හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇති වෙනත් චෝදනා සහ ඔහුගෙන් ප්‍රශ්න කෙරුණු අවස්ථා මොනවා ද?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කිරික්මෙන් පසුව බන්ධනාගාර බස් රථයෙන් ඔහුව රැගෙන යන ආකාරය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

2023 වසරේ සැප්තැම්බර් මස 22 සහ 23 යන දිනවල බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් ඒ සඳහා රුපියල් ලක්ෂ 166ක රජයේ මුදල් වැය කර රජයේ අරමුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දින අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

ඒ, ඔහු උක්ත චෝදනාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමෙන් අනතුරුව, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ය.

මේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එල්ල වී ඇති වෙනත් චෝදනා සමබන්ධයෙන් බීබීසී සිංහල සිදු කළ සොයා බැලීමකි.

Skip YouTube post
Google YouTube අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Google YouTube විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Google YouTube කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ. YouTube අන්තර්ගතයේ දැන්වීම් අඩංගු විය හැකි ය.

End of YouTube post

බටලන්ද සහ කර්මාන්ත ඇමති රනිල්

1980 දශකයේ අවසාන කාලයේදී එවකට රජය විසින් සිදු කරන ලද බවට චෝදනා එල්ල වූ නීතිවිරෝධී මිනී මැරුම්, කෲර වධ හිංසාවට ලක් කිරීම්, අනීතිකව රඳවා තබා ගැනීම් සමග නිරන්තරයෙන් කියවෙන ස්ථානයක් වන්නේ බටලන්ද වධාකාගාරය යි.

1988-1990 කාලවකවානුවේදී මෙම බටලන්ද නිවාස යෝජනා ක්‍රමය ආශ්‍රිතව අනීතිකව පොලිස් නිලධාරීන් ද මැදිහත්ව මෙලෙස විවිධ පුද්ගලයන් පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවට, වධ හිංසා පැමිණ වූ බවට ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් පත් කරනු ලැබූ ජනාධිපති කොමිෂන් සභාවේදී හෙළිදරව් විය.

මෙම කොමිෂන් සභාවේ ප්‍රසිද්ධ රැස්වීම් 1996 ජනවාරි 16 ආරම්භ වී දින 127ක් පවත්වා තිබෙන අතර සියලු රැස්වීම් කොළඹ අලුත්කඩේ මහාධිකරණ සංකීර්ණයේ අංක 2 මහාධිකරණය තුළ කැඳවා තිබේ.

කොමිසමේදී සාක්ෂිකරුවන් 82 දෙනෙකුගෙන් ප්‍රශ්න කර ඇති අතර, පෙර පැවති එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල චරිත වූ රනිල් වික්‍රමසිංහ, ජෝසෆ් මයිකල් පෙරේරා, ජෝන් අමරතුංග ඒ අතරින් කැපී පෙනෙන පුද්ගලයෝ වූහ.

කොමිසමේ වාර්තාවේ සඳහන් අන්දමට එවකට කර්මාන්ත අමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ එවකට රාජ්‍ය පොහොර නිෂ්පාදන සමාගමේ ඈවරකරු වූ අසෝක සේනානායක දුරකතනයෙන් අමතා පොලිස් නිලධාරීන්ට බටලන්ද නිවාස සංකීර්ණයෙන් නිවාස කිහිපයක් වෙන් කර දෙන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පොලිස් නිලධාරීන්ට බටලන්ද නිවාස සංකීර්ණයේ නිවාස ලබා දීම හුදෙක් ම රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත සිදුවූවක් බව ද, ඔහු එසේ උපදෙස් නොදුන්නේ නම් තමා එසේ පොලිස් නිලධාරීන්ට නිවාස ලබා දීමක් සිදු නොකරන බව ද රජයේ පොහොර නිෂ්පාදන සංස්ථාවේ ඈවරකරු වන අසෝක සේනානායක කොමිසම හමුවේ සාක්ෂි ලබා දී තිබේ.

මෙම නිවාස සංකීර්ණයේ A 2/2 නිවස 1983 මාර්තු 02 සිට 1994 අගෝස්තු මාසය දක්වා රනිල් වික්‍රමසිංහ තමා විසින් දරන ලද යෞවන කටයුතු සහ රැකීරක්ෂා අමාත්‍යවරයාගේ සංචාරක බංගලාව වශයෙන් ද, කර්මාන්ත අමාත්‍යවරයාගේ නිල නිවාසය වශයෙන් ද භාවිත කර තිබේ.

