ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දියාවේ පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියේ ආරක්ෂාව ගැන තොරතුරු හෙළිවූ ලිපියේ සඳහන් කරුණු
- Author, බීබීසී බංග්ලා
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට පැමිණීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන කරුණු තුනක් සඳහන් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ආරක්ෂක අංශය ලිපියක් එවා ඇති බව බංග්ලාදේශ අන්තර්වාර රජයේ ක්‍රීඩා උපදේශක අසීෆ් නස්රුල් සඳුදා පස්වරුවේ මාධ්‍ය හමුවකදී පැවසීය.
මෙම ලිපිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය අතර ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් සිදු කෙරෙන අභ්‍යන්තර සන්නිවේදනයක කොටසක් බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළේ ය.
එම ලිපිය බීබීසී බංග්ලා පුවත් සේවයට ලැබී තිබේ.
එය ICC හි ආරක්ෂක කළමනාකරු විසින් ජනවාරි 8 වන දින බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරක්ෂක උපදේශක වෙත යවන ලද ඊ මේල් පණිවුඩයකි.
බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ එහි ආධාරකරුවන් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඉන්දියාවට ගියහොත් ඇති විය හැකි අවදානම පිළිබඳව එම ලිපිය මගින් මූලික වශයෙන් සාකච්ඡා කර තිබේ. ICC හි ආරක්ෂක කළමනාකරු ඊමේල් පණිවුඩය හරහා බංග්ලාදේශ කණ්ඩායමේ 'අවදානම් තක්සේරු සාරාංශයේ' කෙටි පැහැදිලි කිරීමක් කර ඇත.
සාමාන්‍යයෙන්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඕනෑ ම තරගාවලියකට පෙර මෙවැනි 'අවදානම් තක්සේරුවක්' පවත්වනු ලබන අතර, එහිදී සමස්ත තරගාවලියට පෙර අවදානම් මට්ටම මෙන් ම එක් එක් ක්‍රීඩාංගණය වටා එක් එක් කණ්ඩායමේ අවදානම් මට්ටම තක්සේරු කරනු ලැබේ. මෙම අවදානම් තක්සේරුවෙන් පසුව, එක් එක් කණ්ඩායම සඳහා සාමාන්‍යයෙන් වාර්තාවක් ලබා දෙනු ලැබේ.
මෙම විශ්ලේෂණය ඇත්ත වශයෙන් ම විය හැකි අවදානම් පිළිබඳ අදහසක් ලබා දෙයි. ඒ අනුව, අවශ්‍ය පූර්ව ආරක්ෂාව සැපයීමට පියවර ගත හැකි ය.
ICC ඊමේල් පණිවුඩයේ තිබුණේ මොනවා ද?
ඊමේල් පණිවුඩය ආරම්භ වන්නේ මුස්තෆිසුර් රහ්මන් ජනවාරි 3 වන දින තරග කාලසටහනෙන් ඉවත් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දුන් නියෝගය, ආරක්ෂක ගැටලු හේතුවෙන් ඉන්දියාව වෙනුවට ශ්‍රී ලංකාවේදී තරග පවත්වන ලෙස බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය කළ ඉල්ලීම සහ මුස්තෆිසුර් ඉවත් කිරීමේ ප්‍රශ්නය මත බංග්ලාදේශය IPL තරග විකාශනය අත්හිටුවීම යන කරුණු සටහන් කරමිනි.
අනතුරුව බංගලාදේශ කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ අවදානම් ක්ෂේත්‍ර හතරක් යටතේ වෙන වෙන ම තක්සේරු කරන ලදී.
ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ වෙබ් අඩවියක් වන ESPNCricinfo සඳහන් කළේ, මෙම 'අවදානම් තක්සේරුව' ICC හි විශ්වීය 'සම්මත වර්ගීකරණයක්' වන අතර එය සාමාන්‍යයෙන් තරගය පැවැත්වෙන ස්ථානය වෙනස් කිරීමට ප්‍රමාණවත් හේතු නොසපයන බව ය.
1. මුස්තෆිසුර්ගේ ප්‍රශ්නය
T20 ලෝක කුසලානය ඉන්දියාවේදී පැවැත්වීමේ අවදානම් තක්සේරුව දෙසැම්බර් මාසයේදී අවසන් වූ අතර තරගාවලියේ සමස්ත අවදානම් මට්ටම 'මධ්‍යස්ථ' ලෙස ශ්‍රේණිගත කර ඇත.
