පවතින්නේ එවැනි තීරණ සමාජ මාධ්‍ය නඩු විභාගවලින් ආරක්ෂා කිරීමට බව අවධාරණය කරයි.
නීතිපතිවරයාගේ තීරණ අභියාචනාධිකරණය හමුවේ රිට් ආඥාවක් මගින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් අභියෝගයට ලක් කිරීමට ඕනෑ ම අයෙකුට හැකියාව පවතින බව පෙන්වා දෙන නීතිඥ සංගමය, නීතිපතිවරයාගේ තීරණ විවේචනය කළ යුත්තේ නීතිමය රාමුවක් තුළ බව සිය නිවේදනයේ දක්වා ඇත.
නීතිපති කාර්යාලයේ නිලධාරීන්ට එල්ල වන අනවශ්‍ය බලපෑම් සහ බාධා කිරීම් වැළැක්වීමට රජය සහ නීතිය බලාත්මක කරන ආයතන වහා ම පියවර ගත යුතු බව අවධාරණය කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය, දේශපාලනික හෝ පටු අරමුණු ඉටුකර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවල ස්වාධීනත්වය පාවා නොදිය යුතු බව එහි බව ද නිවේදනය කර තිබේ.
නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේනවා ද?
නීතිපතිවරයාට එරෙහිව පළ කරන විරෝධය හමුවේ ඔහුට එරෙහිව දෝෂභියෝගයක් ගෙන ඒමට රජයේ සූදානමක් ඇත්දැයි අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ.
"නෑ, එහෙම එකක් දැනට සාකච්ඡාවේ නෑ," කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස ඊට පිළිතුරු දෙමින් පැවසීය.
නඩු ප්‍රමාද වීම, ගොනුවලට නීතිපති උපදෙස් නොලැබීම සම්බන්ධව මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අතර එහිදී ඔහු කියා සිටියේ කැබිනට් මණ්ඩලයේ මේ පිළිබඳව සාකච්ඡා නොකළ බව ය.
"කැබිනට් මණ්ඩලයේ ඊයේ සාකච්ඡා වුණේ නැහැ ඔය ගැන, ඒ නිසා මට දීර්ඝව කරුණු ඉදිරිපත් කරන්න බැහැ ඔය ගැන. නමුත් ඔබ දකින දේ සම්බන්ධව අපිත් සැලකිල්ලෙන් ඉන්නේ කියන එක ගැන මට කියන්න පුළුවන්," අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් කියා සිටියේ ය.
නීතිපතිවරයා යනු කවුද? එම තනතුරට හිමි බලතල මොනවා ද?
රජය වෙනුවෙන් පත් කර ඇති නීතිඥවරුන් සම්බන්ධ වී සිටින ආයතනය, නීතිපති දෙපාර්තුමේන්තුව වන අතර එහි ප්‍රධානියා නීතිපතිවරයා වෙයි.
රජයට සම්බන්ධ ඕනෑ ම නඩු කටයුත්තකදී රජය වෙනුවෙන් නීතිපති දෙපාර්තුමේන්තුව මැදිහත් වේ.
නීතිපති දෙපාර්තමේන්තුවේ ධූරාවලිය තුළ නීතිපතිවරයා ඉහළින් ම සිටින අතර සොලිස්ටර් ජනරාල්, අතිරේක සොලිස්ටර් ජනරාල්වරුන්, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරුන්, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරුන්, රජයේ අධිනීතිඥවරුන්ගෙන් සහ රාජ්‍ය නීතිඥවරුන්ගෙන් නීතිපති දෙපාර්තමේන්තුව සමන්විත ය.
අපරාධමය වැරදි පිළිබඳව මහේස්ත්‍රාත් අධිකරණවල සහ මහාධිකරණවලත් නඩු ගොනු කිරීම, නඩු මෙහෙයවීම වැනි පුළුල් බලතල නීතිපතිට හිමි අතර මහාධිකරණ තුළ විභාග වන නඩු, තීන්දුව ලබා දීමට පෙර ඉල්ලා අස්කර ගැනීමේ බලය ද එම තනතුරට හිමිව තිබේ.
නීතිපතිගෙන් නීතිඥවරුන්ට ප්‍රකාශයක්
මේ අතර, නීතිපති පාරින්ද රණසිංහ නීතිඥයින් පිරිසක් හමුවී කතාබහ කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද මාධ්‍ය වෙත ලැබී තිබේ.
එහිදී ඔහු පවසන්නේ, "ඔබලා නීතිය ගැන දන්නවා. මම නීතියට ඉහළින් නෙවෙයි ඉන්නේ," යනුවෙනි.
"මම වරදක් කරනවා නම්, ශ්‍රේෂ්ඨාධිකරණය තියෙනවා, අභියාචනාධිකරණය තියෙනවා. කරුණාකරලා ඒ තැන්වලට ගිහින් අභියෝග කරන්න" නීතිපතිවරයා වැඩිදුරටත් පවසයි.















