දේශබන්දු තෙන්නකෝන් තවත් නඩුවකට පැටලෙයි

ඡායාරූප මූලාශ්‍රය, Facebook
- Author, බීබීසී සිංහල
2022 වසරේ මැයි මස 09 වන දා ගාලුමුවදොර "ගෝඨා ගෝ ගම" අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස එවක බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යැවූ ලිපියක් බලරහිත කරමින් අභියාචනාධිකරණය මීට පෙර දුන් තීන්දුවක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 22) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් විභාගයට ගැනීමට අවසර දෙමින් ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් අබේකෝන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබී ය.
මෙම පෙත්සම අද සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී මෙම නඩුකරයේ වග උත්තරකරුවන්ගේ නාමාවලිය සංශෝධනය වී නොමැති බවට දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විසින් මතු කරන ලද මූලික විරෝධතා ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
නීතිපති දෙපාර්තමේන්තුවේ අදහස් දැක්වීම්
සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පොලිසිය වෙත නියෝග නිකුත් කිරීමට නීතිපතිවරයාට බලයක් නොමැති බවත්, සැකකරුවෙකු නම් කිරීම පිළිබඳව තීරණය ගත යුත්තේ විමර්ශනවලදී අනාවරණය වන කරුණු මත පොලිසිය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බවත් සඳහන් කළේ ය. ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව අභියාචනාධිකරණයේ පැවති නඩු විභාගයේදී නීතිපතිවරයා විසින් රහසිගත කවරයක බහා අධිකරණයට ඉදිරිපත් කරන ලද වැදගත් ලේඛන ගණනාවක් තීන්දුව ලබා දීමට පෙර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සැලකිල්ලට භාජනය කර නොමැති බවට චෝදනා කළා ය.
යම්කිසි විමර්ශනයක් සම්බන්ධයෙන් පොලිසිය උපදෙස් ඉල්ලා සිටි විටෙක ඊට අවශ්‍ය උපදෙස් ලබාදීමට නීතිපතිවරයාට හැකියාව තිබෙන බවත්, දේශබන්දු තෙන්නකෝන් අදාළ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් නම් කිරීමට කටයුතු කළේ ඊට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් දෙනු ලැබූ නියෝගයකට අනුව බවත් ඇය සඳහන් කර සිටියා ය.
අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දීමට පෙර නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ කරුණු කිසිවක් සැලකිල්ලට භාජනය කර නොමැති බවත්, පෙත්සම්කරු ඉල්ලා නොසිටි සහන පවා මෙම තීන්දුව තුළින් අභියාචනාධිකරණය ලබා දී තිබෙන බවත් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අභියාචනාධිකරණයේ එම තීන්දුව සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බවත් කියා සිටියා ය.
දේශබන්දු වෙනුවෙන් අදහස් දැක්වීම්
වග උත්තරකාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පොලිසිය වෙත නියෝග නිකුත් කිරීමට නීතිපතිවරයාට බලයක් නොමැති බවත් සැකකරුවකු නම් කිරීම පිළිබඳව තීරණය ගත යුත්තේ විමර්ශනවලදී අනාවරණය වන කරුණු මත පොලිසිය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බවත් සඳහන් කළේය.
එසේ තිබියදී අදාළ සිද්ධියේ සැකකරුවෙකු ලෙස දේශබන්දු තෙන්නකෝන් නම් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කර තිබෙන ලිපිය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේ ය.
දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නේ ය.
ඊට අමතරව මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු අදාළ අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරන ලදී.
අදාළ සිද්ධියේ සැකකරුවෙකු ලෙස තමන්ව නම් කරන ලෙස නීතිපතිවරයා විසින් 2023 වසරේ අප්‍රේල් මස 19 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යවනු ලැබූ ලිපිය බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාග කළ එවක අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් අදාළ ලිපිය බලරහිත කරමින් මෑතකදී තීන්දුවක් ලබා දී තිබිණි.
එම අභියාචනාධිකරණ තීන්දුව නීතියට පටහැනි බවත් එම තීන්දුව බලරහිත කරන ලෙසත් ඉල්ලා නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම ඇපෑල ඉදිරිපත් කරනු ලැබී ය.














