දේශබන්දු තෙන්නකෝන්: ශ්‍රී ලංකා ඉතිහාසයේ 'පළමු වරට' පොලිස්පතිවරයෙක් පාර්ලිමේන්තුව විසින් වරදකරු කෙරේ

    • Author, බිබීසී සිංහල

මේ වන විට අනිවාර්ය නිවාඩු යවා සිටින දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරින් ඉවත් කළ යුතු ද යන්න තීරණය කිරීමට පාර්ලිමේන්තුව විසින් පත් කරන ලද පරීක්ෂණ කමිටුවේ වාර්තාව මේ වන විට නිකුත් වී ඇති අතර, ඒ අනුව පොලිස්පතිවරයාට එල්ල වී ඇති චෝදනාවලට ඔහු වරදකරු බවට එම පරීක්ෂණ කමිටුව ඒකමතිකව තීන්දු කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද දින [ජූලි 22] පාර්ලිමේන්තුව හමුවේ නිවේදනය කළේ ය.

මෙම පරීක්ෂණ කමිටුව පත් කළ යුතු බවට වන යෝජනාව මේ වසරේ අප්‍රේල් 08 දින පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත විය.

විෂමාචාරය සහ ධූරයේ බලතල අනිසි ලෙස භාවිත කිරීම ඇතුළු චෝදනා 20කට අධික සංඛ්‍යාවක් ඉන් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව එල්ල කර තිබිණි.

මෙම ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයන් වූයේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පද්මන් සූරසේන, අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක ය.

කතානායකවරයාගේ ප්‍රකාශයේ ඇතුළත් වුණේ මොනවා ද?

2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ විධිවිධාන යටතේ, වත්මන් පොලිස්පතිවරයා ඉවත් කිරීම සඳහා හේතු විමර්ශනය කර වාර්තා කිරීම පිණිස මෙම විමර්ශන කමිටුව පත් කරන ලදී.

මෙම කමිටුව, සිය විමර්ශන පවත්වා, පනතේ 8 ( 2) වගන්තියට අනුකූලව, අදාළ නිලධාරියාට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඔහු වරදකරු බවට ඒකමතිකව තීරණය කර ඇතැයි කතානායකවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ ය.

පාර්ලිමේන්තුව විසින් පනවන ලද නීති විධිවිධාන යටතේ පොලිස්පතිවරයෙකු ඉවත් කිරීම නිර්දේශ කරමින් මෙවැනි කමිටුවක් සිය නිල තීරණය ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ජනරජ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බව කතානායකවරයා සිය කතාවේදී පැවසුවේ ය.

මන්ත්‍රීවරුන්ගේ දැන ගැනීම සඳහා සහ විනිවිදභාවය හා මහජන වගවීම උදෙසා, කමිටු වාර්තාව පාර්ලිමේන්තු පත්‍රිකාවක් ලෙස සභාගත කිරීමට කතානායකවරයා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට උපදෙස් දී ඇති අතර, එය නිල රාජ්‍ය භාෂා ත්‍රිත්වයෙන් ම ලබා ගැනීමට මන්ත්‍රීවරුන්ට හැකියාව ලැබෙනු ඇත.

එමෙන් ම මහ ජනතාවට දැන ගැනීමට ඇති අයිතිය සහ ආයතන කෙරෙහි තබා ඇති විශ්වාසය ආරක්ෂා කිරීමේ මූලික වැදගත්කම මත එය මහ ජනතාව වෙත නිකුත් කිරීමට අවසර දීමට ද කතානායකවරයා අදහස් කරන බව පැවසුවේ ය.

මෙතෙක් සිදු වූයේ කුමක් ද?