'අතට අත දෙන්න බැරි නම් ජාත්‍යන්තර ක්‍රීඩාවලින් ඉවත් වෙන්න' - ඉන්දීය ක්‍රිකට් නායකයාගේ ක්‍රියාවට දැඩි විවේචන

    • Author, කුමුදු ජයවර්ධන
    • Role, බීබීසී සිංහල

2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර ඊයේ (සැප්: 15) පැවති තරගය අවසානයේදී පකිස්ථාන ක්‍රීඩකයින්ට 'අතට අත දී' ආචාර නොකිරීම සම්බන්ධයෙන් නායක සූර්යකුමාර් යාදෙව් ඇතුළු ඉන්දීය කණ්ඩායමට දැඩි විවේචන එල්ල වෙමින් පවතී.

ඉන්දීය හිතවාදීන් එම ක්‍රියාව අගය කර ඇතත්, තවත් බොහෝ දෙනෙකු එය ක්‍රීඩාවේ ජීව ගුණයට බලපෑම් කිරීමක් ලෙස විවේචනය කර තිබේ.

තරගය අවසානයේ සිදුවූයේ කුමක් ද?

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දෙරට අතර පැවති තරගයෙන් පසු, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් පකිස්ථාන ක්‍රීඩකයින්ට අතට අත දීම ප්‍රතික්ෂේප කළ බව පකිස්ථාන පුහුණුකරු මයික් හෙසන් පවසයි.

මේ වසර මුලදී පෙහෙල්ගාම් ප්‍රහාරය සම්බන්ධයෙන් දෙරට අතර ඇති වූ ගැටුම්වලින් පසු දෙරටේ ක්‍රීඩකයින් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පළමු වරට හමුවූයේ මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ය.

ඩුබායිහි පැවති ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දියාව පකිස්ථානයට එරෙහිව පැවති තරගය කඩුලු හතකින් ජයග්‍රහණය කළ අතර, තරගය ජයගහණය කරන අවස්ථාවේ පිටියේ පන්දුවට පහර දෙමින් සිටි නායක සූර්යකුමාර් යාදව් සහ ශිවම් ඩුබේ සුපුරුදු පරිදි පිටිය මැදදී ප්‍රතිවාදීන්ට අතට අත දීම වෙනුවට වහා ම පිටියෙන් ඉවත් වූහ.

පසුව, පකිස්ථාන ක්‍රීඩකයින් පිටියෙන් ඉවත් වන විට ඉන්දීය ක්‍රීඩකයින් සිටි ස්ථානය (dugout ) දෙසට ඇවිද යන බවක් පෙනෙන්නට තිබුණත්, ඉන්දීය ක්‍රීඩකයින් ඒ වන විටත් ඇඳුම් මාරු කරන ස්ථානය වෙත ආපසු ගොස් තිබිණි.

කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුවද සූර්යකුමාර් සහ පකිස්ථාන නායක සල්මන් ආගා අතර අතට අත දීමක් සිදු නොවීය.

"පැහැදිලිව ම, අපි තරගය අවසානයේ අතට අත දීමට සූදානම්ව හිටියා," නවසීලන්ත ජාතික පකිස්ථාන පුහුණුකරු මයික් හෙසන් පැවසීය.

ඔහු පැවසුවේ, ප්‍රතිවාදී කණ්ඩායම එසේ නොකිරීම සම්බන්ධයෙන් කලකිරීමක් ඇති වූ බව ය.

ඉන්දීය නායකයා පැවසුවේ කුමක් ද?

පකිස්ථාන ක්‍රීඩකයින්ට අතට අත දීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී විමසූ පැනයකට පිළිතුරු දෙමින් ඉන්දීය නායක සූර්යකුමාර් යාදෙව් මෙසේ පැවසීය.

"ක්‍රීඩාවේ ජීවගුණයට වඩා ජීවිතයේ සමහර දේවල් ඉදිරියෙන් සිටින බව මට හැඟෙනවා. පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූ සියලු දෙනා සමග අපි නැගී සිටිනවා. අපි ඔවුන්ගේ පවුල් සමග ද නැගී සිටිමින් අපගේ සහයෝගීතාව ප්‍රකාශ කරනවා. මා කී පරිදි, සින්දූර් මෙහෙයුමට සහභාගී වූ අපගේ නිර්භීත සන්නද්ධ හමුදාවන්ට අපි මෙම ජයග්‍රහණය කැප කරනවා."

කෙසේ වෙතත්, මෙම ප්‍රතිචාරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළවී තිබිණි.