මේ සම්බන්ධයෙන් එවකට හිටපු කර්මාන්ත අමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහගෙන් කොමිසම ප්‍රශ්න කර ඇති අතර, එය කොමිසමේ සාක්ෂි දෙන විට ඝාතනයට ලක්ව සිටි හිටපු ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්නගේ ඉල්ලීමක් මත සිදු කළ බවට ඔහු පවසා තිබේ.

රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය පැවති B 2 නිවසේ ඔහුව රඳවා තබාගෙන වධ හිංසා පැමිණවූයේ යැයි ටී. එම්. බන්දුල යන අය කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇතැයි එම කොමිසම රනිල් වික්‍රමසිංහට පවසා ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඔහු විවිධ කටයුතු සඳහා එම නිවස භාවිත කළ නිසා එවැන්නක් සිදුවූයේ නම් තමා දැන සිටිය යුතු බවට ය.

නීතිඥ විජේදාස ලියනාරච්චිගේ මරණය

1988 අගෝස්තු 25 වන දින හෝ එදින ම නීතිඥ විජයදාස ලියනආරච්චි අතුරුදන් වී තිබිණි.

බටලන්ද කොමිසමේ ඉංග්‍රීසි වාර්තාවේ පිටු අංක 72හි සඳහන් ආකාරයට, හිටපු පොලිස්පති අර්නස්ට් පෙරේරාගේ සාක්ෂියට අනුව, 1988 අගෝස්තු 31 දින දහවල් 12ට පමණ රනිල් වික්‍රමසිංහ ඔහුව දුරකතනයෙන් අමතා සැකකරු [නීතිඥ විජයදාස ලියනආරච්චි] කොළඹට ගෙනැවිත් "කැලණි කොට්ඨාසය තුළ ක්‍රියාත්මක වන විශේෂ කණ්ඩායමට" භාර දීමට පොලිස්පතිවරයා කටයුතු කරනු ඇතැයි "තමා අපේක්ෂා කරන" බව දන්වා තිබේ.

සැප්තැම්බර් 02 දින ප.ව. 11.00ට පමණ තුවාල සහිතව නීතිඥ ලියනඅරච්චිව කොළඹ මහ රෝහලට ඇතුළත් කර තිබූ අතර, මධ්‍යම රාත්‍රිය ගත වී පැය භාගයක් පමණ ගත වන විට ඔහුගේ හදවත නතර වී තිබිණි.

වාර්තාවට අනුව පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහුගේ මරණයට හේතුව "මොට ආයුධවලින් සිදුකෙරුණු පහරදීම්" නිසා සිදුවූවක් බවට දක්වා ඇති අතර ඔහුගේ ශරීරයේ තුවාල 207ක් හඳුනාගෙන තිබිණි.

කොමිසමේ ප්‍රශ්න කිරීම් හමුවේ රනිල් වික්‍රමසිංහ මෙලෙස නීතිඥවරයා කොළඹට ගෙන එන ලෙස පොලිස්පතිවරයාට දුරකතනයෙන් උපදෙස් නොදුන් බව ඔහු පවසා ඇත.

Cover page of the Commission report of Batalanda

ඡායාරූප මූලාශ්‍රය, GOVERNMENT PRESS

බටලන්ද වාර්තාවෙන් එල්ල වන චෝදනා

1988 ජනවාරි 01 සිට 1990 දෙසැම්බර් 31 දක්වා කාලවකවානුව තුළ බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ කිසියම් පුද්ගලයෙකු හෝ පුද්ගලයින් රඳවා සිටියේ නම්, අමානුෂික හා ආත්ම ගෞරවය කෙළෙසන ක්‍රියාවකට ලක් වූයේ නම් එයට ඍජුව සහ අනියමින් වගකිවයුත්තන් බටලන්ද කොමිසමේ ඉංග්‍රීසි වාර්තාවේ පිටු අංක 119 සිට 122 දක්වා පිටුවල සඳහන් ය. එහි රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් පහත කරුණු දක්වා තිබේ.

