රනිල් වික්‍රමසිංහ:ජනපති සිහිනය ජයගත් හෙණ්ඩුව අත නොහරින ඇතරුවා

රනිල් වික්‍රමසිංහ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නව ජනපතිවරයෙකු තෝරා ගැනීම සඳහා අද පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්විය.

ඡන්ද 134ක් ලැබූ ඔහු වැඩි ඡන්ද 52කින් ජයග්‍රහණය කළේ ය. ඩලස් අලහපෙරුම ලැබූ ඡන්ද සංඛ්‍යාව 82කි.

රනිල් වික්‍රමසිංහ නායකත්ව සටනක යෙදී සිටින සෑම විටම රාජපක්ෂ වරුන් ඔහුව බේරාගැනීමට ඉදිරිපත් වන බව මෙරට දේශපාලන අවබෝධයක් ඇති සියලුම දෙනාට නොරහසකි. වරෙක ඔහුගේ එජාප නායකත්වයට අහියෝගයක් එල්ල වී ඇති මොහොතක පිටකෝට්ටේ සිරිකොත ඉදිරිපිට මාර්ගයට කාපට් යෙදීමට එම මාර්ගය වැසීම එයට කදිම උදාහරනයකි.

මෙ වරත් රනිල් වික්‍රමසිංහ ඔහුගේ වසර 45ක පාර්ලිමේන්තු අත්දැකීම් අතැතිව ශ්‍රී ලංකාවේ අට වන විධායක ජනපති කරවන්නට රාජපක්ෂ පවුල විශාල සේවයක් සිදුකළ බව කාටත් නොරහසකි.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ජුලි 13 දා දිවයිනෙන් පිටව ගිය අවස්ථාවේ සිට වැඩබලන ජනපතිධුරයේ කටයුතු කළ වික්‍රමසිංහ, කථානායකවරයා ජුලි 15 දා ජනපති ගෝඨාභයගේ ඉල්ලා අස්වීම නිවේදනය කිරීමෙන් පසු වැඩබලන ජනපතිධුරයේ දිව්රුම් දුන්නේ ය.

ජනපතිධුරයට පත්වීමට පෙර සයවරක් අගමැති පදවියේ දිව්රුම් දී ඇති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වැඩිම වාර ගණනක් අගමැතිබවට පත්වූ තැනැත්තා ද වේ.

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ අතරින් පැරණිතම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දෙන රනිල් වික්‍රමසිංහ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම් ලැබුවේ එක්සත් ජාතික පක්ෂයට හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයෙනි.

දශක හතරකට අධික දීර්ඝ දේශපාලන ඉතිහාසයක් සහිත රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා දේශපාලනයෙහි වැඩිම නිල පදවි සංඛ්‍යාවක් දරා ඇති දේශපාලන චරිත කිහිපය අතරට එක්වෙයි.

Ranil Wick

රජුන් තනන්නාගේ පුතා

ශ්‍රී ලංකා සිවිල් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුව සිට පසුව ඩීආර් විජේවර්ධන සමයෙහි 'ලේක්හවුස්' මාධ්‍ය ලෝකය පාලනය කළ එස්මන්ඩ් වික්‍රමසිංහ රනිල්ගේ පියා වන අතර මව, නාලිනී, ඩීආර් විජේවර්ධනගේ දියණියයි.

ඩීආර් විජේවර්ධන

ඡායාරූප මූලාශ්‍රය, dailynews.lk

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩීආර් විජේවර්ධන, රනිල් වික්‍රමසිංහගේ මුත්තණුවන්ය

තරුණ වියේ දී 'සම සමාජ වාදියකුව' සිටි එස්මන්ඩ් පසු කාලයෙහි 'ලේක්හවුස්' පාලනය පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු හදන අදිසි හස්තය වූ බව ප්‍රකට රහසක් විය. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පමණක් නොව රටේ පාලකයන් තීන්දු කිරීමෙහිලා සිය පියා විසින් ගෙනයන ලද "එස්මන්ඩ් මෙහෙයුම්" රනිල් ඇතුළු ඔහුගේ දරුවන්ට රහසක් නොවන්නට ඇත.

රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබ කොළඹ සරසවියේ නීති පීඨයට සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය හැදෑරූ රනිල් වික්‍රමසිංහ පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 1977 මැතිවරණ සමඟ බියගම ආසනයේ තරු ණ මන්ත්‍රීවරයා වශයෙනි.

1977 ජේ ආර් ජයවර්ධන රජයේ විදේශ කටයුතු භාර නියෝජ්‍ය ඇමතිවරයා ලෙස පත්කරනු ලැබීමත් සමඟ රනිල් වික්‍රමසිංහ විධායක දේශපාලන බලයේ එළිපත්ත තරණය කළේය. ඉතා කෙටි කලකින් අධ්‍යාපන, යෞවන සහ තරුණ කටයුතු භාර කැබිනට් ඇමති පදවි ඔහුට පවරනු ලැබිණි.

යොවුන් රනිල්ගෙන් යොවුන් පුරයක්

ජේ ආර් ජයවර්ධන රජයේ ප්‍රමුඛ කැබිනට් ඇමතිවරුන් විවිධ සුවිශේෂී ව්‍යාපෘතීන්ට නායකත්වය දුන් අතර එම රජයේ අගමැති ආර් ප්‍රේමදාසගේ නිවාස සහ උදාගම් වැඩ සටහන, ගාමිණී දිසානායකගේ මහවැලි කඩිනම් ව්‍යාපෘතිය සහ ලලිත් ඇතුලත්මුදලිගේ මහපොළ සංකල්පය ඒවා අතර ප්‍රධාන විය.

එම අවධියේ යෞවන සහ තරුණ කටයුතු භාර ඇමතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ විසින් 'යොවුන් පුර' වැඩපිළිවෙල පෙරට ගෙන ගියේය. එය තරුණයන් වෘත්තීය, කලා සහ ක්‍රීඩා වැනි අංශවලට ආකර්ෂණය කරගැනීමේ ව්‍යාපෘතියකි.

රනිල් සහ මහින්ද 2000 වසරේ දී

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දේශපාලන පොර පිටියේ පසමිතුරන් වුව ද රනිල් සහ මහින්ද සමීප මිතුරන් බව පැවසේ

රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමතිවරයා ලෙස ඉදිරිපත් කරන ලද 'අධ්‍යාපන ධවල පත්‍රිකාව' ඉතා දැඩිව විවේචනයට ලක්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් වූ අතර ඊට එරෙහිව නැගී සිටි පාසල් සහ සරසවි ශිෂ්‍ය ව්‍යාපාර සහ වෘත්තීය සමිති උද්ඝෝෂණ මර්දනයට ආණ්ඩුව විසින් බලය යොදවනු ලැබිණි.

1989 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු එවක ජනාධිපති ආර් ප්‍රේමදාසගේ පූර්ණ අනුග්‍රහය ලැබූ රනිල් වික්‍රමසිංහ එම පාර්ලිමේන්තුවේ සභානායක පදවියට පත්කරනු ලැබිණි.

ප්‍රේමදාස අභාවය සමඟ අගමැති පුටුවට

1993 මැයි පළමුවෙනිදා ජනාධිපති ආර් ප්‍රේමදාස LTTE ප්‍රහාරයකු විසින් ඝාතනය කරනු ලැබීමෙන් අනතුරුව එවක අගමැති පදවියේ සිටි ඩී බී විජේතුංග ජනාධිපති පදවියට අනුප්‍රාප්තවීමත් සමඟ ඇති වූ පුරප්පාඩුව සම්පූර්ණ කරමින් රනිල් වික්‍රමසිංහ අගමැති පදවියට පත්කරනු ලැබිණි. එය ඔහු අගමැති පදවියට පත් පළමු අවස්ථාව විය.

