2020 ශ්‍රී ලංකාවේ මහ මැතිවරණය සහ මහින්ද රාජපක්ෂ: "කඩුල්ල රැකගත් දේශපාලන පිතිකරුවා"

Mahinda Rajapakse

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2000 වසරේ පැවති භික්ෂු උද්ඝෝෂණයක් අසලට පැමිණි මහින්ද රාජපක්ෂ
    • Author, උපාලි ගජනායක
    • Role, BBC සිංහල

2020 ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා පොදුජන පෙරමුණේ අගමැති අපේක්ෂකයා ලෙස දැනටමත් එම පදවිය දරන මහින්ද රාජපක්ෂ තරඟ වදියි.

මෙයින් වසර පනහකට පෙර (1970 මැයි) නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිය දේශපාලන ගමන් මාර්ගයට අවතීර්ණ වූ මහින්ද රාජපක්ෂ 2001, 2018 සහ 2019 වසරවල තෙවතාවක් අගමැති පදවියට පත්ව ඇති අතර, දෙවතාවක් (2005 සහ 2010) ජනාධිපති පදවියෙහි කටයුතු කර ඇති දේශපාලනඥයෙකි.

දශකයකට අධික කාලයක් විධායක බලයේ මුදුන් පෙත්තෙහි සිටිමින් ශ්‍රී ලංකාව පාලනය කළ මහින්ද රාජපක්ෂ 2015 පැවැත්වුන ජනාධිපතිවරණයෙන් පරාජය වූ මොහොතේ එය ඔහුගේ දිගුකාලීන දේශපාලන ගමනේ නිමාවක් පමණක් නොව එය ඉන්දීය උපමහාද්වීපයේ ද පිහිටි කුඩා දිවයිනෙහි නව සන්ධිස්ථානයක් වනු ඇත යන්න බොහෝදෙනාගේ තක්සේරුව විය.

එහෙත් 2015 දී ලද එම අනපේක්ෂිත පරාජයෙන් පසු ඉහත කී දේශපාලන තක්සේරු කිරීම්වලට අභියෝගාත්මක ලෙස යළිත් තම සුපුරුදු දේශපාලන ජවය බලමුළු ගන්වමින් රටේ අගමැතිවරයා හැටියට සිය දේශපාලන ගමන්මගෙහි පනස්වෙනි සංවත්සරය සැමරීමට ඔහු වාසනාවන්ත විය.

වසර පනහක පමණ කාලයක් (1977 -1982 හැර) එකදිගට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ තවමත් ජීවමාන දේශපාලනඥයන් කීපදෙනා අතර මහින්ද රාජපක්ෂට මුල්තැනක් ලැබෙයි.

පාරම්පරික දේශපාලන උරුමය

ශ්‍රී ලංකාවේ මුල්බැසගත් 'දේශපාලන පවුල්' කීපය අතරට හම්බන්තොට ගිරුවා පත්තුවේ 'රාජපක්ෂ පවුලත්' එක් වෙයි. ඔවුන්ගේ පාරම්පරික වාසභූමිය වීරකැටිය අසල පිහිටි 'මැද මුලන' වලව්වයි.

Mahinda Rajapakse

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ 2009 වර්ෂයේ දී

1945 නොවැම්බර් මස 18 දින පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මාතර පාලටුවේ පිහිටි සිය මවගේ 'මහගෙදර' ජන්මලාභය ලබන විටත් ඔහුගේ පියා, දොන් ඇල්වින් රාජපක්ෂගේ වැඩිමහල් සහෝදරයා වූ ඩීඑම් රාජපක්ෂ එවකට බ්‍රිතාන්‍ය ලංකාවේ (British Ceylon) ව්‍යස්ථාදායකය වූ 'රාජ්‍ය මන්ත්‍රණ සභාවේ' හම්බන්තොට ආසනය නියෝජනය කළ මන්ත්‍රීවරයා විය.