  • 1986 සිට අවස්ථා කිහිපයකදී එවකට කර්මාන්ත අමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නිවාස පොලිස් නිලධාරීන්ට ලබා දීමට පොහොර සමාගමේ බලධාරීන්ට නියම කර ඇති අතර, ඔහු හරහා එම නිවාස 13ක් දක්වා ලබා ගැනීමට සහකාර පොලිස් අධිකාරී ඩග්ලස් පිරිස් වගකිවයුතු බව,
  • මෙලෙස නිවාස වෙන් කිරීමට රනිල් වික්‍රමසිංහ විසින් නියම කරනු ලැබීම, අමාත්‍යධූරයේ බලතල අයුතු ලෙස භාවිත කිරීමක් බව,
  • රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ කැඳවා තිබූ පොලිස් නිලධාරීන් සම්බන්ධ වූ රැස්වීම් කැඳවීමෙන් ඔහු බලය අයථා ලෙස භාවිත කර ඇති බව,
  • රනිල් වික්‍රමසිංහ පොලිසියේ රාජකාරීවලට සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාමාර්ගවලට මැදිහත් වී ඇති බව,
  • රනිල් වික්‍රමසිංහ සිදුකළ ඉල්ලීම් අනුව ලබා දුන් නිවාසවල නීතිවිරෝධී රැඳවුම් මධ්‍යස්ථාන පිහිටුවීමට පහසුකම් සැලසී ඇති බව,
  • B 2, B 8, B 34 හා A 1/8 යන බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නිවාසවල නීතිවිරෝධී රැඳවුම් ස්ථාන සහ වධකාගාර පැවැත්වීමට රනිල් වික්‍රමසිංහ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලීන් දෙල්ගොඩ අනියමින් වගකිවයුතු බව,

මහ බැංකු බැඳුම්කරය

ශ්‍රී ලංකා මහ බැංකුව තුළ බැඳුම්කර වෙන්දේසියේදී අපචාරයක් සිදුව ඇද්ද යන්න සම්බන්ධයෙන් විභාග කිරීමට ජනාධිපති කොමිසමක් පවා පත් කෙරුණු අතර එය ඉදිරියේ සාක්ෂි දීමට ද රනිල් වික්‍රමසිංහට සිදුවිය.

එම මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් චෝදනා ලබන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් එම පදවියට පත්කිරීම සහ ඔහු සම්බන්ධ වගකීම් පැහැරහැරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ විවේචනයට ලක්වූ අතර අදාළ අර්බුදය තවමත් විමර්ශන මට්ටමක පවතී.

2015 වසරේ යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව එම වසරේ පෙබරවාරි මස 27 වන දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැඳුම්කර වෙන්දේසියක් පවත්වන ලදී.

එම වෙන්දේසියේදී එවක මහ බැංකු අධිපතිවරයා වශයෙන් කටයුතු කළ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වූ අර්ජුන් ඇලෝසියස් අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් අදාළ බැඳුම්කර තොගයක් මිල දී ගන්නා ලදී.

රුපියල් බිලියන 10ක පමණ වටිනාකමකින් යුත් බැඳුම්කර ප්‍රමාණයක් අදාළ සමාගම විසින් මිලදී ගනු ලැබීම තුළින් රජයට විශාල පාඩුවක් සිදුවී ඇති බවට විවිධ පාර්ශව චෝදනා නඟා තිබිණි.

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බෑණාට වෙන්දේසියේදී ඉදිරිපත් වන මිල ගණන් පිළිබඳ රහස්‍ය තොරතුරු කලින් ලබා දීම නිසා එම බැඳුම්කර පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට මිල දී ගැනීමට හැකි වූ බවටත් චෝදනා එල්ල වී තිබිණි.

පසුව මේ පිළිබඳව සොයා බැලීම සඳහා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරනු ලැබී ය.

එම කොමිෂන් සභාව විසින් පවත්වන ලද විමර්ශනවලදී යහපාලන රජය සමයේ සිදුවූ ප්‍රශ්නගත බැඳුම්කර මිලදී ගැනීමේ සිද්ධි තුනක් පිළිබඳව කරුණු වාර්තා කර තිබිණි.

එම කොමිසම ඉදිරිපත් කළ වාර්තාවේ අන්තර්ගත කරුණු සහ සෙසු විමර්ශන දත්ත උපයෝගී කර ගනිමින් මේ වන විට අධිකරණය හමුවේ නඩු තුනක් ගොනුකර තිබේ.