1994 මහ මැතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අගමැති පදවියට පත්වීමත් සමඟ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකයා බවට පත්විය.

ආර් ප්‍රේමදාස අවධියේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සිටි ගාමිණී දිසානායක යළි පක්ෂයට එක්වීමත් සමඟ 1994 ජනාධිපතිවරණයට තරග කිරීමේ අවස්ථාව රනිල්ට අහිමි විය. එහෙත් 1999 ජනාධිපතිවරණය සඳහා ඔහු තරග වැදුණත් සිය ප්‍රතිවාදිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට පරාජය විය,

එම පරාජයෙන් පසු පැවැත්වුණු 2001 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තු බහුතර බලය දිනාගත් පක්ෂයේ නායකයා ලෙස ඔහු යළිත් අගමැති පදවියට පත්විය. එය රනිල් අගමැති පදවියට පත් දෙවැනි අවස්ථාවය. එහෙත් ජනාධිපතිනිය නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා ඔහුට පදවිය අහිමි විය. 2004 මහමැතිවරණ ප්‍රතිපල අනුව මහින්ද රාජපක්ෂ පළමුවරට අගමැති පදවියට පත් කෙරුණු අතර රනිල්ට හිමිවුණේ විපක්ෂනායක කාර්යාලයයි.

2005 ජනාධිපතිවරණයේ දී ඔහු මහින්ද රාජපක්ෂට පරාජය වූ අතර 2015 ජනාධිපතිවරණය තෙක් දිගටම විපක්ෂ නායක පදවිය දැරීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2015 ජනවාරි 09 දින රනිල් වික්‍රමසිංහ සිය රජයේ අගමැති පදවියට පත්කරන ලද්දේ පාර්ලිමේන්තුවේ සුළුතර මන්ත්‍රීවරුන් පිරිසක සහයෝගය ලබන දේශපාලන නායකයකුව සිටියදීය.

යුද්ධය වෙනුවට සාමය

රනිල් වික්‍රමසිංහ බලවත් දෝෂ දර්ශනයට ලක්වූ අවස්ථාවක් වන්නේ ඔහු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයෙහි දෙමළ විමුක්ති කොටි සංවිධානය (LTTE) සමඟ සටන් විරාම ගිවිසුමක් ඇතිකර ගැනීමය.

නෝර්වේ සාම නියෝජිතයන්ගේ මෙහෙයුමෙන් ඇතිකරගත් සටන් විරාම ගිවිසුම තම අභිමතය පරිදි ඇතිකරගත් ව්‍යාපෘතියක් නොවන බව ජනාධිපතිනිය පවා ප්‍රකාශකර තිබිණි.

එම සාම ව්‍යාපෘතියෙහි දිගුවක් වූයේ ශ්‍රී ලංකා රජය සහ කොටි සංවිධානය අතර සාම සකච්ඡා වට කිහිපයක් පැවැත්වීමය. එහි පළමුවැන්න 2001 වසරේ තායිලන්තයේ 'බැංකොක්' නගරයේ පැවැත්වුණි. එම සාකච්ඡා මාලාවේ අවසන් හමුව ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජිනීවා නගරයේ දී පැවැත්විණි.

මෑතදී පවා මහත් ආන්දෝලනයකට තුඩුදුන් චරිතයක් වන කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිතරන් කොටි සංවිධානය හැරදමා රජයේ පාර්ශ්වයට එකතුවීම සිදුවූයේ රනිල් වික්‍රමසිංහ විසින් ගෙන යන ලද එම වැඩ පිළිවෙලේ අතුරු ඵලයක් වශයෙනි.

