ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'පොලිස්පති පුටුවට' සුදුස්සෝ පොලිස් දෙපාර්තමේන්තුවේ නැද්ද?
රටේ මහජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මුලික වගකීම දරන වසර 157ක ඉතිහාසයක් ඇති පොලිස් දෙපාර්තමේන්තුවට නව පොලිස්පතිවරයෙකු නම් කිරීමට නොහැකිවී තිබීම පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත.
ඒ වත්මන් පොලිස්පතිවරයා මේ වන විට සේවා දිගු කිහිපයක් යටතේ රාජකාරි කරමින් සිටීම හේතුවෙනි.
වත්මන් පොලිස්පතිට ලැබුණු සේවා දිගු
වර්තමානයේ පොලිස්පති ධුරය හොබවනු ලබන පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න ඉකුත් මාර්තු මස 25 වෙනිදා සිට එම තනතුරින් විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණි.එසේ වුවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පොලිස්පතිවරයාට පළමුව මාස 03ක සේවා දිගුවක් ලබා දෙනු ලැබීය.
එලෙස ලබා දුන් සේවා දිගුව ඉකුත් ජුනි 25 මස වැනිදා අවසන් විය.
ඉන් පසු දින 14ක කාලයක් පොලිස්පතිවරයෙකු නොමැතිව පොලිස් දෙපාර්තමේන්තුව පැවති අතර නැවත ජනාධිපතිවරයා විසින් ඉකුත් ජුලි මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සි.ඩි. වික්‍රමරත්න වෙත පොලිස්පති ධුරය සදහා මාස 03ක සේවා දිගුවක් ලබා දීමට කටයුතු කළේය.
දෙවැනි වරට ලබාදී තිබූ මාස 3ක කාලය ඉකුත් ඔක්තෝබර් මස 9 වැනිදා අවසන් විය.
ඉන් අනතුරුව තෙවන වරටත් සි.ඩි. වික්‍රමරත්නට ඉකුත් ඔක්තෝම්බර් මස 13 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි සති තුනක කාලයක් සඳහා යළිත් පොලිස්පති ධුරය සදහා සේවා දිගුවක් ලබා දෙන ලදී.
ඒ අනුව පොලිස්පති සි.ඩි. වික්‍රමරත්නට ලබා දී තිබෙන තෙවන සේවා දිගුව ඊයෙන් ( නොවැම්බර් මස 02 වෙනිදායින්) අවසන් විය.
අද (නොවැම්බර් 3) නැවත සී ඩී වික්‍රමරත්නට සේවා දිගුවක් ලබා දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ප්‍රකාශකයෙකු බීබීසි සිංහල සේවයට පැවසුවේ අද (නොවැම්බර් 03 පැවසුවේ) දින සිට ක්‍රියාත්මක වන පරිදි වත්මන් පොලිස්පතිවරයාට යළි සති 3ක කාලයක් සඳහා මෙලෙස සේවා දිගුවක් ලබා දී ඇති බවයි.
ඒ අනුව වත්මන් පොලිස්පතිවරයාට ලබාදුන් සිව්වන සේවා දිගුව මෙය වේ.
නව පොලිස්පතිවරයෙකු පත් කිරීමේ ක්‍රමවේදය කුමක්ද?
පොලිස්පති ධුරය හිමි වන්නේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාටයි. සාමාන්‍ය ක්‍රමවේදය යටතේ පොලිස්පති ධුරය සඳහා සුදුසු නමක් හෝ නම් කිහිපයක් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කරනු ලැබේ.
ඉන්පසු එම සභාවේ අනුමැතියෙන් පසු සුදුසු නම ජනාධිපතිවරයාට නිර්දේශ කෙරෙන අතර ජනාධිපතිවරයා විසින් ඒ අනුව නව පොලිස්පතිවරයා පත් කරනු ලබයි.
'චෝදනා ඇති අය පත්කරන්න එපා'
සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ චෝදනා ඇති පුද්ගලයින් එම තනතුරට පත් නොකළ යුතු බවයි. රට හැදීමට නම් සුදුසු පුද්ගලයින් තනතුරු වලට පත්කළ යුතු බව මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය.