Sri Lanka's former president Ranil Wickremesinghe arrives at court in Colombo, Sri Lanka, on August 22, 2025, following his arrest over allegations of misusing state funds during a visit to London in 2023, marking the first-ever arrest of a former Sri Lankan president

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක් නිරත වෙමින් ඒ සඳහා රුපියල් ලක්ෂ 166ක රජයේ මුදල් වැය කර රජයේ අරමුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි

පාස්කු ප්‍රහාරය සිදු වන විට අගමැති

2019 වසරේදී පාස්කු ඉරුදින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල කිතුනු දේවස්ථාන, සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වූ අතර, ඒ වන විට අගමැතිවරයා ලෙස කටයුතු කළේ රනිල් වික්‍රමසිංහ ය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා ද ඔහුව කැඳවිණි.

පාස්කු ඉරු දින ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ජාතික හා රාජ්‍ය බුද්ධි සේවා යොමු කළ ලිපි තමන්ට හෝ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට ලැබී නොතිබුණු බව එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සාක්ෂි දෙමින් පවසා තිබේ.

2018 වසරේ ඔක්තෝබර් මාසයේ සිට තමන්ට ආරක්ෂක කවුන්සිලයට ආරාධනා නොලැබුණු බවත් ඇතැම් තොරතුරු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයෙන් ලබා ගත් බවත් ඔහු පවසා තිබේ.

'අරගලකරුවන්' පාලනයට හදිසි නීතිය පැනවීමෙන් මූලික අයිතිවාසිකම් කඩ කිරීම

2022 වසරේ ජූලි මස 17 වන දා 'අරගලකරුවන්' පාලනය කිරීම සදහා එවකට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක පනත යටතේ රටපුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය 2025 ජූලි 23 තීන්දු කළේ ය.

වැඩබලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහජන ආරක්ෂක පනතේ 02 වගන්තිය යටතේ නිකුත් කරනු ලැබු හදිසි නීති රෙගුලාසි අත්තනෝමතික මෙන් ම බල ශූන්‍ය බව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කළහ.

එහෙත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අර්ජුන ඔබේසේකර සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, වැඩබලන ජනාධිපතිවරයාගේ හදිසි නීති පැනවීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය නොවන බව ය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වන අම්බිගා සත්කුණනාදන්, සිවිල් ක්‍රියාකාරීයෙකු වන සඳුන් තුඩුගල සහ ලිබරල් තරුණ ව්‍යාපාරය ඇතුළු පෙත්සම්කරුවන් පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

මෙම අවස්ථාවේ හදිසි අවස්ථාව ප්‍රකාශ කිරීමට හේතු වූ කරුණු මොනවා දැයි පැහැදිලි කරමින් වැඩබලන ජනාධිපතිවරයා අධිකරණය වෙත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර නොතිබූ අතර, ඒ අනුව මෙම හදිසි අවස්ථාව ප්‍රකාශ කිරීමට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබූ ලිපි ගොනුව අධිකරණයට කැඳවා පරීක්ෂා කරන ලදී.

එහිදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මෙන් ම මෙම හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීමට අදාළව කතානායකවරයා වෙත යොමු කළ ප්‍රකාශය ද ඊට ඇතුළත්ව තිබිණි.

එම තොරතුරු අනුව ප්‍රශ්නගත අවස්ථාවේ රට පුරා හදිසි අවස්ථාව ප්‍රකාශ කිරීමට තරම් සාධාරණ කරුණු ඉදිරිපත් වී තිබූ බවක් අධිකරණයට පෙනී නොයන බව ප්‍රකාශ විය.

වැඩබලන ජනාධිපතිවරයා විසින් පනවනු ලැබ තිබූ මෙම හදිසි අවස්ථා ප්‍රකාශය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි අත්තනෝමතික ප්‍රකාශයක් බව අධිකරණය විසින් තීන්දු කරන බව ත් විනිසුරු කෝදාගොඩ සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර විනිසුරුවරු නීතිපතිවරයා වෙත තවත් නියෝගයක් නිකුත් කරමින් මෙම නඩු තීන්දුව නිකුත් වූ දින සිට මාස තුනක් ඇතුළත එහි අන්තර්ගතය පිළිබඳව විමර්ශනය කර ජනාධිපති ලේකම් කාර්යාලයට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙස සඳහන් කළහ.

ඊට අමතරව පෙත්සම්කරුවන්ට නඩු ගාස්තු ගෙවන ලෙසත් බහුතර විනිසුරු මඩුල්ල විසින් රජයට නියෝග කළහ.