ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'අතට අත නොදීම': ඇන්ඩි පයික්‍රොෆ්ට් පකිස්ථාන ක්‍රිකට් නායකයාගෙන් සමාව අයදියි
ICC තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට්, පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු සහ නායකයාගෙන් සමාව ඉල්ලා ඇතැයි පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ ය.
ඇන්ඩි පයික්‍රොෆ්ට් විසින් ඉන්දියාවේ සහ පාකිස්තානයේ නායකයින්ට ඔවුන්ගේ තරගයට පෙර අතට අත දීමට ඉඩ දුන්නේ නැත.
ඇන්ඩි පයික්‍රොෆ්ට්ගේ ක්‍රියාව සම්බන්ධයෙන් පකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය දැඩි ලෙස ප්‍රතිචාර දක්වා තිබිණි.
සැප්තැම්බර් 14 සිදුවීම වැරදි සන්නිවේදනයක ප්‍රතිඵලයක් ලෙස හැඳින්වූ ඇන්ඩි පයික්‍රොෆ්ට් ඒ සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය.
සැප්තැම්බර් 14 වන දින තරගය අතරතුර සිදු වූ ආචාර ධර්ම සංග්‍රහය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ICC කැමැත්ත පළ කර ඇතැයි පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඉලය සඳහන් කළේය.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වන තරගය වන පකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ඊයේ (සැප්තැම්බර් 17 වැනිදා) පැවති තරගය පැයක පමණ කාලයක් ප්‍රමාද වී ආරම්භ කිරීමට සිදුව විය.
ඒ, පකිස්ථාන කණ්ඩායම තරගයට සහභාගි නොවීමට ගෙන තිබූ තීරණයක් හේතුවෙනි.
ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවති තරගයේදී තරගය ආරම්භයේදී සහ අවසානයේදී ඉන්දීය ක්‍රීඩකයින් අතට අත නොදීමත්, තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් ඊට අනුබල දීමත් සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තීරණයට එළඹි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
'මිලියනයක වෛරයක් තිබුණත්,
සබඳතා අවසන් නොකළ යුතු ය.
ඔබගේ හිතට සමීප බවක් නොදැනුණත්,
එකිනෙකාට අතට අත දී ආචාර කරන්න...'
නීඩා ෆස්ලි මෙම කවිය පැවසූ සන්දර්භය කුමක් වුව ද, එය ඉරිදා රාත්‍රිය වන තෙක් පකිස්ථානය සහ ඉන්දියාව අතර ක්‍රිකට් තරගවලට අදාළ විය. නමුත් ඩුබායිහි පැවති මෙවර ආසියානු කුසලාන තරගයේදී දේශපාලන, රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සහ හමුදා පෙරමුණුවල උණුසුම ක්‍රීඩා පිටියට රැගෙන එන සිද්ධියක් සිදු විය.
ඉරිදා රාත්‍රියේ පැවති තරගයෙන් ඉන්දියාව හමුවේ පකිස්ථානය පරාජය වීමෙන් පසුව පකිස්ථානයේ දුර්වල ක්‍රීඩා විලාසය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණු පසුබිමක, තරගය අතරතුර ක්‍රීඩාශීලීත්වය අවමවීම ගැන ද රසිකයින්ගේ අවධානය යොමුව තිබිණි.
ඩුබායිහි පැවති තරගය ආරම්භයේ සිට ම ආධිපත්‍යය දැරූ ඉන්දියාව, තරගය කඩුලු 7කින් පහසුවෙන් ජයග්‍රහණය කළේ ය.
පකිස්ථාන කණ්ඩායමේ දුර්වල ක්‍රීඩාශීලිත්වය පිළිබඳව රසිකයන් කෝපයෙන් හා කලකිරීමෙන් සිටින පසුබිමක ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා පිටියේ ප්‍රදර්ශනය කළ හැසිරීම නිසා තත්ත්වය තවත් නරක අතට හැරවීය.
