ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඔබේ EPF විශ්‍රාම වැටුපක් කළ හැකි ද? රජය කියන්නේ කුමක් ද?
- Author, බීබීසී සිංහල
වසර කිහිපයකට ඉහත දී සේවක අර්ථ සාධක අරමුදල විශ්‍රාම වැටුපක් ලෙස වෙනස් කිරීමට ගත් තීරණය කම්කරුවකු ගේ දිවි අහිමි කරමින් නැවතී ගිය අතර නැවතත් ඒ පිළිබඳව කතා බහක් මතුව තිබේ.
ඒ පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් ක්‍රියාත්මක සේවක අර්ථ සාධක අරමුදල විශ්‍රාම වැටුපක් ලෙස ලබා දීමට හැකි දැයි සලකා බලමින් සිටින බවට නියෝජ්‍ය කම්කරු අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශයත් සමග ය.
'EPF ක්‍රියාත්මක වෙන්නේ ම සමාජ ආරක්ෂණය වෙනුවෙන්'
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ජනවාරි 06 වෙනිදා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ, එම අරමුදල විශ්‍රාම වැටුපක් ලෙසින් ගෙවීමට හැකි දැයි සලකා බලමින් සිටින බව ය.
"EPF එකේ විටින් විට මේ මුදල් ලබා දීම ඇතුලෙත් ඔවුන් විශ්‍රාම ගියාට පස්සේ සමාජ ආරක්ෂණයට යම් බලපෑමක් සිදුවෙනවා. ඒ නිසා අපි දැන් අවදානය යොමු කරලා තියෙනවා පෞද්ගලික අංශයේ එකවර මේ මුදල අරගෙන, ඒකෙන් මම අදහස් කරන්නේ මේක අහෝසි කරනවා කියන එක නෙමෙයි. අපි වැඩි අවදානය යොමු කරලා තියෙනවා ඔවුන්ටත් පුළුවන්කම තියෙනවාද විශ්‍රාම වැටුප හා සමාන ක්‍රමයකට යන්න ජීවිත කාලය පුරාවටම ඔවුන්ට විශ්‍රාම වැටුපක් ලබා දීමේ හැකියාව තියෙනවාද, මොකද මේ EPF ක්‍රියාත්මක වෙන්නේ ම සමාජ ආරක්ෂණය වෙනුවෙන්." යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
'කිසිදු තීන්දුවක් අරගෙන නෑ' - කම්කරු ඇමතිගේ ප්‍රතිචාරය
මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයත් සමගම සමාජ මාධ්‍යවල ඒ පිළිබඳව දැඩි අන්දෝලනයක් මතු වූ අතර කම්කරු අමාත්‍ය සහ මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ඒ පිළිබඳව මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කළේය.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ, පාර්ලිමේන්තුවේ අසන ලද ප්‍රශ්නයකට මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා දුන් පිළිතුර වැරදි ලෙස භාවිතා කරමින් පුවත් නිර්මාණය කර ඇති බව ය.
සේවක අර්ථක අරමුදලේ මුදල් විශ්‍රාම වැටුපක් ලෙස ගෙවීමට කිසිඳු තීන්දුවක් ගෙන නොමැති බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත සඳහන් කළේය.
"අදහස් මතු වෙනවා සමාජයෙන් විශ්‍රාම වැටුපක් ගැන, මේ EPF එක තියෙනවා ඒක එකවර ලැබෙන්නේ, එතකොට විශ්‍රාම වැටුපකුත් ලබා ගැනීමට පුළුවන්කම තියෙනවාද නැද්ද කියන කාරණය. ඇත්තටම එතනදී විශ්‍රාම වැටුපක් ලබාගන්න පුළුවන් නම් හොඳයි, මේ පිළිබඳව සමාජයේ කතාවක් නිර්මාණය වෙලා තියෙනවා නමුත් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් හෝ ආණ්ඩුවෙන් කිසිදු ප්‍රකාශයක් කළත්, කිසිදු තීන්දුවක් අරගෙන නෑ මේ EPF එකේ තියන මුදල් විශ්‍රාම වැටුපකට හරෝලා ඒ තනි දීමනාව වෙනුවට විශ්‍රාම වැටුප් ගෙවනවා කියලා."
කම්කරු නියෝජ්‍ය ඇමතිවරයාගෙන් පැහැදිලි කිරීමක්
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ ප්‍රශ්නවලට දුන් පිළිතුර වැරදි ලෙස වාර්තා කර ඇති බව කී මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය.
