දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත්කිරීමට රනිල් වික්‍රමසිංහ ගත් තීරණය අභියෝගයට ලක්කළ පෙත්සම් විභාගයට දින නියම වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Deshabandu Tennakoon/Facebook
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් ලබන පෙබරවාරි මස 12 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.
මෙම පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන , මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන යන ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (සැප්තැම්බර් 8 වැනිදා) කැඳවනු ලැබිණි.
එම අවස්ථාවේදී පෙත්සම් කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් මහජන වැදගත්කමක් සහිත නඩුකරයන් බැවින් ඒවා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියම කරන ලෙස ඉල්ලා සිටියේ ය.
එම ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කරන බව සඳහන් කළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඉන් අනතුරුව අදාළ පෙත්සම් පෙබරවාරි මස 12 වැනිදා විභාගයට ගන්නා බවට නියෝග කළේය.
දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පෙත්සම් 9ක්
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත් කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 9ක් විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් (පෙබ: 24) දින නියම කළේ ය.
කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් මූලික අයිතිවාසිකම් පෙත්සම් 9ක් ඉදිරිපත් කර තිබිණි.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ විධිමත් නිර්දේශයක් නොතිබූ බවයි.
එවැනි විධිමත් නිර්දේශයකින් තොරව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
මේ තුළින් හිටපු ජනාධිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම බල රහිත බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.