කෙසේ වෙතත්, බංග්ලාදේශය සම්බන්ධයෙන් වන අවදානම් තත්ත්වය මධ්‍යස්ථ මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා ශ්‍රේණිගත කර ඇතැයි ඊමේල් පණිවුඩයේ සඳහන් වෙයි.
වෙනත් වචනවලින් කිවහොත්, අනෙකුත් කණ්ඩායම් සඳහා අවදානම් මට්ටම මධ්‍යම මට්ටමක පවතින අතර, බංග්ලාදේශය සම්බන්ධයෙන් ගත් කල, එම තක්සේරුවේදී එය මධ්‍යම සිට ඉහළ මට්ටමක පවතී.
එම මූලික තක්සේරුවෙන් පසුව බංග්ලාදේශ කණ්ඩායමට ඇති අවදානම් මට්ටම තීරණය කිරීම සඳහා තවත් අවදානම් තක්සේරුවක් සිදු කළ අතර එයින් පෙන්නුම් කළේ, බංග්ලාදේශ ජාතිකයින්ට ද මධ්‍යම මට්ටමේ අවදානමක් පවතින බව ය.
කෙසේ වෙතත්, 'ආගමික අන්තවාදී ප්‍රශ්න' ඇති වුවහොත් මුස්තෆිසුර් රහ්මන් බංග්ලාදේශ කණ්ඩායම සමග සිටීම ගැටලුවක් විය හැකි බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
2. බංග්ලාදේශ කණ්ඩායමට ඇති ආරක්ෂක ප්‍රශ්න
බංගලිදේශයේ පැවැත්වෙන පෙරහුරු තරගයට අමතරව බංගලාදේශය මූලික අදියරේ තරග තුනකට කොල්කටාහිදී සහ එක් තරගයකට මුම්බායිහිදී සහභාගි වීමට නියමිත ය.
තරගයේ වේලාව සහ ප්‍රතිවාදියා සලකා බැලීමේදී මෙම තරගවලදී බංග්ලාදේශ කණ්ඩායමට ඇති අවදානම 'මධ්‍යම සිට පහළ' දක්වා හෝ පහළ සිට මධ්‍යම දක්වා වශයෙන් දක්වා ඇත.
ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරියෙකු වන සී.වී. මුරලිදර්ගේ තක්සේරුවක් ද එය උපුටා දක්වයි, එහිදී ඔහු කියා සිටියේ මෑත සිදුවීම් අනුව අවදානම් තක්සේරුව වෙනස් වී නොමැති බවත්, ලෝක කුසලාන තරගාවලියේ වත්මන් සැලසුම් යටතේ ආමන්ත්‍රණය කළ නොහැකි ආරක්ෂක අවදානමක් මතු නොවනු ඇති බවට තමා (මුරලිදර්) විශ්වාස කරන බවත් ය.
3. ක්‍රීඩා ලෝලීන්ගේ ආරක්ෂක ප්‍රශ්න
ඉන්දීය ආරක්ෂක නිලධාරීන්ගේ ඉතිහාසය සහ සහතික මත පදනම්ව, බංග්ලාදේශ කණ්ඩායම හෝ සහභාගී වන වෙනත් කණ්ඩායමක් කොල්කටා හෝ මුම්බායිහිදී විශාල ප්‍රචණ්ඩත්වයකට ලක්වනු ඇතැයි හෝ ඔවුන්ගේ අවදානම් මට්ටමේ හදිසි වැඩිවීමක් සිදුවනු ඇතැයි සිතිය නොහැකි බව ඊමේල් පණිවුඩයෙහි සඳහන් වේ.
මෙම ක්‍රීඩාංගණ දෙක සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ අවදානම් මට්ටම මධ්‍යම මට්ටමක පවතින බව එහි සඳහන් විය.
කෙසේ වෙතත්, විශ්ලේෂණයට අනුව මෙම ස්ථාන දෙකෙහි බංග්ලාදේශ ක්‍රීඩා ලෝලීන්ගේ අවදානම් මට්ටම - විශේෂයෙන් කණ්ඩායම් ජර්සි පැළඳ හෝ වෙන ම කුඩා කණ්ඩායම් වශයෙන් ක්‍රීඩාංගණයට යන ක්‍රීඩා ලෝලීන් - මධ්‍යම සිට ඉහළ මට්ටමක පවතී.
මීට අමතරව, ලෝක කුසලාන තරගාවලිය ආශ්‍රිතව කිසියම් ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු වුවහොත්, එය අවට විශාල ප්‍රදේශයක් පුරා ප්‍රචණ්ඩත්වය සහ විරෝධතා පැතිර යා හැකි ය.
