දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීමට පරීක්ෂණ කමිටුවක් පත්කිරීමේ යෝජනාව සම්මත වීමෙන් පසු මීළඟට සිදුවන්නේ කුමක් ද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව, අද (අප්‍රේල් 08 වැනිදා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

අදාළ පරීක්ෂණ කමිටුව පත් කිරීම සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ, ජාතික ජන බලවේගයේ ලක්මාලී හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය යි.

මේ සඳහා වූ ඡන්ද විමසීම පස්වරු 5.45ට ආරම්භ කෙරුණු අතර එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 151 ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද හිමි නොවීය.

පොලිස්පතිවරයා සිය තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 115 දෙනෙකුගේ අත්සනින් යුතුව පසුගිය මාර්තු 25 වැනි දා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත භාර දී තිබිණි.

විෂමාචාරය සහ ධූරයේ බලතල අනිසි ලෙස භාවිත කිරීම ඇතුළු චෝදනා 20කට අධික සංඛ්‍යාවක් ඉන් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නගා තිබේ.

මීළඟට සිදුවන්නේ කුමක් ද?

මෙම යෝජනාව සම්මත වීමත් සමග ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුව පත් කිරීමට නියමිතව තිබේ.

පරීක්ෂණ කමිටුවේ සභාපතිවරයා ලෙස අගවිනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු පත් කළ යුතුව තිබේ.

දෙවැනි සාමාජිකයා වන්නේ පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ය.

සෙසු සාමාජිකයා පත් කෙරෙන්නේ අගමැතිවරිය සහ විපක්ෂනායකවරයාගේ එකඟතාව මතය.

එම සාමාජිකයා නීතිය, පරිපාලනය හා කළමනාකරණය පිළිබඳ ප්‍රවීණතාවක් සහිත පුද්ගලයෙකු විය යුතු වේ.

අදාළ කමිටුව හරහා පරීක්ෂණය ක්‍රියාත්මක කෙරෙනු ඇත.

පොලිස්පතිවරයා ඉවත් කිරීමට අදාළ විධිවිධාන ඇතුළත් 2002 අංක 5 දරණ නිලධාරීන් ඉවත් කිරීම (කාර්පටිපාටිය) පනත අනුව එම කටයුතු සිදුවනු ඇතැයි පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා බීබීසී සිංහල වෙත පැවසීය.

ඒ අනුව අදාළ කමිටුව විසින් පරීක්ෂණයට අදාළ සාක්ෂි විමසීම් සිදුකරනු ඇත.

එම පරීක්‍ෂණ කමිටුව පොලිස්පතිවරයා ඉවත් කිරීමේ තීරණයක් ලබාදුනහොත් එකී තීරණය පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් අනතුරුව එය ජනාධිපතිවරයාට යොමුකිරීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා ධූරයෙන් ඉවත් කිරීම සිදුකරනු ලබනු ඇත.

2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.

දේශබන්දු තෙන්නකෝන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදිනට ප්‍රකාශයට පත් කෙරුණු ඇත.

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාතර මහේස්ත්‍රාත්වරයා විවෘත වරෙන්තු නිකුත් කළේ මාර්තු 11 වැනිදා ය.

වරෙන්තු නිකුත් කිරීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්ථාන ගණනාවක් පරීක්ෂා කළත් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.

පළමු නියෝගය නිකුත් කර දින 20කට පමණ පසු, දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

වැලිගම සිදුවූ වෙඩි තැබීම කුමක් ද?

වැලිගම පැලෑන ප්‍රදේශයේ පවත්වාගෙන යන හෝටලයකට සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබන බවට 2023 දෙසැම්බර් 31 වන දා අලුයම් කාලයේදී වැලිගම පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමක දී වැලිගම පොලිසියේ නිලධාරීන් එල්ල කළ ප්‍රහාරයකින් අනතුරුව අදාළ සුදු වෑන් රථයෙන් පැමිණි පිරිස පළාගොස් තිබිණි.

වැලිගම පොලිසිය කළ දැනුම් දීමකට අනුව ඉමදූව අධිවේගී පිවිසුමේදී අදාළ සුදු වෑන් රථය අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීහු වෙඩි වැදී තුවාල සහිතව සුදු වෑන් රථයේ සිටි දෙදෙනෙකු 1990 ගිලන් රථ සේවය මගින් කරාපිටිය රෝහලට යොමු කළ අතර එහිදී වෙඩි වැදී සිටි එක් පුද්ගලයෙකු මියගොස් තිබිණි. ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කළ සැරයන් උපුල් කුමාර නමැති 46 හැවිරිදි ගලේවෙල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු බව පසුව අනාවරණය විය.

අනෙක් පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කළ උපපොලිස් පරීක්‍ෂකවරයෙකු බව අනාවරණය වූ අතර වෙඩි වැදුණු තුවාල සහිතව සිටි ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබිණි.

'හරක් කටා' සහ 'මිදිගම රුවන්' නමැත්තන්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පුද්ගලයින් කොටු කර ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය 'යුක්තිය මෙහෙයුම' යටතේ කළ වැටලීමකදී මෙම සිද්ධිය වූ බව පසුව අනාවරණය කෙරුණු අතර වැලිගම පොලිසියේ වෙඩි ප්‍රහාරයෙන් මියගිය කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කළ උපුල් කුමාර නමැති සැරයන්වරයාගේ ඥාතීන්ට හිටපු මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් පසු අවස්ථාවකදී රුපියල් ලක්ෂ 42ක මුදලක් වන්දි වශයෙන් දුන් බව ද අනාවරණය විය.

සිද්ධිය සම්බන්ධයෙන් මතුවු කරුණු මත විමර්ශන කටයුතු දකුණු පළාතේ පොලිස් ස්ථානවලින් ඉවත් කර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර කෙරුණු අතර සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තා රහස් පොලිස් නිලධාරීහූ අධිකරණයට ඉදිරිපත් කළහ.

සිද්ධියට අදාළව වසරකට අධික කාලයක් පුරා කළ මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙය අපරාධයක් බව තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා අපරාධයට සම්බන්ධ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියම කළේ ය.