දේශබන්දු තෙන්නකෝන්: ශ්‍රී ලංකා ඉතිහාසයේ 'පළමු වරට' පොලිස්පතිවරයෙක් පාර්ලිමේන්තුව විසින් වරදකරු කෙරේ

Former IGP Deshabandu Thennakon

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK| DESHABANDU TENNAKOON

    • Author, බිබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

මේ වන විට අනිවාර්ය නිවාඩු යවා සිටින දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරින් ඉවත් කළ යුතු ද යන්න තීරණය කිරීමට පාර්ලිමේන්තුව විසින් පත් කරන ලද පරීක්ෂණ කමිටුවේ වාර්තාව මේ වන විට නිකුත් වී ඇති අතර, ඒ අනුව පොලිස්පතිවරයාට එල්ල වී ඇති චෝදනාවලට ඔහු වරදකරු බවට එම පරීක්ෂණ කමිටුව ඒකමතිකව තීන්දු කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද දින [ජූලි 22] පාර්ලිමේන්තුව හමුවේ නිවේදනය කළේ ය.

මෙම පරීක්ෂණ කමිටුව පත් කළ යුතු බවට වන යෝජනාව මේ වසරේ අප්‍රේල් 08 දින පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත විය.

විෂමාචාරය සහ ධූරයේ බලතල අනිසි ලෙස භාවිත කිරීම ඇතුළු චෝදනා 20කට අධික සංඛ්‍යාවක් ඉන් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව එල්ල කර තිබිණි.

මෙම ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයන් වූයේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පද්මන් සූරසේන, අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක ය.

වීඩියෝ ශීර්ෂ වැකිය, දේශබන්දු තෙන්නකෝන්: ඉතිහාසයේ ප්‍රථම වරට පාර්ලිමේන්තුව විසින් පොලිස්තිවරයෙක්‌ වරදකරු කෙරේ

කතානායකවරයාගේ ප්‍රකාශයේ ඇතුළත් වුණේ මොනවා ද?

2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ විධිවිධාන යටතේ, වත්මන් පොලිස්පතිවරයා ඉවත් කිරීම සඳහා හේතු විමර්ශනය කර වාර්තා කිරීම පිණිස මෙම විමර්ශන කමිටුව පත් කරන ලදී.

මෙම කමිටුව, සිය විමර්ශන පවත්වා, පනතේ 8 ( 2) වගන්තියට අනුකූලව, අදාළ නිලධාරියාට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඔහු වරදකරු බවට ඒකමතිකව තීරණය කර ඇතැයි කතානායකවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ ය.

පාර්ලිමේන්තුව විසින් පනවන ලද නීති විධිවිධාන යටතේ පොලිස්පතිවරයෙකු ඉවත් කිරීම නිර්දේශ කරමින් මෙවැනි කමිටුවක් සිය නිල තීරණය ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ජනරජ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බව කතානායකවරයා සිය කතාවේදී පැවසුවේ ය.

මන්ත්‍රීවරුන්ගේ දැන ගැනීම සඳහා සහ විනිවිදභාවය හා මහජන වගවීම උදෙසා, කමිටු වාර්තාව පාර්ලිමේන්තු පත්‍රිකාවක් ලෙස සභාගත කිරීමට කතානායකවරයා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට උපදෙස් දී ඇති අතර, එය නිල රාජ්‍ය භාෂා ත්‍රිත්වයෙන් ම ලබා ගැනීමට මන්ත්‍රීවරුන්ට හැකියාව ලැබෙනු ඇත.

එමෙන් ම මහ ජනතාවට දැන ගැනීමට ඇති අයිතිය සහ ආයතන කෙරෙහි තබා ඇති විශ්වාසය ආරක්ෂා කිරීමේ මූලික වැදගත්කම මත එය මහ ජනතාව වෙත නිකුත් කිරීමට අවසර දීමට ද කතානායකවරයා අදහස් කරන බව පැවසුවේ ය.

මෙතෙක් සිදු වූයේ කුමක් ද?

දේශබන්දු තෙන්නකෝන්: පාර්ලිමේන්තුව පත් කළ කමිටුවෙන් වරදකරු වීම දක්වා

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ දේශබන්දු තෙන්නකෝන් ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ විසින් වැඩබලන පොලිස්පති ධූරයට පත් කළේ ය.

Image copyright by Facebook

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා පොලිසිය 'යුක්තිය' මෙහෙයුම ඇරඹීය.

වැලිගම පිහිටි W15 හෝටලයට සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පලා ගියේ ය. පසුව එම වෑන් රථයේ සිටි පුද්ගලයන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් බවට තොරතුරු අනාවරණය විය. මෙම වෙඩි තැබීමෙන් එක් පොලිස් නිලධාරියෙකු මිය ගියේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පැවරී ඇති බලතල අනුව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නව පොලිස්පති ලෙස පත් කළ බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

ඔහුව දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස විවෘත වරෙන්තු නිකුත් කළේ ය.

තමාව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණයදී ඇති නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කළේ ය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රීට් පෙත්සම අභියාචනාධිකරණය විසින් ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කරන ලදී.

හෝකන්දර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවාස පරික්ෂාවට ලක් කෙරිණි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට භාර වීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ඔහුව තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

පොලිස්පතිවරයාට එල්ල වී ඇති චෝදනාවලට ඔහු වරදකරු බවට පාර්ලිමේන්තුවෙන් පත් කළ පරීක්ෂණ කමිටුව විසින් ඒකමතිකව තීන්දු කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට නිවේදනය කළේ ය.