රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුවේ විමර්ශන අවසන් කිරීම ගැන CID යෙන් අධිකරණයට දැනුම් දීමක්

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
- Author, බීබීසී සිංහල
බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් රාජ්‍ය මුදල් අවභාවිතා කළේ යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් වූ නඩුකරයේ විමර්ශන කටයුතු මාසයක කාලයක් තුළ අවසන් කර නඩු පැවරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (නොවැම්බර් 19) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මෙම දැනුම්දීම කළේය.
විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන්නැයි ඉල්ලයි
2023 වසරේ රුපියල් ලක්ෂ 166 කට වැඩි රාජ්‍ය මුදලක් වැය කරමින් බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වීම තුළින් එම රාජ්‍ය මුදල් අවභාවිතා කළේ යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලේ අත්‍යවශ්‍ය පුද්ගලයකු ලෙස හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක නම් කර ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් අධිකරණය විසින් නියෝග කර ඇත.
සමන් ඒකනායක වෙනුවෙන් අද දින පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයාගේ දියණිය විදේශගතව ප්‍රසූතියකට සූදානම්ව සිටින බව සඳහන් කළේය.
ඇය බැලීම සඳහා සිය සේවාදායකයාට අවශ්‍ය වී ඇති බවත් ඒ අනුව විදේශගත වීමට මෙවන විට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ සමන් ඒකනායක මෙම නඩුකරයේ අත්‍යවශ්‍ය පුද්ගලයෙකු වශයෙන් හඳුනාගෙන තිබෙන බවත් ඔහුට විදේශගත වීමට අවසර දෙන ලෙස කරන ඉල්ලීම සම්බන්ධයෙන් පැමිණිල්ල විරුද්ධ වන බවයි.
රනිල් වික්‍රමසිංහගේ ප්‍රශ්නගත සංචාරයට මුදල් අනුමත කර තිබෙන්නේත් සමන් ඒකනායක වන නිසා ඔහු සාමාන්‍ය අමාත්‍යංශ ලේකම්වරයෙකු නොව හිටපු ජනාධිපති ලේකම්වරයා බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියේය.
ඉකුත් නඩු දිනයේ අධිකරණය විසින් කළ නියෝගයට අනුව මේවන විට මෙම විමර්ශනය අදාළව පුද්ගලයින් පස් දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් නඩුවේ විමර්ශන කටයුතුවලින් සියයට 90ක් පමණ අවසන් වී තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.
බ්‍රිතාන්‍යයේ, වුල්ෆ්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් ලැබුණේ යැයි සදහන් කරමින් සැකකාර රනිල් වික්‍රමසිංහ විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන ආරාධනා පත්‍රය සම්බන්ධයෙන් ද විමර්ශන කරමින් පවතින අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
එම විමර්ශන කටයුතු මාසයක පමණ කාලයක් තුළ අවසන් කිරීමට හැකි වනු ඇති බවත් ඔහු පැවසීය.
ඉහළ අධිකරණයක් හමුවේ නඩු පැවරීමට පියවර
මෙම විමර්ශන කඩිනමින් අවසන් කර සැකකරුවන්ට එරෙහිව ඉහළ අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවත් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් සඳහන් කර සිටියේය.
එම අවස්ථාවේදී සමන් ඒකනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන බවට පැමිණිල්ල ප්‍රකාශ කරන හෙයින් අදාළ ඉල්ලීම ඉල්ලා අස්කර ගන්නා බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළි ජනවාරි මස 28 වනදා කැඳවන ලෙස නියෝග කළ අතර එදින මෙම විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියෝග කළේය.