රනිල්-මෛත්‍රී සීතල යුද්ධය

2015 ජනාධිපතිවරණය සඳහා සිය පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය ''පොදු අපේක්ෂක'' මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන එමින් ''යහපාලන ආණ්ඩුව'' පිහිටුවා ගැනීමට කටයුතු කළත් වසර පහක් ඉකුත් වීමටත් පෙර එය ඉතිහාසයට එක්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර දේශපාලන විරසකභාවය එහි උච්ඡතම අවස්ථාවට පත්වීමත් සමගය.

සිය පක්ෂ අභ්‍යන්තරයේ වසර ගණනාවක් පුරා නායකත්ව අභියෝගයට මුහුණ දෙමින් සිටින රනිල් වික්‍රමසිංහ මුහුණදුන් බරපතලම දේශපාලන අභියෝගයට මුහුණ දෙන ලද්දේ ද ''යහපාලන රජයේ'' අගමැති පදවිය දරන කාලය තුළය. 2018 වසරේ අගෝස්තු මාසයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහු අගමැති පදවියෙන් ඉවත්කොට මහින්ද රාජපක්ෂ එම පදවියට අනුප්‍රාප්ත කරන ලද නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් බවට පත් එම ක්‍රියාවලිය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂය ඇතුළු තවත් දේශපාලන කණ්ඩායම් සහ සිවිල් සංවිධාන සමත්වූහ.

අගමැති රනිල් සහ ජනපති මෛත්‍රී

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජනාධිපති සිරිසේන ඉදිරියේ දෙවෙනි වරටත් අගමැති ලෙස දිවුරුම් දෙමින්

ඡායාරූප මූලාශ්‍රය, news.lk

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති සිරිසේන ඉදිරියේ තුන්වෙනි වරටත් අගමැති ලෙස දිවුරුම් දෙමින්
රනිල් සහ මෛත්‍රී

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2015 ජනවාරි මාසයේ අගමැති පදවිය භාරගත් රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය වෙනස් කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට මූලික පියවර ගත් නමුත් එය මුදුන්පත් කර ගත නොහැකි වූ සැලැස්මක් බවට පත්විය. එහෙත් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය මගින් විධායක ජනාධිපති පදවිය සතු බලතල රැසක් ඉවත් කරමින් ඒවා අගමැති පදවියට අනුයුක්ත කිරීමක් සිදුකරනු ලැබිණි.

2019 නොවැම්බර් ජනාධිපතිවරණයෙන් අනතුරුව නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය සහෝදරයා වූ මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත්කළ අතර එම පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලබන තෙක් විපක්ෂ නායක පදවිය සජිත් ප්‍රේමදාසට පැවරුන අතර රනිල් සාමාන්‍ය මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.

හෙණ්ඩුවේ සටන

එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ සදාකාලික බල පොරයෙහි දීර්ඝ සටන් ඉතිහාසයක් සහිත දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ වේ.

ජනාධිපති ආර් ප්‍රේමදාසගේ හදිසි අභාවය වන විට එක්සත් ජාතික පක්ෂයේ මුල්පෙළේ නායකයන්ව සිටි ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක පක්ෂය හැරගොස් සිටි හෙයින් රනිල් වික්‍රමසිංහ සඳහා පක්ෂ ව්‍යුහයෙහි ඉහළ මාලයේ දොරටු නිතැතින්ම විවරව තිබිණි.

එහෙත් ගාමිණී දිසානායකගේ යළි ආගමනයත් සමඟ රනිල්ට එම සහතිකය අහිමි වූ අතර 1994 මහ මැතිවරණයෙන් පසු අගමැති පදවිය පමණක් නොව විපක්ෂ නායකත්වය පවා ඔහුට අහිමි විය. විපක්ෂ නායක පදවිය සඳහා සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මනාපය විමසීමේ දී ඉතා පහසුවෙන් රනිල් පරාජය කිරීමට ගාමිණී දිසානායක සමත් විය. අනතුරුව 1994 ජනාධිපතිවරණයේ දී පක්ෂයේ අපේක්ෂකත්වය පවා ඔහුට අහිමි විය.