සුපුරුදු පරිදි, කණ්ඩායම් දෙක ම තරගයට පෙර පිටියට පැමිණි අතර ජාතික ගීය ගායනා කිරීමෙන් සහ කාසියේ වාසිය බැලීමෙන් පසු, ඉන්දීය නායක සූර්යකුමාර් යාදෙව් පකිස්ථාන නායක සල්මන් අලි අගාට අතට අත නොදී පිටව ගියේ ය.
එම සිදුවීම එතැනින් නතර නොවූ අතර තරගය අවසන් වූ පසුවත් ඉන්දීය පිතිකරුවෝ පකිස්ථාන ක්‍රීඩකයින්ට අතට අත නොදී පිටියෙන් ඉවත්වූහ.
'අතට අත නොදීම' සහ පකිස්ථානයේ විරෝධය
මෙම හැසිරීම සමාජ මාධ්‍ය ඔස්සේ අවධානයට ලක්වූ අතර 'අතට අත නොදීමේ' ප්‍රවණතාව අඛණ්ඩව පැවතුණ ද, ඉන්දීය කණ්ඩායමේ මෙම 'නුසුදුසු' හැසිරීම සම්බන්ධයෙන් පකිස්ථානය ද නිල වශයෙන් විරෝධය පළ කර තිබේ.
කාසියේ වාසිය බලන අවස්ථාවේදී, තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් නායකයින්ගෙන් අතට අත නොදෙන ලෙස ඉල්ලා සිටි බවත්, විනිසුරුවරයාගේ හැසිරීමට එරෙහිව ඔවුන් විධිමත් විරෝධතාවක් ගොනු කර ඇති බවත් කළමනාකරු නවීඩ් අක්‍රම් චීමා පවසයි.
ඉන්දීය ක්‍රීඩකයින් අතට අත දීම ප්‍රතික්ෂේප කිරීම ක්‍රීඩාශීලීත්වයට පටහැනි ක්‍රියාවක් බව පකිස්ථාන කණ්ඩායම් කළමනාකරු පැවසීය. ඔවුන්ගේ හැසිරීමට විරෝධය පළ කිරීම සඳහා නායක සල්මන් අලි අගා තරග සමාප්ති උත්සවයට සහභාගි නොවූ බව ඔහු පැවසීය.
පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොෂින් නාක්වි සිය X ගිණුමෙහි සටහනක් තබමින් පැවසුවේ, තරග තීරකවරයා ICC චර්යා ධර්ම සංග්‍රහය සහ MCCහි තරගයක ජීවගුණය පිළිබඳ නීති කඩ කළ බවට චෝදනා කරමින් පකිස්ථානය ICC වෙත පැමිණිලි කර ඇති බව ය.
ආසියානු කුසලාන තරගාවලියෙන් තරග තීරකවරයා වහා ම ඉවත් කරන ලෙස පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලා ඇති බව පකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
පකිස්ථානයේ ගෞරවයට හා අභිමානයට වඩා කිසිවක් තමාට වැදගත් නොවන බව මොෂින් නාක්වි විසින් නිකුත් කරන ලද තවත් පණිවිඩයක සඳහන් විය.
මේ අතර, පකිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මයික් හෙසන් පවසා සිටියේ, "ඉන්දීය කණ්ඩායම ගත් පියවරට පකිස්ථානයේ ප්‍රතිචාරය ස්වාභාවික" බව ය.
"තරගයෙන් පසු අපි අතට අත දීමට සූදානම්ව සිටියා, අපගේ ප්‍රතිවාදීන් එසේ නොකිරීම ගැන අපි කලකිරීමට පත්වුණා," ඔහු පැවසුවේ ය.
"අපි අතට අත දෙන්න ඉදිරියට ගියත් ඉන්දීය කණ්ඩායම තමන්ගේ විවේකාගාරයට ගිහින් තිබුණා. එය තරගය අවසානයේදී බලාපොරොත්තු සුන් කරවන ක්‍රියාවක් වුණා. අපේ කණ්ඩායමේ ක්‍රීඩාශීලිත්වය ගැන අපි කලකිරීලා හිටියත් ඔවුන්ට අතට අත දෙන්න කැමැත්තෙන් හිටියේ," හෙසන් පැවසීය.
පකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායක රෂීඩ් ලතීෆ්, සිය X ගිණුම හරහා සටහනක් තබමින් ඉන්දීය කණ්ඩායම ආමන්ත්‍රණය කරමින්, "ඔව්, ඔබ ලෝකයේ හොඳ ම කණ්ඩායම යි, නමුත් තරගය අවසානයේ අතට අත නොදීම හරහා ඔබේ සැබෑ ස්වරූපය පෙන්වනවා. පකිස්ථාන ක්‍රීඩකයින් බලා සිටියා, නමුත් ඉන්දීය ක්‍රීඩකයින් විවේකාගාරයට ගියා. ICC ඔබ කොහෙ ද?" යනුවෙන් අභියෝග කර තිබේ.
පකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක ෂොයිබ් අක්තාර් ද ඉන්දීය කණ්ඩායම අතට අත නොදීමට ගත් තීරණය 'ක්‍රීඩාවේ ජීවගුණයට' පටහැනි බව හැඳින්වීය.
"මේ තරගයේදී ඔබලා හොඳින් දක්ෂතා පෙන්නුවා, නමුත් මේක ක්‍රිකට් තරගයක්, ඒකට දේශපාලනය ගාවගන්න එපා. ඔයාලා අතට අත දෙන්න ඕනේ... ටිකක් ආචාරශීලී වෙන්න, රණ්ඩු සිදුවෙනවා, ගෙවල්වල ඒවා වෙනවා, නමුත් ඒ කියන්නේ අපි අතට අත දෙන්නේ නැහැ කියන එක නෙවෙයි," ඔහු පැවසීය.
කෙසේ වෙතත්, තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී, ඉන්දීය නායක සූර්යකුමාර් යාදෙව් පැවසුවේ, "සමහර දේවල් ක්‍රීඩාශීලීත්වයෙන් ඔබ්බට යන" බව ය. එමෙන් ම තීරණය කණ්ඩායමක් ලෙස සාමුහිකව ගත් බව ද ඔහු පැහැදිලි කළේ ය. "අපි ක්‍රිකට් ක්‍රීඩා කරන්න පැමිණියා වගේ ම අපට නිවැරදි යැයි හැඟෙන ආකාරයට ප්‍රතිචාර දැක්වූවා" ඔහු තවදුරටත් එලෙස පැවසීය.
තරගයෙන් පසු පෙහෙල්ගාම් ගැන සඳහන් කිරීම
අනෙක් අතට, ඉන්දීය නායක සූර්යකුමාර් යාදෙව් තරගයෙන් පසුව පෙහෙල්ගාම් ප්‍රහාරය ගැන සඳහන් කළ අතර කණ්ඩායමේ ජයග්‍රහණය ඉන්දීය හමුදාවට කැප කළේ ය.
"පෙහෙල්ගාම් ප්‍රහාරයේ වින්දිතයින් සමග අපි නැගී සිටින බව පැවසීමට මට මොහොතක් අවශ්‍ය යි. මෙම ජයග්‍රහණය අපගේ හමුදාවට පුදකරන අතර ඔවුන් අපට ආදර්ශයක් ලබා දෙන අතර අපි ඔවුන් සමග සිටිනවා."
ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාමිභීර් පැවසුවේ, ඉන්දීය කණ්ඩායම පෙහෙල්ගාම් වින්දිතයින් සමග සිටින බව සහ 'ඔපරේෂන් සින්දූර්' සඳහා ස්තූති කරන බව ය. 'එය හොඳ ජයග්‍රහණයක්, නමුත් තරගාවලියේ තවමත් බොහෝ දුර යා යුතුව තිබෙනවා' යනුවෙන් ඔහු පැවසීය.