ඩීඑම් රාජපක්ෂ හදිසියේ රෝගාතුරව රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළම අභාවප්‍රාප්ත වීමෙන් අනතුරුව, 1946 වසරේ පැවැත්වුන අතුරු මැතිවරණයකින් ඩීඒ රාජපක්ෂ රාජ්‍ය මන්ත්‍රණ සභාවට නිතරඟයෙන් තේරී පත්වූ අතර ඉන් අනතුරුව 1947 පළමු මහ මැතිවරණයේ පටන් (1960 මාර්තු ජූලි අතර තෙමසක කාලය හැර) 1965 මාර්තු 22 දින තෙක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඔහු වාසනාවන්ත විය.

රුහුණේ රාජපක්ෂ පවුලේ 'දේශපාලන කුටුම්භයේ' සමාරම්භකයා වන ඩීඑම් රාජපක්ෂගෙන් ව්‍යවස්ථාදායකය තුළ හම්බන්තොට ප්‍රදේශය නියෝජනය කිරීමේ ගෞරවය පමණක් නොව ඔහු ගෙල පැළඳි රුහුණේ ප්‍රධාන ධාන්‍යයක් වන කුරහන් මලේ පැහැය ගත් සුප්‍රකට 'සාටකයත්' අනුප්‍රාප්තික රාජපක්ෂ පරපුරට උරුමවිය.

නියෝජ්‍ය ඇමතිවරයකු, කැබිනට් ඇමතිවරයකු සහ නියෝජ්‍ය කතානායකවරයකු ලෙස කටයුතු කර ඇති ඩීඒ රාජපක්ෂ තම සහෝදර ඩීඑම් ගෙන් තමාට උරුම වූ 'කුරහන් පැහැති සාටකය' සිය දරුවන් වූ චමල්, මහින්ද සහ බැසිල්ට ද උරුම කළ අතර, මහින්ද සිය සුරතින්ම එය සිය දෙටුපුත් නාමල්ගේ ගෙල පැළඳවීමෙන් ඊළඟ පරපුරටත් එය දායාද කළේය.

1960 පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව 1977 තෙක් හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් මැතිවරණ කොට්ඨාශ තුන වූ බෙලිඅත්ත, මුල්ගිරිගල සහ තිස්සමහාරාම යන ආසන තුන වැඩිවශයෙන් නියෝජනය කරන ලද්දේ රාජපක්ෂවරුන් විසිනි.

1960 ජූලි මැතිවරණයේදී බෙලිඅත්ත ආසනය මහින්දගේ පියා ඩීඒ විසින් ද, මුල්ගිරිගල ආසනය ඩීඑම් ගේ පුත්‍රයකු වූ ජෝර්ජ් රාජපක්ෂ විසින් ද, තිස්සමහාරාම ආසනය ඩීඑම් ගේ තවත් පුත්‍රයකු වූ ලක්ෂ්මන් රාජපක්ෂ විසින් ද ජයග්‍රහණය කළහ.

Mahinda Rajapakse

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඉන් අනතුරුව රාජපක්ෂ පරපුරේ ඊළඟ අදියර නියෝජනය කළ මහින්ද, චමල්, බැසිල් සහ නිරූපමා රාපක්ෂ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කළහ.

මහින්ද පාර්ලිමේන්තුවට

1970 මැයි මස 27 දින පවත්වන ලද මහ මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ එදා පැවති බ්‍රිතාන්‍ය සම්ප්‍රදායයේ සෝල්බරි පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ එම පාර්ලිමේන්තුවේ ලාබාලම මන්ත්‍රීවරයා වශයෙනි. එවකට ඔහුගේ වයස අවුරුදු විසි හතරක් පමණි.

මුහුණේ දැලි රැවුලවත් හරිහැටි නොවැවුන තමාට බෙලිඅත්ත ආසනය පැවරීමට එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා මණ්ඩලයේ සිටි ඇතැමුන් එකඟ නොවුනත් තමාට එම අවස්ථාව ලැබුනේ පක්ෂ නායිකා හිටපු අගමැතිනි සිරිමා බණ්ඩාරනායකගේ මැදිහත්වීමෙන් යයි මහින්ද රාජපක්ෂ පසුගියදා ප්‍රකාශ කළේය.