ජනාධිපති ඩී බී විජේතුංගගෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාරගත් රනිල් වික්‍රමසිංහට එම පදවිය තමා සන්තකයේ තබා ගැනීම සඳහා අරගල කිහිපයකට මුහුණදීමට සිදුවිය.

2005 ජනාධිපතිවරණයෙන් අනතුරුව පළමු අභියෝගය එල්ල වූයේ කරු ජයසූරිය ප්‍රමුඛ කණ්ඩායමකිනි. එම අරගලයෙන් රනිල් ජයගත් අතර එය නිමවුණේ කරු ජයසූරිය ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් රාශියක් මහින්ද රාජපක්ෂ පාලනයට එක්වීමෙනි.

එක්සත් ජාතික පක්ෂය දෙකඩවීම තෙක් විහිද ගිය රනිල් විරෝධී ඊළඟ නායකත්ව කැරැල්ල එල්ල කරන ලද්දේ පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස විසිනි.

රනිල් - සජිත් නායකත්ව සටන

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පක්ෂ නායකත්වය පතා සජිත් ප්‍රේමදාස ගෙනගිය සටනෙහි අදියර කිහිපයක් ඇති අතර එහි පළමු පියවරේ දී මෛත්‍රී ගුණරත්න ඇතුළු කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව වෙනත් දේශපාලන පක්ෂයක් පවා ආරම්භ කර ඇත.

එහෙත් තමා පක්ෂයෙන් ඉවත්ව නොයා එම අරගලයේ දිගටම නිරතවෙමින් සිටි සජිත් ප්‍රේමදාස 2019 ජනාධිපතිවරණ පරාජයෙන් පසු විපක්ෂ නායක පදවිය තමා අතට ගැනීමට සමත් වූ අතර අනතුරුව රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට එරෙහි සිය පක්ෂයේ කොටසක් ද රැගෙන 'සමගි ජන බලවේගය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරමින් 2020 මැතිවරණයට තරඟ වදියි.

බටලන්ද සහ මහබැංකු බැඳුම්කරය

ශ්‍රී ලංකාවේ දේශපාලන කරුණු මත වැඩියෙන්ම විවේචනයට ලක්වෙන දේශපාලඥයන් කිහිපදෙනා අතර රනිල් වික්‍රමසිංහ මුල්තැනක් ගනී.

එක් අතකින් ඔහු වැඩියෙන්ම විවේචනයට ලක්වන්නේ තමා විසින් නායකත්වය දෙනු ලබන එක්සත් ජාතික පක්ෂයේම සාමාජිකයන්ගෙන් වීම විශේෂත්වයකි. දෙවනුව දීර්ඝ කාලයක් පාලන බලයේ රැඳී සිටීම නිසා රනිල්ගේ ප්‍රතිවාදීන්ට ද ඔහු විවේචනයට කරුණු සහ කාලය යන දෙකම ලැබේ.

1988-89 භීෂණ සමයෙහි පවත්වාගෙන යන ලදැයි පැවසෙන 'බටලන්ද වධකාගාරය' පිළිබඳව දැන සිටි බවට රනිල් වික්‍රමසිංහට චෝදනා එල්ල විය.

එම වධකාගාරය පිළිබඳව විභාග කිරීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය විසින් 'බටලන්ද කොමිසම' පත් කරන ලද අතර සිය දීර්ඝ දේශපාලන ජීවිතයෙහි මුහුණදුන් එම බරපතල චෝදනා අභිමුඛයෙහි එම කොමිසම ඉදිරියේ සාක්ෂි දීමට රනිල් වික්‍රමසිංහට සිදුවිය.

රනිල් වික්‍රමසිංහ සිය දේශපාලන ජීවිතයේ මුහුණදුන් දරුණුතම විවේචන අතර කොටි සංවිධානයත් සමඟ සාම ගිවිසුමක් ඇතිකර ගැනීම සහ 2015 පාලන සමයෙහි සිදු වූ ''මහබැංකු කොල්ලය'' නමින් හැඳින්වෙන මූල්‍ය අපචාරය මුල්තැනක් ගනී.