මුස්ලිම් පල්ලි ගිනි තැබීම, මහා පරිමාණ කෝලාහල හෝ සුළුතඑ ආගමික කොටස් ඝාතනය කිරීම වැනි සිදුවීම් හරහා ආතතීන් උත්සන්න විය හැකි අතර අවදානම් මට්ටම ඉහළ නැංවිය හැකි බවට වාර්තාව උදාහරණ ලෙස ගෙනහැර දක්වා තිබේ.
එවැනි සිද්ධියක් ඇති වීමේ සම්භාවිතාව අඩු වුව ද එවැනි සිදුවීමක් සිදුවිය හැකි බව ඊමේල් පණිවුඩයෙන් ඇඟවෙයි.
4. බංග්ලාදේශයේ මැතිවරණයට අදාළ ප්‍රශ්න
ඉන්දියාව සහ බංග්ලාදේශය අතර මෑතකාලීන ආතතීන් සහ දේශපාලන ආතතීන් - විශේෂයෙන් පෙබරවාරි 12 වන දින බංග්ලාදේශයේ ජාතික මැතිවරණයට පෙර - සමස්ත කලාපයට ම 'කෙටි කාලීන සහ මධ්‍ය කාලීන' බලපෑමක් ඇති කළ හැකි බව ICC හි අවදානම් තක්සේරු වාර්තාව පවසයි.
කෙසේ වෙතත්, මේ මොහොතේ මෙම ආතතිය තරග පැවැත්වෙන ප්‍රදේශවලට හෝ ක්‍රීඩකයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වයක් බවට පත් නොවන බව ඊමේල් පණිවුඩයෙන් අනාවරණය වී තිබේ.
මෙම අවස්ථාවේදී බංග්ලාදේශ කණ්ඩායමට සහ ක්‍රීඩකයින්ට ඇති අවදානම මධ්‍යස්ථ බව එම වාර්තාවේ දැක්වෙයි.
කෙසේ වෙතත්, මෙම සිද්ධියේදී, නියමිත ස්ථානවල බංග්ලාදේශ කණ්ඩායමේ ආරක්ෂක සැලැස්ම පිළිබඳ 'පූර්ණ සමාලෝචනයක්' පැවැත්වීමේ ගැටලුවක් ද තක්සේරුව මගින් මතු විය.
ඊමේල් පණිවුඩයේ අවසාන කොටසෙහි දැක්වෙන්නේ, උපාය මාර්ගික ආරක්ෂක සැලැස්ම මේ වන විට පාලක මණ්ඩල දෙකෙහි ම ස්වාධීන ආරක්ෂක කළමනාකරුවන් දෙදෙනෙකු සමාලෝචනය කරමින් සිටින බව ය.
අවසන් වාක්‍යය බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරක්ෂක උපදේශකවරයා වෙත යොමු කර ඇත්තේ, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ පාර්ශවයෙන් ඕනෑ ම අවදානමක් හෝ සැලකිල්ලක් සම්බන්ධීකරණයෙන් විසඳාගත හැකි වන පරිදි මෙම කාරණය සම්බන්ධයෙන් ඔහුගේ තක්සේරුව සහ අදහස් සාදරයෙන් පිළිගන්නා බව ය.
බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිවේදනය
ක්‍රීඩා උපදේශකවරයාගේ ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසු බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, පසුගිය දා ඉන්දියාවේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අන්තර් වාර රජයේ ක්‍රීඩා උපදේශකවරයා දැක්වූ අදහස් ඇත්ත වශයෙන් ම ICC සහ BCB අතර පැවති අභ්‍යන්තර සංවාදයකින් උපුටා ගත් ඒවා බවයි.
එහිදී, ICC T20 ලෝක කුසලාන තරගාවලිය අතරතුර, බංග්ලාදේශ කණ්ඩායමේ ඉන්දීය සංචාරයේදී ඇති විය හැකි අවදානම් සමාලෝචනය කිරීම සඳහා ICC හි ආරක්ෂක අංශය සහ BCB අතර සාකච්ඡා පැවැත්විණි.
නමුත්, මෙය ආරක්ෂක හේතු මත බංග්ලාදේශ තරග ඉන්දියාවෙන් වෙනත් රටකට ගෙන යන ලෙස බංග්ලාදේශය කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් නොවේ.
බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසුවේ, ඔවුන් නිල වශයෙන් ස්ථානය වෙනස් කිරීමක් ඉල්ලා ඇති නමුත් තවමත් ICC වෙතින් නිල ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ය.