ඉන්දීය ක්‍රීඩකයින් සහ හිතවාදීන් මෙම ක්‍රියාව අගය කර තිබුණ ද, තවත් බොහෝ දෙනෙකු මෙය නිර්දය විවේචනයට ලක් කර තිබිණි.

'අතිශයින් ම කලකිරීමට කරුණක්' - ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොෂින් නාක්වි

ඉන්දීය කණ්ඩායම ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක ස්වරයකින් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොෂින් නාක්වි Xහි අදහස් පළ කර තිබිණි.

'අද අවම ක්‍රීඩාශීලීත්වයක් දැකීම අතිශයින්ම කලකිරීමට කරුණකි. දේශපාලනය ක්‍රීඩාවට ඇද ගැනීම ක්‍රීඩාවේ ජීවගුණයට පටහැනි ය. අනාගත ජයග්‍රහණ සියලු කණ්ඩායම් කාරුණිකව සමරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.'

'දේශපාලනය ක්‍රිකට්වලට ගේන්න එපා' - ෂොයිබ් අක්තාර්

මේ අතර, පකිස්ථානයෙන් බිහිවූ වේගවත් ම සහ විශිෂ්ටතම පන්දු යවන්නෙකු වන ෂොයිබ් අක්තාර් ද ඉන්දීය නායකයාගේ ක්‍රියාව විවේචනය කර තිබිණි.

"මට කියන්න වචන නෑ. දකිනකොට කලකිරෙනවා, මොනවා කියන්න ද කියලා මට හිතාගන්න බෑ. ඉන්දියාවට සුබ පැතුම්. හැම දේ ම දේශපාලනික කරන්න එපා. ක්‍රිකට් තරගයක් දේශපාලනික කරන්න එපා. අපි ඔබ ගැන හොඳ දේවල් කියලා තියෙනවා. අතට අත නොදීම ගැන අපිට ගොඩක් දේවල් කියන්න පුළුවන්. ඔයාගේ ගෙදර ඇතුළෙත් රණ්ඩු වෙනවා. ඒක අමතක කරන්න, ඉදිරියට යන්න. ඒක ක්‍රිකට් ක්‍රීඩාව, අතට අත දෙන්න, ඔබේ කරුණාව පෙන්වන්න."

'අතට අත දෙන්න බැරි නම් ජාත්‍යන්තර ක්‍රීඩාවලින් (ඉන්දියාව) සම්පූර්ණයෙන් ම ඉවත් විය යුතු යි' - කොංග්‍රස් මන්ත්‍රී තාරික් අන්වර්

මේ අතර, මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ම ඇතැම් පිරිස් විරෝධය පළ කර තිබේ.

ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දියාව සහ පකිස්ථානය අතර 'අතට අත නොදීම' සම්බන්ධයෙන් කොංග්‍රස් මන්ත්‍රී තාරික් අන්වර් මෙසේ පවසා තිබේ.

"අපි ජාත්‍යන්තර තලයට පිවිසෙන විට, එය ක්‍රීඩා හෝ වෙනත් ඕනෑ ම දෙයක් වේවා, එහි අනුගමනය කරන සම්ප්‍රදායන් සහ ආචාර විධි අනුගමනය කළ යුතු බව අප තේරුම් ගත යුතු යි. ක්‍රීඩා පිටියේදීවත් පකිස්ථානය සමග අතට අත දීමට අපට අවශ්‍ය නැති නම්, අපි ජාත්‍යන්තර ක්‍රීඩාවලින් සම්පූර්ණයෙන් ම ඉවත් විය යුතු බව මම විශ්වාස කරනවා."

කෙසේ වෙතත්, ජනතාව ඉදිරියේ අතට අත දීමක් නොකළ ද, 'තිරය පිටුපස' තත්ත්වය වෙනස් බවට ද අදහස් පළවී තිබිණි.

එහිදී, සූර්යකුමාර් යාදෙව් පකිස්ථාන ක්‍රිකට් කවුන්සිලයේ සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොෂින් නාක්විට අතට අත දෙන ඡායාරූපයක් භාවිත කර තිබේ.

කෝලිට ප්‍රසංශා

මේ අතර, පකිස්ථානය සමග මීට පෙර විරාට් කෝලිගේ නායකත්වය යටතේ පැවති තරගවලදී ඔහු පකිස්ථාන කණ්ඩායමේ ක්‍රීඩකයින් සමග ක්‍රියා කළ ආකාරය පිළිබඳව ප්‍රශංසා කරමින් ද සමාජ මාධ්‍යවල සටහන් තබා තිබිණි.