"අද පත්තරේ බලපුවම ඒකෙ සඳහන් වනවා පොලිස්පති කෙනෙක් පත් කරන්න ඕන කියලා. අපි දන්නවා ඉන්න පොලිස්පතිව තුන්වන වරට සේවාව දිගුවක් ලබාදීලා තියෙනවා. ව්‍යවස්ථාදායක සභාවෙන් ඒකට විරුද්ධ වෙලා තියෙනවා ඒක නීතිමය නැහැ කියලා. ජනාධිපතිවරයා ඒත් ගිහිල්ලා පත් කරලා. ජනාධිපතිතුමාට නීතිය කඩන්න බැහැ. කාටවත් නීතිය කඩන්න බැහැ, ඔක්කොමලා නිතියට යටත් වෙන්න ඕන."
"දැන් අලුත් කෙනෙක් පත් කරන්න ඕනනේ. චෝදනාවල් තියෙන මිනිස්සු පත්කරන්න එපා. අපි ජනාධිපතිතුමාට කියනවා කෙලින් ක්‍රියා කරන්න. චෝදනාවන් තියෙන අය පත් කරන්න එපා. මොකද මේ රට හදන්න බැහැ සුදුසු මිනිස්සු අදාළ තැන්වල නැත්නම්." මන්ත්‍රීවරයා පැවසුවේය.
පොලිස්ති පුටුව කාට හිමිවෙයි ද?
පුරා මාස 07 කට අධික කාලයක් ගතවී ඇති පසුබිමක් තුළ පොලිස්පති ධුරය සඳහා නමක් මේ දක්වා යෝජනා කර නැත.මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගෙන් බීබීසි සිංහල සේවය කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සඳහා නමක් ව්‍යවස්ථාදායක සභාවට යොමු කරනු ඇති බවයි.
"දැන් මාස 06කට වැඩිය කාලයක් මේ ගැන කතා කලානේ. ජනාධිපතිතුමයි ව්‍යවස්ථාදායක සභාවට පොලිස්පති ධුරයට සුදුසු නිලධාරින්ගේ නම් යෝජනා කරන්නේ. එතුමා ඒක කරයි." අමාත්‍යවරයා පැවසීය.
මීලඟ පොලිස්පති ධුරයට සුදුසුකම් ලබන්නේ කවුද?
පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් යුත් නිලධාරීන් කිහිපදෙනෙකු පොලිස්පති ධුරයට පත්වීම සඳහා පොරොත්තු ලැයිස්තුවේ සිටියි.
ඒ අතරින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන (පරිපාලන අංශය), ලලිත් පතිනායක (වයඹ පළාත), දේශබන්දු තෙන්නකෝන් (බස්නාහිර පළාත) සහ ප්‍රියන්ත වීරසුරිය (අපරාධ කොට්ඨාශය භාර) යන නිලධාරීන් ගේ නම් පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්ව ලැයිස්තුව අනුව මීලඟ පොලිස්පති ධුරය සඳහා ඉදිරියෙන් තිබේ.
කෙසේ වුවද පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව හේතුවෙන් අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩු පවතින බැවින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, පොලිස්පති ධුරයට නම් කිරීමට ඇති ඉඩ කඩ සීමා වී ඇත.
ඒ ඊයේ ( නොවැම්බර් 02 වෙනිදා) එවකට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් මේ දක්වා ගෙන තිබෙන විනය ක්‍රියාමාර්ග පිළිබඳ සවිස්තර වාර්තාවක් දෙසැම්බර් මස 30 වැනිදාට පෙර ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කිරීමත් සමගයි.
මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ද අධිකරණය හමුවේ නඩු කිහිපයක් පවරා තිබු අතර ඉන් ඇතැම් නඩු අවසන් කර ඇත.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් මීලඟ පොලිස්පතිවරයා ලෙස ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කෙරෙනු ඇත්තේ කවුරුන්ද යන්න තවමත් කුකුසකි. එසේත් නැත්නම් දැන් සිව්වන සේවා දිගුවත් ලබා සිටින පොලිස්පතිවරයාට යළි සේවා දිගුවක් ලබාදෙයි ද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.