1965 සිට 1970 තෙක් බලයේ පැවති ඩඩ්ලි සේනානායක ආණ්ඩුව පරාජය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කළ සන්ධානයේ අපේක්ෂකයා ලෙස එම මැතිවරණයේ දී බෙලිඅත්ත ආසනය සඳහා තරඟ වැදුන මහින්ද රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ගිරුවා පත්තුවේ තවත් දේශපාලන ප්‍රභූ පවුලක් වූ 'අතපත්තු පවුල' පරාජය කරමින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

Mahinda Rajapakse

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පාර්ලිමේන්තුවේ ලාබාලම මන්ත්‍රීවරයාට ලැබෙන අවස්ථාවක් වශයෙන් එම රජයේ පළමු රාජාසන කතාව නිමාවේ එය ස්ථිර කරමින් පවත්වන ස්තුති කතාව කිරීමේ භාග්‍යය මහින්දට හිමිවිය.

1972 දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය රාජ්‍යත්වයෙන් මිදී ජනරජයක් වීමත් සමඟ මහින්ද රාජපක්ෂ එම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කරන ලද 'ජාතික රාජ්‍ය සභාව' දිගටම නියෝජනය කළේය.

එහෙත් සිරිමා බණ්ඩාරනායක රජය විසින් නියමිත කාලයට අවුරුදු දෙකකට පසුව 1977 දී කැඳවූ ඊළඟ මැතිවරණයේ දී ඔහු එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක වෛද්‍ය රංජිත් අතපත්තු විසින් පරාජය කරනු ලැබුණි. එය මහින්ද රාජපක්ෂ ඔහුගේ දේශපාලන ජීවිතයේ ලද පළමු පරාජයයි.

එහෙත් ජේආර්.ජයවර්ධන පාලනය විසින් 1982 දී පවත්වන ලද ජනමත විචාරනයෙන් අනතුරුව බෙලිඅත්ත ආසනය සඳහා පැවැත්වූ අතුරු මැතිවරණය ජයග්‍රහණය කරමින් යළිත් පාර්ලිමේන්තුවට පිවිසීමට මහින්ද රාජපක්ෂ සමත් විය.

එතැන් පටන් අද දක්වාම ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

පළමු අගමැති පදවිය

1994 පළමු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ කම්කරු ඇමති පදවිය සහ පසුව ධීවර සහ ජලජ සම්පත් ඇමති පදවි දරන ලද්දේ මහින්ද රාජපක්ෂ විසිනි. කැබිනට් ඇමතිවරයකු වශයෙන් ඔහු ඉදිරිපත් කරන ලද යෝජනා අතරින් 'කම්කරු ප්‍රඥප්තිය' බෙහෙවින් සාකච්ඡාවට ලක්වූ මාතෘකාවක් බවට පත්විය.

Mahinda Rajapakse

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty Images

2001 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් හිමිකරගත් එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති පදවියට පත්වීමත් සමඟ එම පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකත්වය හිමිවුණේ මහින්ද රාජපක්ෂ වෙතය. ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් නියමිත කාලයට පෙර හදිසියේ ම පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් 2004 පැවැත්වූ මහ මැතිවරණයේ දී ඇය විසින් නායකත්වය දෙන ලද එක්සත් ජනතා නිදහස් සන්ධානය සුළු බහුතර බලයක් දිනාගත් අතර අභිනව ආණ්ඩුවේ අගමැති පදවියට මහින්ද රාජපක්ෂ පත් කරනු ලැබුණි.

අනතුරුව 2005 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පරාජය කොට ශ්‍රී ලංකාවේ පස්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ඔහු සිය දේශපාලන දිවියෙහි නව අදියරක් ආරම්භ කළේය.

මහින්ද චින්තනය සහ සිවිල් යුද්ධයේ නිමාව

විපක්ෂයේ ක්‍රියාධරයකුව සිටිමින් මහින්ද විසින් දියත් කරනලද 'පාදයාත්‍රා' සහ 'මහජන අත්වැල' මෙන්ම 'අතුරුදහන් වූවන්ගේ මාපිය දූදරු සංවිධානයට' සහයෝගය දීම ඔහු ජනතාව අතරට ගෙනයාමේ 'දේශපාලන යාත්‍රා' බවට පත්විය.

