Asia Cup 2025: ශ්‍රී ලංකාව සිටින්නේ කොතැන ද? බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයින් කවුද?

    • Author, කුමුදු ජයවර්ධන
    • Role, බීබීසී සිංහල

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (සැප්: 09) තවත් පැය කිහිපයකින් ආරම්භ වීමට නියමිත ය.

සැප්තැම්බර් 09 වන දා සිට සැප්තැම්බර් 28 වන දා දක්වා පැවැත්වෙන මෙවර තරගාවලිය තරග 19කින් සමන්විත වේ.

මෙවර එය පැවැත්වෙන්නේ පන්දු වාර 20 තරගාවලියක් ලෙස ය.

මෙවර ආසියානු ක්‍රිකට් ශූරයින් වීමේ අපේක්ෂාවෙන් රටවල් 8ක් තරග වදී.

ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, හොං කොං, ඉන්දියාව, ඕමානය, පකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එම රටවල් ය.

ශ්‍රී ලංකාව නියෝජනය කරන සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් මෙසේ ය.

චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නුවනිඳු ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, කමිල් මිෂාර, දසුන් ශානක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, නුවන් තුෂාර සහ මතීෂ පතිරණ.

මේ අතර, ජනිත් ලියනගේ ද ශ්‍රී ලංකා සංචිතයට පසුව ඇතුළත් කෙරිණි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිටින තැන

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියට ඉදිරිපත් වන්නේ, සිම්බාබ්වේ තරග සංචාරය ජය ගැනීමෙන් පසුව ය.

ඔවුන් එක් තරගයක් පරාජයට පත්වුව ද, අවසන් පන්දු වාර 20 තරගයේදී විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ බවක් දක්නට ලැබිණි.

ඒ අනුව, ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ බීබීසී සිංහල සේවයට පැවසුවේ, කණ්ඩායමේ සාමාජිකයින් සැලකිල්ලට ගැනීමේදී තරගාවලිය ජය ගැනීම සඳහා සම අවස්ථාවක් ශ්‍රී ලංකාව සතුව ඇති බව ය.

"ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ තත්ත්වයක ඉන්නවා. සිම්බාබ්වේ තරගාවලිය පුරා ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ම දක්ෂතා අතර හිටියා. ඒ නිසා කුසලානය දිනා ගන්න ඉන්දියාවට යි, පකිස්ථානයට යි තියෙන අවස්ථාව ම ශ්‍රී ලංකාවටත් තියෙනවා," රොෂාන් අබේසිංහ පැවසීය.

වැඩි බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයින් කවුද?

"සංචිතයට ඇතුළත් කරල ඉන්න සෑම ක්‍රීඩකයෙක් ගැන ම බලාපොරොත්තු තියා ගන්න පුළුවන්," රොෂාන් අබේසිංහ පැවසීය.

කෙසේ වෙතත්, වැඩි බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පිළිබඳව ඔහු සඳහන් කළේ ය.

"අත්දැකීම් තියෙන ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ම ඉන්නවා. සිම්බාබ්වේ කණ්ඩායම එක්ක දෙවෙනි පන්දු වාර 20 තරගයෙන් දැවැන්ත පරාජයක් ලබලා, ඊට පස්සෙ දවසෙ කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් ලබපු ආකාරය දැක්කා ම ඔවුන්ගේ හැකියාව හොඳින් පෙනුණා. ඒ නිසා කණ්ඩායම දිනවන්න පුළුවන් කිහිප දෙනෙක් ම ඉන්නවා."

කෙසේ වෙතත්, ඔහු පෙන්වා දුන්නේ, "දුෂ්මන්ත චමීර, පැතුම් නිස්සංක, චරිත් අසලංක සහ ආයෙත් කණ්ඩායමට ඇවිල්ල ඉන්න වනිඳු හසරංග කියන ක්‍රීඩකයින් කිහිප දෙනා දක්ෂතා අතර හිටියොත් අපට කුසලානය දිනන්න පුළුවන් අනිවාර්යයෙන් ම," රොෂාන් අබේසිංහ සඳහන් කළේ ය.

ඔහු පෙන්වා දුන්නේ, ඉහත ක්‍රීඩකයින් කිහිප දෙනෙකු නම් කළ ද, අනෙක් ක්‍රීඩකයින් අදක්ෂ බවක් ඉන් නොකියවෙන බව ය.

මේ අතර, කමිල් මිෂාර ලකුණු අතරට පැමිණීමත්, සිම්බාබ්වේ සමග පැවති තුන් වන පන්දු වාර 20 තරගයේදී යම් පීඩනයක් මැද පන්දුවට පහර දුන් ආකාරයත් ගැන සතුටු විය හැකි බව ඔහු පැවසීය.

දුනිත් වෙල්ලාලගේ තවදුරටත් 'එළියේ' ද?

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් දක්ෂතා සහිත ක්‍රීඩකයෙකු වන දුනිත් වෙල්ලාලගේට තරග අවස්ථා ලබා නොදීම පිළිබඳව සමාජ මාධ්‍යවල විවිධ අදහස් පළවී තිබේ.

ඔහුට තරග ලබා නොදීමට බලපාන කරුණු පිළිබඳව ද බීබීසී සිංහල රොෂාන් අබේසිංහගේ අදහස් විමසීය.

"දුනිත් වෙල්ලාලගේ කියන්නේ ඉතාමත් දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඔහුට තව වයස තියෙන නිසා කවද හරි කණ්ඩායමේ නායකත්වයට පවා සුදුසු ක්‍රීඩකයෙක්. ඒත්, කණ්ඩායමේ සංයුතිය තබා ගන්න ඕන නිසා ඔහුට කණ්ඩායමට එක්වීමට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ ගොඩක් වෙලාවට."

ආසියානු කුසලාන ඉතිහාසය

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වූයේ, 1984 වසරේදී ය. මෙවර එය පැවැත්වෙන්නේ, 17 වන වරට ය.

කුසලානය වැඩි ම වරක් දිනාගෙන ඇති ඉන්දියාව 8 වරක් ආසියානු ශූරයින් බවට පත්ව තිබේ.

අවසන් වරට 2023 වසරේදී ද කුසලානය දිනා ගත්තේ ද ඉන්දියාව ය.

2022 වසරේදී ආසියානු ශූරයින් බවට පත්වූ, ශ්‍රී ලංකා කණ්ඩායම 6 වරක් කුසලානය දිනාගෙන තිබේ.

පකිස්ථානය ආසියානු ශූරයින් බවට පත්වූ වාර ගණන 2කි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය සැප්තැම්බර් 13 වන දා බංග්ලාදේශය සමග පැවැත්වෙයි.