හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අරගලකරුවන් පාලනය කිරීමට 'හදිසි නීතිය පැනවීම මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක්'-ශ්‍රේෂ්ඨාධිකරණය

2022 වසරේ ජූලි මස 17 වනදා අරගලකරුවන් පාලනය කිරීම සඳහා එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක පනත යටතේ රටපුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද [ජූලි 23] තීන්දු කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2022 වසරේ ජූලි මස 17 වන දා 'අරගලකරුවන්' පාලනය කිරීම සදහා එවකට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක පනත යටතේ රටපුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද [ජූලි 23] තීන්දු කළේ ය.

වැඩ බලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහජන ආරක්ෂක පනතේ 02 වගන්තිය යටතේ නිකුත් කරනු ලැබු හදිසි නීති රෙගුලාසි අත්තනෝමතික මෙන් ම බල ශූන්‍ය බව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කළහ.

අග විනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ යන බහුතර විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

එහෙත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අර්ජුන ඔබේසේකර සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සදහන් කළේ වැඩබලන ජනාධිපතිවරයාගේ හදිසි නීති පැනවීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය නොවන බව ය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වන අම්බිගා සත්කුණනාදන්, සිවිල් ක්‍රියාකාරීයෙකු වන සඳුන් තුඩුගල සහ ලිබරල් තරුණ ව්‍යාපාරය ඇතුළු පෙත්සම්කරුවන් පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

නඩු විභාගයේදී ප්‍රකාශ වූ කරුණු

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දුගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත්කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මෙම නඩුකර පවත්වාගෙන යාමට නොහැකි බවට වගඋත්තරකාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන බව පැවසීය.

මෙම හදිසි අවස්ථා රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නිසි අනුමැතිය ලබාගෙන තිබෙන බැවින් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බව වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු පවසා තිබුණි.

එහෙත් එම මූලික විරෝධතාව පදනම් විරහිත බව ත් එය ප්‍රතික්ෂේප කරන බව ත් විනිසුරුවරයා එහිදී පැවසීය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2022 වසරේ මාර්තු මස අග සිට රටේ තැන් තැන්වල මහජන උද්ඝෝෂණ හටගත් බව ත්, අවසානයේදී එම තත්ත්වය උත්සන්න වී එම වසරේ ජූලි මස 09 වන දා අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය අත්පත් කර ගැනීමට කටයුතු කළ බව ත් විනිසුරුවරයා කියා සිටියේ ය.

එම තත්ත්වය හමුවේ බලයේ සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පලා ගොස් ජූලි මස 13 වන දා ඉල්ලා අස් විය.

එම අවස්ථාවේදී රට තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කොට ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන්, ඉන් අනතුරුව වැඩ බලන ජනාධිපතිවරයා වශයෙන් පත් වූ රනිල් වික්‍රමසිංහ විසින් 2022 ජූලි මස 17 සහ 18 යන දිනවල මහජන ආරක්ෂක පනතේ දෙවන ඡේදය යටතේ රට පුරා හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කරනු ලැබූ බව වගඋත්තරකාර පාර්ශ්වය සඳහන් කර තිබිණි.

නඩු විභාගයේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී මහජන ආරක්ෂක පනතේ දෙවන ඡේදය යටතේ වැඩ බලන ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථාව නිසියාකාරව ප්‍රකාශ කර තිබෙන්නේ ද යන කරුණ අධිකරණයේ අවධානයට යොමු වූ බව විනිසුරු යසන්ත කෝදාගොඩ සඳහන් කළේ ය.

මහජන ආරක්ෂක පනත යටතේ හදිසි අවස්ථාව ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයාට ඇති බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ද දක්වා ඇති බව සඳහන් කළ විනිසුරුවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වන ව්‍යවස්ථාව යටතේ විධායක ක්‍රියාවක නීත්‍යානුකූලව භාවය පරීක්ෂා කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරී තිබෙන බව ත් සඳහන් කර සිටියේ ය.