එක්සත් ජාතික පක්ෂය යටතේ සිදු කෙරෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම වාර්තා කිරීමට ඔහු ජිනීවා නගරයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය කරා ගමන් කරමින් පසුකාලයේ සිදු වූ එවැනි පැමිණිලි කිරීම් ක්‍රියාදාමයකට මුල පිරීය.

2005 දී සහ 2010 වසරවල තමා ජයගත් ජනාධිපතිවරණ දෙකේදීම මහින්ද රාජපක්ෂ සිය මැතිවරණ ප්‍රකාශන නම් කරනු ලැබ තිබුනේ 'මහින්ද චින්තනය' යන තේමාව යටතේය.

Mahinda Rajapakse

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2005 ජනාධිපතිවරණයෙන් පසු ඔහු මුහුණ දුන් ප්‍රධාන අභියෝගවලින් වඩාත් බරපතල තත්වයක පැවතුනේ ශ්‍රී ලංකා ආණ්ඩුව සහ දෙමළ විමුක්ති කොටි සංවිධානය (LTTE) අතර දිග්ගැසෙමින් පැවැති සිවිල් යුද්ධයයි.

ආණ්ඩුව සහ LTTE සංවිධානය අතර විදේශ රටවල් කීපයක පැවැත්වුන සාම සාකච්ඡා අසාර්ථකභාවයෙන් අවසන් වූ අතර ඉන් අනතුරුව සිදු වූ යුද ගැටුම් නිමවුණේ කොටි සංවිධානයේ පරාජයෙනි. 2009 වසරේ ලද එම යුද ජයග්‍රහණය මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් සමාජය තුළ තවමත් නොනැසුන මුල්බැසගත් කීර්තියක් සනිටුහන් කිරීමට හේතුවිය.

තමාට වාසිදායක වූ එම දේශපාලන පරිසරයෙන් ප්‍රයෝජන ගත් මහින්ද රාජපක්ෂ තුන්වැනි වරටත් ජනාධිපති පදවිය දිනා ගැනීමට බල පෑ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාමය බාධකය ඉවත් කර ගනිමින්, 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම බෙහෙවින් මතභේදයට තුඩුදුන් කරුණක් විය.

එහෙත් ඔහුගේ සැලසුම් සහ එම ප්‍රාර්ථනය ව්‍යවර්ථ කරමින් 2105 ජනාධිපතිවරණයේ දී ඔහු ඔහුගේ කැබිනට් ඇමැතිවරයකු මෙන්ම ඔහුගේ පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන අතින් අනපේක්ෂිත පරාජයක් ලද්දේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2016 වසරේ කැඳවන ලද මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ සිය හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා නොව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වදිමින් යළි පාර්ලිමේන්තුවට පිවිස විපක්ෂ නායක පදවිය භාරගත්තේය.

ඉන් අනතුරු කාලයෙහි බලයේ සිටි ජනාධිපතිවරයා සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර පැවති දේශපාලන ගැටුම නිමවුණේ 2018 ඔක්තෝබර් මාසයේ ජනාධිපති සිරිසේන විසින් අනපේක්ෂිත තීන්දුවක් ගනිමින් මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත්කරනු ලැබීමෙනි. එය මහින්ද අගමැති පදවියට පත් දෙවැනි අවස්ථාවයි.

එහෙත් එම දේශපාලන තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය කිරීමට හේතු වූ අතර එය කෙළවර වුනේ මහින්ද රාජපක්ෂට පදවිය අහිමිවීමෙන් සහ රනිල් එම පදවියට යළිත් අනුප්‍රාප්ත කරමිනි.

මහින්ද රාජපක්ෂ යළිත් විපක්ෂ නායක පුටුව කරා මාරුවිය.