"එහිදී මා සඳහන් කළේ, අදාළ අරමුදල් දෙක අරමුණ දෙකක් සඳහා ස්ථාපනය කර ඇති බවයි. එහිදී විශේෂයෙන්ම සේවක අර්ථ සාධක අරමුදල ස්ථාපනය කර ඇත්තේ එහි සාමාජිකයින් ගේ සමාජ ආරක්ෂණය වෙනුවෙන් බවත් මම එහිදී වැඩිදුරටත් පෙන්වලා දුන්නා. එහිදී මා සඳහන් කළේ, ඇතැම් සාමාජිකයින් සේවයෙන් විශ්‍රාම යාමට පෙර විවිධ අවස්ථාවලදී සිය සේවක අර්ථ සාධක අරමුදලින් ප්‍රතිලාභ ලබා ගැනීම හේතුවෙන් විශ්‍රාම යන විට ඔවුන් ගේ සමාජ ආරක්ෂණ අරමුණු ඉටු නොවන බවයි. එහෙම නැතුව ඒක ගන්න එපා කොහෙවත් තහනම් කරනවා කියලා මම කිව්වේ නැහැ. ඒ පිළිබඳව සලකා බලා ඔවුන්ට විශ්‍රාම වැටුප්, අන්න ඒ පිළිබඳව සලකලා බලලා, වෙලාවක සීයට 30ක් ගන්නවා. තව වෙලාවක ඔවුන් විශ්‍රාම යනකොට සම්පුර්ණ මුදල එකවර ගන්නවා. මෙන්න මේ පිළිබඳ කරුණු සලකලා බලලා ඔවුන්ට විශ්‍රාම වැටුපක් ලබා දීම පිළිබඳව රජයේ අවදානය යොමු වෙලා තියෙනවා කියන කාරණය තමයි අපි සඳහන් කළේ. ඒක අපි අමාත්‍යංශය තුළ මේ මොහොතේ සාකච්ඡාවට ගැනෙන කරුණක් බවට පත්වෙලා තිබෙනවා."
එලෙස තමන් කරන ලද ප්‍රකාශය වැරදි ලෙස අර්ථ දක්වා ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඊට උදාහරණ ලෙස මාධ්‍ය ආයතන කිහිපයක නම් සඳහන් කළේය.
"අදාළ මාධ්‍ය වාර්තාවල දක්වා තිබුණේ අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන් විශ්‍රාම යන විට ඔවුන්ට හිමි ප්‍රතිලාභ ගෙවීම වෙනුවට, ඔවුන්ට විශ්‍රාම වැටුපක් ගෙවීමට රජය තීරණය කර ඇති බවයි," මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
මෙරට කම්කරු ප්‍රජාව සම්බන්ධව ගන්නා ඕනෑම පියවරක් හෝ අවසන් තීරණය ගනු ලබන්නේ වෘත්තිය සමිති, ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය සහ රජය පාර්ශවවලින් සැදුම්ලත් ජාතික කම්කරු උපදේශක සභාව හරහා පමණක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
රොෂේන් චානක දිවි දී බේරා දුන් සේවක අර්ථ සාධක අරමුදල
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස දෙවන වරට ධූරය දරන සමයේ සේවක අර්ථ සාධක අරමුදල කප්පාදු කර විශ්‍රාම වැටුපක් ඉදිරිපත් කළ යෝජනාවට දැඩි විරෝධයක් එල්ල වූ අතර එම යෝජනාව හකුලා ගනු ලැබුවේ කම්කරුවකුගේ ජීවිතයක් ද අහිමි කරමිනි.
එම යෝජනාව "අර්ථ සාධක අරමුදල කොල්ලකෑමට ගන්නා උත්සාහයක්" ලෙස චෝදනා කරමින් දින කිහිපයක් තිස්සේ රට පුරා කම්කරුවන් විරෝධය දැක්වු අතර පැවති විරෝධයන්ට රජය පාර්ශවයෙන් පිළිගත හැකි විසඳුමක් නොලැබීම හේතුවෙන් 2011 මැයි මස 30 වැනිදා රජයට එරෙහි විරෝධය තීව්‍ර කරමින් කටුනායක නිදහස් වෙළඳ කලාප සේවකයෝ වැඩ වරමින් වීදී සටනක් ආරම්භ කළහ.
එම විරෝධතාවයට පොලිසිය විසින් එල්ල කරන ලද වෙඩි පහරින් කම්කරුවන් 400ක් පමණ තුවාල ලැබූ අතර ඊට හාර මාසයකට පමණ ඉහත දී නිදහස් වෙළඳ කලාපයේ රැකියාට ගිය රොෂේන් චානක වෙඩි පහරින් මිය ගියේ ය.