ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දේශබන්දු තෙන්නකෝන් : CCD නිලධාරීන් 07 දෙනෙකු අත්අඩංගුවට නොගැනීමේ එකඟතාවය දීර්ඝ නොකිරීමට තීන්දුවක්
2023 වසරේ දෙසැම්බර් මාසයේදී මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියම කර තිබූ කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු ස්ථානාධිපති ඇන්ස්ලම් සිල්වා ඇතුළු නිලධාරීන් හයදෙනකු අද (මාර්තු 21) වැනිදා අධිකරණයට භාරවීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදාහරින ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
මෙම සැකකරුවන් අද (මාර්තු මස 21) පෙරවරුවේ මෝසමක් ඉදිරිපත් කරමින් සිය නීතිඥවරු මාර්ගයෙන් මාතර මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ භාරවිය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු විසින් දීර්ඝ ලෙස ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රත්වරයා එක් එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ අතර නැවත මෙම නඩුව අප්‍රේල් මස 03 වනදා කැඳවීමට නියමිතයි.
CCD නිලධාරීන් 07 දෙනෙකු ගැන අධිකරණය දුන් නියෝගය
මේ අතර මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා ඇතුළු නිලධාරීන් අටදෙනකු විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන මාර්තු මස 26 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (මාර්තු 21) වැනිදා නියෝග කරන ලදී.
ඒ, අදාළ මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මහේෂිකා ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්කාර පොලිස් නිලධාරීන් විමර්ශන කටයුතු අවසන් වන තුරු අත්අඩංගුවට නොගන්නා බවට මීට පෙර අධිකරණයට ලබාදී තිබූ ප්‍රතිඥාව තවදුරටත් දීර්ඝ කිරීමට එකඟ නොවන බව පැවසුවාය.
එමෙන්ම ඇය පෙන්වා දුන්නේ මෙම පෙත්සම්කරුවන් අතරින් පිරිසක් අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමට නියමිත බවට තොරතුරු ලැබී තිබෙන බව යි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙසත්, එතෙක් මෙම පෙත්සම්කරුවන් අත්අඩංගුවට නොගන්නා බවට ලබා දී තිබෙන ප්‍රතිඥාව දීර්ඝ කරන ලෙසත් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුකරයට අදාළව මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවේ මේ දක්වා සැකකරුවකු වශයෙන් නම් කර නොමැති සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා පමණක් අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණයට ලබා දී තිබූ එකඟතාව ඊළඟ නඩු දිනය දක්වා දිර්ඝ කිරීමට නියෝග කළ අතර සෙසු පෙත්සම්කාර නිලධාරීන් සම්බන්ධයෙන් එම එකඟතාව තවදුරටත් දීර්ඝ නොකිරීමට ද අභියාචනාධිකරණය විසින් තීන්දු කරන ලදී.
CCD ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් 6 දෙනා අත්අඩංගුවට නොගැනීමට එකඟතාවක්
වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පෙබරවාරි 27 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කර තිබිණි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිතුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 6 දෙනා තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවය.
ඒ අනුව නීතිපතිවරයා සහ පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් අභියාචනාධිකරණයේදී ඇතිකර ගන්නා ලද එකඟතාවය මත මූලික විමර්ශන අවසන් වන තෙක් ඔවුන් අත්අඩංගුවට නොගන්නා ලෙසටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමෙන් පසු ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කිරීමටත් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
මෙම රීට් පෙත්සම මාර්තු 21 වැනිදා අභියාචනාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.
මේ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට නොගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාස නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
එහෙත් පොලිස්පති ධුරයේ වැඩ අත්හිටුවන ලද දේශබන්දු තෙන්කෝන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම් 6ක් වැඩිදුර විමර්ශන කරමින් ඇතැයිද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.