මෙම තරගාවලියේදී ඉන්දියාව සහ පකිස්ථානය අතර නැවත තරගයක් පැවතිය හැකි බවට ද ඔහු ඉඟි කළ බවක් පෙනෙන්නට තිබිණි.
අතට අත නොදීම ගැන ඉන්දියානු ප්‍රේක්ෂකයින්ගෙන් පැසසුම්
පකිස්ථාන ක්‍රීඩා ලෝලීන් තම කණ්ඩායමේ දක්ෂතා ගැන කලකිරී සිටින අතර, ඉන්දීය රසිකයන් ජයග්‍රහණය ගැන සතුටු වන අතර අතට අත නොදීම ගැන ඉන්දීය කණ්ඩායමට ප්‍රශංසා කරමින්, එය පකිස්ථානයට තවත් පරාජයක් ලෙස හඳුන්වා තිබේ.
පකිස්ථානයට එරෙහිව ඉන්දියාවේ ජයග්‍රහණය පිළිබඳව ඉන්දීය ප්‍රවෘත්ති ඒජන්සියක් වන ANI වෙත අදහස් දක්වමින් පකිස්ථාන ක්‍රිකට් ලෝලියෙක් මෙලෙස පැවසීය: "ඔවුන් අපව කලකිරීමට පත් නොකරන්නේ කවදා ද? අපට කළ හැක්කේ, ඔවුන්ට සහය දීම පමණ යි. අපි මුදල් වියදම් කරගෙන ඇවිත් ඔවුන්ට සහය පළකරනවා, නමුත් ඔවුන් අපට කිසිවක් ඒකට හරියන්න ලබා දෙන්නේ නැහැ. ඔවුන් වසර ගණනාවක් පුහුණුවීම් කරනවා. නමුත් ඒක පුහුණුවීම් විතරක් නෙමෙයි ආශාව සහ විශ්වාසය පිළිබඳ කාරණයක්."
"ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රීඩාව තුළ රැඳී ඉන්න ඉඩ දෙන්න, දේශපාලනය ඒකට ගෙනෙන්න එපා. අපි ඔබට ප්‍රශංසා කරනවා, ඔබ ඉතා හොඳින් ක්‍රීඩා කළා. හොඳින් කළා," ෂොයිබ් අක්තාර් පවසන මෙම අදහස ඇතුළත් වීඩියෝව බොහෝ දෙනෙකු අතර හුවමාරු වෙයි.
Lail Sach Fan නමින් හැඳින්වෙන පරිශීලකයෙක් ෂොයිබ් අක්තාර්ගේ වීඩියෝ පටය බෙදාගනිමින් මෙලෙස සඳහන් කර තිබිණි: "අතට අත දීමේ ගැටලුව ගැන ෂොයිබ් අක්තාර් කලබල වී සිටීනවා. මේ, මාස කිහිපයකට පෙර අසිම් මුනීර් සහ ෂහිඩ් අෆ්රිඩි සමග සිටි පුද්ගලයාම යි. නියම යි, සූර්යකුමාර් යාදව්, විශිෂ්ට කාර්යයක්. නූර් ඛාන් ගුවන් කඳවුරේ ප්‍රහාරය මෙන් මේකේ වේදනාව ඉතා ගැඹුරු යි."
'නියම තරගයක්! නායකයා (සූර්යකුමාර්) අතට අත නොදීමට ගත් තීරණය හොඳ පියවරක්. අවසානය චිත්‍රපටයක අවසානයක් වගේ. පකිස්ථාන කණ්ඩායම බලාගෙන හිටියා.... ඔවුන්ගේ මුණ ඉස්සරහ ම දොර වහලා දැම්මා, ඒ අවස්ථාව කැමරාවට හසුකර ගත්තු කැමරාකරුට සම්මානයක් ලැබිය යුතු යි!" 'Rouge Rouge Ke Kalish' නම් වූ පරිශීලකයෙක් එලෙස සටහනක් තබා තිබිණි.
කොංග්‍රස් සාමාජිකාවක සහ මාධ්‍ය සභාපතිනියක වන සුප්‍රියා ශ්‍රීනිත්, 'අතට අත දීම නොදීම' පිළිබඳ අඛණ්ඩ විවාදය ගැන සඳහන් කරමින්, 'ඇති, මේ රට මෝඩයන්ට නොවේ' යනුවෙන් සටහන් කර තිබිණි.
එම X සටහනට පිළිතුරක් වශයෙන් විනෙයි විශ්වකුමාර් මෙලෙස සඳහන් කර තිබිණි: "ඉන්දීය ක්‍රීඩකයින් ද මුලින් තරගය වර්ජනය කර තිබුණා, නමුත් ඉහළ බලධාරීන් ඔවුන්ට ක්‍රීඩා කරන්න කියලා දැනුම් දී තිබුණා. තරගයෙන් පසු, ඔවුන් දිවි පිදූවන් සිහිපත් කරන බව පැහැදිලි කර සිටියා."
'ඔබ දිනනවා ද? නැත්නම් ඔබ පරදිනවා ද?'
ක්‍රිකට් ලෝලීන් ඉන්දියා-පකිස්ථාන තරගය එන තුරු උනන්දුවෙන් බලා සිටිය ද, පකිස්ථාන කණ්ඩායම තරගය ආරම්භයේදී ම පිත්තෙන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසය සමාජ මාධ්‍යවල දැඩි විවේචනයට ලක්වූ අතර, එය තරගය පුරා ම සහ එය අවසන් වූ පසුව ද දක්නට ලැබිණි.
"ලෝකය ඉහළ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩා කරන අතර අපි ක්‍රීඩා සමාජ මට්ටමටවත් ක්‍රීඩා නොකරන නිසා වෙනස පැහැදිලිව ම දැක ගන්න පුළුවන්. අපට තාක්‍ෂණය නැහැ, අපි තනි ලකුණු රැස් කරන්නේ කොහොම ද කියලා දන්නේ නැහැ, අපේ පිතිකරණය ප්‍රමිතියට අනුකූල නැහැ," යනුවෙන් පකිස්ථානයේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂොයිබ් අක්තාර් පැවසීය.
"අපි දකුණු අප්‍රිකාව, ඉන්දියාව, එංගලන්තය වැනි කණ්ඩායම් සමග ක්‍රීඩා කළ හැකි ආකාරයේ කණ්ඩායමක් නොවේ," යනුවෙන් ද ඔහු පැවසීය.
ආමීර් අලි නම් ක්‍රිකට් ලෝලියෙක් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනය කරමින් මෙලෙස පැවසුවේ ය. "රජයේ එක ම ස්ථාවර සැලැස්ම අපව අපහසුතාවට පත් කිරීම බව හැඟෙනවා. ඔවුන් ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් වෙනස් කරමින් සිටිය ද, අසාර්ථකත්වය එලෙස ම තිබෙනවා."
කෝපයට පත් පරිශීලකයෙක් X හි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, "ඉන්දියානුවන්, අප සමග යුද්ධ කිරීම වඩා හොඳ යි. අපි ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නැහැ," යනුවෙනි.
බොහෝ පරිශීලකයින් වත්මන් කණ්ඩායමේ දක්ෂතා සංසන්දනය කර හිටපු නායක බාබර් අසාම් නැති අඩුව ගැන සඳහන් කර තිබිණි. ඔවුන් ඔහුගේ පින්තූරය පළ කරමින් "ඔබ නැතිවීම කණ්ඩායමට ලොකු අඩුවක්" යනුවෙන් සටහන් කර තිබිණි.
පකිස්ථාන ඉනිමේදී ජයග්‍රහණයක් අත්කර ගැනීමට නොහැකි බව දුටු බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින්, ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වීම සමනය කර ගැනීමට එම මොහොත භාවිත කළහ.
"අහන්න, ඔයාලා දිනුවත් පැරදුණත්, අපි ඔයාලට ආදරෙ යි."