හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජාතික රෝහලෙන් පිටව යයි

Former President Ranil Wickremesinghe

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රෝහලෙන් පිටව ගොස් තිබේ.

2023 වසරේ බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් ඒ සඳහා රුපියල් ලක්ෂ 166ක රජයේ මුදල් වැය කර රජයේ අරමුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අගෝ. 22 වන දා අත්අඩංගුවට ගැනිණි.

එදින ම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර පැවති සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඔහු බන්ධනාගාර රෝහලටත් පසුව කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කෙරිණි.

අනතුරුව ඔහු එහි දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළත් කර තිබුණේ විජලන තත්ත්වයක් හේතුවෙන් මතු වූ සංකූලතා මත බව වෛද්‍යවරු පැවසූහ.

අගෝස්තු 26 වන දා ඇප මත නිදහස් කෙරුණ ද අද (අගෝස්තු 29) දක්වා ම ඔහු එහි ප්‍රතිකාර ලැබූ අතර අද පෙරවරුවේ ඔහු සාමාන්‍ය වාට්ටුවකට මාරු කර තිබිණි.

අධිකරණයේදී රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් හෙළි වූයේ මොනවා ද?

ඇප ලබා දුන් දින පැවති නඩු විභාගයේදී රනිල් වික්‍රමසිංහට පවතින රෝගී තත්ත්වයන් පිළිබඳව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේ ය.

"ස්වාමීනි, සැකකරුගේ හෘදය වස්තුවේ ධමනි තුනක් අවහිර වී තිබෙනවා. එම අවහිර වීම් හෘදය වස්තුව ආසන්නයේ පිහිටා තිබීම නිසා ශල්‍යකර්මයක් කිරීමට නොහැකි වී තිබෙනවා. දියවැඩියාව උත්සන්න වී තිබෙනවා. අධික රුධිර පීඩනය උත්සන්න වී තිබෙනවා. වකුගඩුවල රෝගී තත්ත්වයන් පවතිනවා. ඔහුට අග්න්‍යාශයේ උඩ කොටසේ සංකූලතාවක් තිබෙනවා. ඒ වගේ ම නින්දේදී හුස්ම හිරවීමක් සිදු වෙනවා. විනාඩි දෙක තුනක් හුස්ම හිරවෙනවා. වසර හතක් පමණ මෙම සැකකරුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් වෛද්‍යවරු තමයි මේ වාර්තා ඉදිරිපත් කර තිබෙන්නේ. ඔහු පැය 24 ම වෛද්‍ය අධීක්ෂණය මත සිටිය යුතු පුද්ගලයෙක්," ඔහු පැවසීය.

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මීට පෙර බීබීසීයට පැවසුවේ මොනවා ද?

ඒ අනුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලීම සඳහා බීබීසී සිංහල එදින ම කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සම්බන්ධ කර ගත්තේ ය.

එහිදී ඔහු අනාවරණ කළේ, හිටපු ජනාධිපතිවරයා "හෘදයේ පවතින රෝගී තත්ත්වය" හේතුවෙන් ඔහු "බයිපාස් හෝ ස්ටෙන්ට් සැත්කමකට" භාජනය විය යුතු බව ය.

"ඔහුට, දැන් ඇප ලැබිලා හින්දා කැමති රෝහලක් තෝරා ගත හැකියි. මගේ පෞද්ගලික මතය ඔහුව කෙලින් ම පෞද්ගලික රෝහලකට ගිහිල්ලා සැත්කමකට භාජනය වුණා නම් හරි. මොකද අපේ සැත්කමක් කරනවා නම් අවුරුදු 3ක පොරොත්තු ලේඛනයක සිටීමට ඔහුට සිද්ධ වෙනවා [බයිපාස් සැත්කමක් සඳහා]. ඇන්ජියෝ ස්ටෙන්ටින් එකක් කරන්න අවුරුදු එකහමාරක් වගේ ඉන්න සිද්ධ වෙනවා," නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.