කොටි සංවිධානයත් සමඟ ඇතිකරගත් සටන් විරාම ගිවිසුම සහ සාම ක්‍රියාවලිය 'රට බෙදීමක්' ලෙස විවේචනයට ලක්විය.

ඒ අතරම එම සැලැස්ම කොටි සංවිධානයේ පසුබෑමට මුල් වූ පියවරක් ලෙස ද විශ්ලේෂණ ඉදිරිපත්ව ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව තුළ බැඳුම්කර වෙන්දේසියේ දී අපචාරයක් සිදුව ඇද්ද යන්න සම්බන්ධයෙන් විභාග කිරීමට ජනාධිපති කොමිසමක් පවා පත් කෙරුණු අතර එය ඉදිරියේ සාක්ෂිදීමට ද රනිල් වික්‍රමසිංහට සිදුවිය. එම මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් චෝදනා ලබන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් එම පදවියට පත්කිරීම සහ ඔහු සම්බන්ධ වගකීම් පැහැරහැරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ විවේචනයට ලක්වෙමින් ඇති අතර අදාළ අර්බුදය තවමත් පරීක්ෂණ මට්ටමක පවතී.

වීඩියෝ ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාව ; මුදල් මුද්‍රණය නොකළොත් රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි බව අගමැති කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බලධාරීන්ට තොරතුරු ලැබී තිබියදීත් එම විනාශය වළක්වා ගැනීමේ වගකීම සම්බන්ධයෙන් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ දැඩි දෝෂාරෝපණයට ලක්වෙති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පටන් නියෝජ්‍ය ඇමති, කැබිනට් ඇමති, විපක්ෂ නායක සහ කිහිපවරක් අගමැති පදවිය දරා ඇති රනිල් වික්‍රමසිංහට තවමත් ස්පර්ශ කළ නොහැකිව තිබෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති පදවිය පමණි. ඒ සඳහා ඔහු විසින් දෙවරක් දරන ලද උත්සාහය අසාර්ථකභාවයෙන් කෙළවර විය.

ඇතැම් දේශපාලන විචාරකයන්ට අනුව ඔහු සාම්ප්‍රදායික ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන දහරාවේ වර්තමාන ශ්‍රී ලාංකික පිළිබිඹුවයි. තවත් අයට ඔහු දේශපාලන උපායෙහි හපන් ''සූත්තර පුංචෙකි''.

කෙසේ නමුත්, 2020 වසරේ අවසන් වරට පැවැති මහා මැතිවරණයේ දී ඡන්ද 249,435ක් පමණක් ලබාගැනීම නිසා ඉතිහාසයේ පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට ඔහුට නොහැකි විය. ඉක්බිති එක්සත් ජාතික පක්ෂයට ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය හරහා එම පක්ෂයේ එකම නියෝජනය ලෙස පාර්ලිමේන්තුවට පැමිණෙන්නට ඔහුට සිදුවිය.

ජනතා ඡන්දයෙන් ජනපතිධුරයට හෝ අවසන් වරට පාර්ලිමේන්තුවට හෝ පත්වීමට දැරූ සියලු තැත අසාර්ථකවූ නමුදු ඔහු මෙවර ගෝඨාභය රාජපක්ෂ තම ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා ඇතිවූ පුරප්පාඩුව පිරවීමට ව්‍යවස්ථානුකූලව ජනපතිධුරයට පත්ව සිටියි.

ශ්‍රී ලංකාවේ අට වන විධායක ජනපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙන් පත් වන ඔහුට 2024 නොවැම්බර් මස වන තෙක් ජනපති තනතුර දැරිය හැකිය.

කියවන්න:

Sri Lanka leadership from 1994 to 2022