2019 පැවති ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරු නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ තවත් සහෝදරයකු විසින් පිහිටුවන ලද අභිනව දේශපාලන පක්ෂය වූ 'පොදු ජන පෙරමුණේ' අපේක්ෂකයා ලෙස තරග කොට ජයගත් අතර ඔහුගේ රජයේ අගමැති පදවිය සොහොයුරු මහින්දට පැවරුණි.

මෙය මහින්ද අගමැති පදවියට පත් තුන්වෙනි අවස්ථාවයි.

Mahinda Rajapakse

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තෙවෙනි වර අගමැති ධූරයට පත් වූ පසු මහින්ද රාජපක්ෂ, ඉන්දීය අගමැතිවරයා හමුවීමට ගිය මොහොත.

2015 දරුණු පරාජයෙන් අනතුරුව වසර පහකටත් අඩු කාලයක් ඇතුළත ඔහු විසින් දේශපාලන බල ව්‍යුහය මුදුනටම ගමන් ගන්නා ලද්දේ ආණ්ඩුක්‍රම නීතිය අනුව තවමත් තමන්ට ප්‍රවේශ විය නොහැකි විධායක ජනාධිපති පදවියට දකුණු අත වැනි සිය බාල සහෝදරයා අනුප්‍රාප්ත කර ගනිමිනි.

තවමත් බල පැවැත්වෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් දශක හතරකට පමණ පෙර අගමැති පදවියට අහිමි කරන ලද විධායක බලතල සමූහයක් දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අගමැති පදවිය කරා යළි පැවරීමක් කරනු ලැබ ඇති හෙයින් දැනට විධයක ජනාධිපති පදවියෙහි නැතත් ඔහු රැඳී සිටින්නේ ඉතා ප්‍රබල ස්ථානයකය.

රාජපක්ෂ පවුල නැවත වතාවක් රට පාලනය කරයි. විධායක බලය මෙහෙයවන 'තෝන් ලණුවේ' දෙපට දෙසොහොයුරන් අත පවතී.

ජනාදරයෙන් යටපත් කළු පැත්ත

මහින්ද රාජපක්ෂ පාලනය 2005 වසරේ පටන් දේශපාලන විවේචන රැල්ලක් මැද වුවද දිගටම නොබිඳී පැවැත්මට හේතුව ඔහු විසින් එක්රැස් කොට ගොඩනගන ලද මහජන පදනමය යන්න ඇතැම් විචාරකයන්ගේ විශ්ලේෂණයයි.

2004 සුනාමි සහනාධාර මුදල් භාවිතය, 'හෙල්පිං හම්බන්තොට' ව්‍යාපෘතියේ පටන් සිය පියා වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීම තෙක් මහජන මුදල් අවභාවිත කිරීම් සම්බන්ධයෙන් චෝදනා රැසකට මුහුණ දීමට රාජපක්ෂවරුන්ට සිදුව ඇත.

මහින්ද රාජපක්ෂ පාලනය යටතේ සිවිල් යුද සමයේ සිදු කෙරිනැයි පැවසෙන 'යුද අපරාධ' පිළිබඳ චෝදනා මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ මණ්ඩලය තුළ පවා සාකච්ඡාවට ගනු ලැබ ඇත.

දේශපාලනමය වශයෙන් ඔහු මුහුණදුන් තවත් බරපතළ කරුණක් වන්නේ 'තුන්වැනි වරටත් ජනාධිපති පදවිය දිනාගැනීමේ චේතනාවෙන්' 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුකරන ලද බව පැවසෙන විවේචනවලට මුහුණ දීමට ඔහුට සිදුවීමය.

එසේම අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක දෝෂාභියෝගයක් මගින් පදවියෙන් නෙරපා හැරීම සිය මතයට අනුකූල තීන්දු නොදීම නිසා සිදුකරන ලද ක්‍රියාවක් ලෙස විපක්ෂය මහින්ද රාජපක්ෂට චෝදනා කළේය.