ඒ අනුව මෙම පෙත්සම විභාග කිරීමට තම අධිකරණයට බලයක් නොමැති බවට වග උත්තරකරුවන් විසින් මතු කරනු ලැබූ විරෝධතා ඉවත දමන බව කියා සිටියේය.

මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයාට හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීමට බලය ලැබී තිබේ.

නමුත් මෙම අවස්ථාවේ හදිසි අවස්ථාව ප්‍රකාශ කිරීමට හේතු වූ කරුණු මොනවාදැයි පැහැදිලි කරමින් වැඩ බලන ජනාධිපතිවරයා විසින් අධිකරණය වෙත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර නොතිබූ අතර ඒ අනුව මෙම හදිසි අවස්ථාව ප්‍රකාශ කිරීමට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබූ ලිපි ගොනුව අධිකරණයට කැඳවා පරීක්ෂා කරන ලදී.

එහිදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මෙන් ම මෙම හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීමට අදාළව කතානායකවරයා වෙත යොමු කළ ප්‍රකාශය ද ඊට ඇතුළත්ව තිබිණි.

එම තොරතුරු අනුව ප්‍රශ්නගත අවස්ථාවේ රට පුරා හදිසි අවස්ථාව ප්‍රකාශ කිරීමට තරම් සාධාරණ කරුණු ඉදිරිපත් වී තිබූ බවක් අධිකරණයට පෙනී නොයන බව ප්‍රකාශ විය.

ඒ අනුව අදාළ අවස්ථාවේ වැඩ බලන ජනාධිපතිවරයා විසින් රට පුරා හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීමට ගත් තීරණය පදනම් විරහිත බව ත්, මෙම හදිසි අවස්ථා ප්‍රකාශය නිකුත් කිරීමේදී වැඩ බලන ජනාධිපතිවරයා විසින් පුළුල් ලෙස කරුණු සැලකිල්ලට භාජනය කර තිබෙන ආකාරයක් අධිකරණයට පෙනී නොයන බව ත් විනිසුරුවරයා සඳහන් කළේ ය.

වැඩ බලන ජනාධිපතිවරයා විසින් පනවා තිබූ මෙම හදිසි අවස්ථා ප්‍රකාශය සම්පූර්ණයෙන් ම නීතියට පටහැණි අත්තනෝමතික ප්‍රකාශයක් බව අධිකරණය විසින් තීන්දු කරන බව ත් විනිසුරු කෝදාගොඩ සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

ඒ අනුව වැඩ බලන ජනාධිපතිවරයා විසින් නිකුත් කළ මෙම හදිසි අවස්ථා ප්‍රකාශය තුළින් පෙත්සම්කරුවන්ගේ මෙන් ම මහජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව විනිසුරු යසන්ත කෝදාගොඩ සඳහන් කර සිටියේ ය.

මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර විනිසුරුවරු නීතිපතිවරයා වෙත තවත් නියෝගයක් නිකුත් කරමින් මෙම නඩු තීන්දුව නිකුත් වූ දින සිට මාස තුනක් ඇතුළත එහි අන්තර්ගතය පිළිබඳව විමර්ශනය කර ජනාධිපති ලේකම් කාර්යාලයට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙස සඳහන් කළහ.

ඊට අමතරව පෙත්සම්කරුවන්ට නඩු ගාස්තු ගෙවන ලෙසත් බහුතර විනිසුරු මඩුල්ල විසින් රජයට නියෝග කළහ.

ඉන් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අර්ජුන ඔබේසේකර සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, ප්‍රශ්නගත අවස්ථාවේ මහජන ආරක්ෂක පනත යටතේ හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් තීරණය නීත්‍යානුකූල බව පැවසීය.

එම අවස්ථාවේදී රටේ පැවති නොසන්සුන්කාරී තත්ත්වය සහ අත්‍යවශ්‍ය සේවාවන් නොකඩවා පවත්වාගෙන යාමේ අරමුණින් මෙම හදිසි අවස්ථාව ප්‍රකාශයට පත්කර තිබෙන ආකාරයක් පෙනී යන බව ත් විනිසුරු ඔබේසේකර සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.