එපමණක් නොව, 2010 ජනාධිපතිවරණයේ දී සිය දේශපාලන ප්‍රතිවාදියා වූ හිටපු ජනරාල් සරත් ෆොන්සේකා දූෂණ චෝදනා යටතේ අධිකරණය ඉදිරියට ගෙන එමින් දෑවුරුදු කාලයකට සිරගත කරනු ලැබීම දේශපාලන පලිගැනීමක් හැටියට මහින්ද රාජපක්ෂ කෙරෙහි චෝදනා එල්ල විය.

Mahinda Rajapakse

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2005-2015 අතර කාල පරිච්ඡේදය තුළ මහින්ද රාජපක්ෂ පාලනය මුහුණදුන් බරපතල චෝදනාවක් වුනේ මාධ්‍යවේදීන් පැහැර ගැනීම, ඔවුන්ට පහරදීම, ඝාතනය සහ විකල්ප මාධ්‍ය ආයතන මර්දනයයි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඒවා අතරින් දැඩි ජාත්‍යන්තර අවධානය ලක්වූවකි. ක්‍රීඩක තාජුදීන් මරණයටත් රාජපක්ෂවරුන්ට චෝදනා එල්ල වූ අතර ඔවුහු ඉහත කී චෝදනා සියල්ල තරයේ බැහැර කරති.

මහින්ද රාජපක්ෂ පාලන සමයෙහි 'රාජපක්ෂ පවුලේ' සාමාජිකයන් රැසක් විධායක බලයේ ඉහළම ස්ථානයන්හි සිටිමින් ඥාති සංග්‍රහයේ නිරතවීම සහ රටේ මහජන මුදල්වලින් වැඩි කොටස ඔවුන් අත පාලනය වීම විපක්ෂයෙන් එල්ල වූ තවත් චෝදනාවකි.

මහජන මුදල් අවභාවිත කරනු ලැබීම් සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් කීපදෙනෙකුට පසුගිය 'යහපාලන රජය ' සමයේ අධිකරණය ඉදිරියේ නඩු පවරා තිබුණි.

පොදු ජන පෙරමුණ මහින්දගේ පාලනයට

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම නිලයක් දරද්දී ඔහු අභිනව 'පොදු ජන පෙරමුණේ' නායකයා මට්ටමින් එම පක්ෂයේ නිල ලකුණ වන 'මල් පොහොට්ටුව' අතින් රැගෙන දේශපාලන වේදිකාවේ පෙනී සිටි අතර මෙවර ඔහු තරග වදින්නේ එම පක්ෂයෙනි.

මෙවර මැතිවරණය පැවැත්වෙන්නේ 2019 නොවැම්බර් ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ අලුත් 'රාජපක්ෂ යුගයක' උදාවත් සමඟය.

සිය බාල සහෝදරයාගේ නව රජයෙහි බලවත්ම පදවිය වන අගමැති ධූරය දරන මහින්ද රාජපක්ෂ මෙවරත් පාර්ලිමේන්තුවට තරග වදින්නේ කුරුනෑගල දිස්ත්‍රික්කයෙනි.

ඔහුගේ වැඩිමහල් සොහොයුරු චමල් සහ දෙටුපුත් නාමල් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග වදින අතර නැගණිය ගාන්ධිනී රාජපක්ෂගේ පුත් නිපුන රණවක මාතර දිස්ත්‍රික්කයෙන් තරග වදියි.

අගෝස්තු පස්වෙනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් සිය සහෝදර බැසිල්ගේ 'පොදු ජන පෙරමුණ' පාර්ලිමේන්තුවේ බහුතර බලයක් දිනා ගනු ලැබුනොත් අලුතින් පිහිටුවන ආණ්ඩුවේ අගමැති පදවිය භාර ගනිමින් මහින්ද රාජපක්ෂ සිව්වෙනි වතාවටත් අගමැති පදවියට පත්වනු ඇත. එය එසේ සිදුවුවහොත් එය සිදු වන්නේ මෙතෙක් ශ්‍රී ලංකාවේ වැඩිම වාර ගණනක් අගමැති පදවියට පත් දේශපාලනඥයා හැටියට තවත් වාර්තාවක් ද තබමිනි.

මේ තොරතුරුද කියවන්න: